Lagenandra erosa: වඳවී ගොස් ඇතැයි සැලකූ ශාක විශේෂයක් පාලින්දනුවරින් සොයා ගැනෙයි

0
262

Lagenandra erosa: වඳවී ගොස් ඇතැයි සැලකූ ශාක විශේෂයක් පාලින්දනුවරින් සොයා ගැනෙයි
MAWBIMA LK NEWS
By Tharaka Samman -ඔක්තෝබර් 27, 2023

ශ්‍රී ලංකාවට ආවේණික වඳ වී ගොස් ඇතැයි සැලකූ කෙතල (Lagenandra) ශාක විශේෂයක් බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයෙහි පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සීමාවේ මෝල්කාව ප්‍රදේශයෙන් සොයා ගැනීමට පර්යේෂකයන් පිරිසක් සමත්වී තිබේ.

වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථියෙකු සහ ශාක විශේෂ පිළිබඳ අධ්‍යනයෙහි නිරත පරිසර ගවේෂකයෙකු වන පේශල පසන් කරුණාරත්න විසින් 2022 වසරේදී පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මෝල්කාව ප්‍රදේශය තුළ සිදු කළ ගවේෂණයකදී මෙම ශාක විශේෂය සොයා ගනු ලැබ තිබිණි.

එම සොයා ගැනීමෙන් පසුව ශ්‍රී ලංකාවේ Lagenandra ශාක ගණයට අයත් ශාක විශේෂ පිළිබඳ පර්යේෂණ සිදු කරන කණ්ඩායමේ සාමාජිකයෙකු සහ වයඹ විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අපේක්ෂකයෙකු වන ඉන්ද්‍රකීල මාදොළ දැනුවත් කර Lagenandra ශාක ගණයට අයත් ශාක විශේෂවල ශාකාගාර නිදර්ශක, ජීවී ශාක නිදර්ශක සහ රූප විද්‍යාත්මක ලක්ෂණ පිළිබඳ අධ්‍යයනය කිරීමෙන් පසු තහවුරු වී ඇත්තේ, මෙම ශාක විශේෂය වඳ වී ගොස් ඇතැයි සැලකූ ශාක විශේෂයක් බවට ය.

Lagenandra erosa ශාක විශේෂය

පොදුවේ මෙම ශාක විශේෂ අයත් ශාක ගණය හැඳින්වීම සඳහා කෙතල (Lagenandra) යන නාමය භාවිත කරන බව පේශල පසන් කරුණාරත්න පැවසීය.

මෙලෙස සොයා ගත් ශාක විශේෂය සිංහල භාෂාවෙන් හැඳින්වීම සඳහා සිංහල නාමයක් පවතී ද යන්න මෙතෙක් වාර්තා වී නොමැති අතර මෙරටට ආවේණික විශේෂයක් බැවින් ඉංග්‍රීසි හෝ වෙනත් භාෂාවකින් හඳුන්වන නාමයක් ද මෙම ශාක විශේෂය සඳහා නොමැති බව ඔහු සඳහන් කළේ ය.

කරුණාරත්න මහතා සඳහන් කළේ, Lagenandra erosa යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මෙම ශාක විශේෂයේ විද්‍යාත්මක වර්ගීකරණය සැලකීමේදී ශාක රාජධානියේ Alismatales පෙළපතට අයත් Araceae පවුලට අයත් Lagenandra ගණයට වන බව ය.

පේශල පසන් කරුණාරත්න

ජලාශ්‍රිත පරිසර පද්ධති තුළ දක්නට ලැබෙන මෙම කෙතල ශාක විශේෂ 21ක් ලෝකයේ විවිධ රටවලින් වාර්තා වී ඇති අතර ඉන් විශේෂ 14ක් ශ්‍රී ලංකාවෙන් හමු වන බව ඔහු පැවසීය.

මෙහි විශේෂත්වය වන්නේ, මෙම විශේෂ 14 න් 13 ක් ම මෙරටට ආවේණික විශේෂ වීම ය.

මෙම Lagenandra erosa ශාක විශේෂය අඩ සියවසකට පෙර 70 දශකයේදී විසිතුරු ජලජ ශාකයක් ලෙස ශ්‍රී ලංකාවෙන් යුරෝපයේ මින් මැදුරු සඳහා අපනයනය කොට ඇති අතර එසේ අපනයනය කළ ජලජ ශාක අතර පැවති මෙම ශාක නිදර්ශක කිහිපයක් උපයෝගී කර ගනිමින් මෙම ශාක විශේෂය පිළිබඳව ලොවට හඳුන්වා දී තිබේ.

එලෙස සොයා ගත් ශාක විශේෂය නාමකරණය එකල යුරෝපය තුළ සිදු කර ඇතත් එහි ස්වාභාවික ගහනය සොයා ගෙන ඇති මුල් ප්‍රදේශය ආදී කිසිදු තොරතුරක් මුල් හඳුන්වා දීමේදී සඳහන් කිරීමට ඔවුන් සමත් වී නොමැති බව පේශල පසන් කරුණාරත්න සඳහන් කළේ ය.

ඔහු පෙන්වා දුන්නේ, මෙසේ නාමකරණය පමණක් සඳහන්ව පැවති මෙම ශාක විශේෂය පාලින්දනුවර ප්‍රදේශයෙන් වාර්තා කිරීමට හැකි වීම ස්වාභාවික පරිසරයෙන් මෙම විශේෂය සොයා ගත් පළමු අවස්ථාව බව ය.

එමෙන්ම ම, ශ්‍රී ලංකාවේ ප්‍රකාශිත 2022 ජාතික රතු දත්ත වාර්තාවේ මෙම ශාක විශේෂයේ ජාතික සංරක්ෂණ තත්වය Critically Endangered (Possibly Extinct) (CR(PE)) දැඩි ලෙස වඳවීමේ තර්ජනයට ලක්ව ඇති (සමහර විට වඳ වී ගොස් ඇත) කාණ්ඩය යටතේ වර්ගීකරණය කර ඇතැයි ඔහු සඳහන් කළේ ය.

මෙම සොයා ගැනීමෙන් පසු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය දීප්ති යකන්දාවල, වයඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කපිල යකන්දාවල, වයඹ විශ්වවිද්‍යාලයේ ඉන්ද්‍රකීල මාදොළ සහ වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ පේශල පසන් කරුණාරත්න යන පර්යේෂක කණ්ඩායම විසින් මෙම ශාක විශේෂය පිළිබඳ දත්ත රැස් කොට පර්යේෂණ කටයුතු සිදු කර පර්යේෂණ පත්‍රිකාවක් සකස් කර ප්‍රකාශයට පත් කිරීම සඳහා යොමු කරනු ලැබ ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here