First Sinhala TV News Presenter Sumana Nellampitiya no more

0
106

ප්‍රථම රූපවාහිනි නිවේදිකා සුමනා නෙල්ලම්පිටිය අභාවප්‍රාප්ත වෙයි

Divaina lk News

August 9, 2024

ශ්‍රී ලංකාවේ ප්‍රථම රූපවාහිනි නිවේදිකාව මෙන්ම සම්මානිත ප්‍රවීණ ජ්‍යෙෂ්ඨතම නිවේදිකාවක වූ සුමනා නෙල්ලම්පිටිය මහත්මිය සිය දිවිසැරිය ඊයේ (08දා) උදේ නිමා කළාය.

මියයන විට 80 වැනි වියේ පසුවූ ඇය දෙදරු මාතාවකි.

සිය මාධ්‍ය දිවිය ආරම්භ කිරීමට පෙර ඇය ගුවන් හමුදා නිලධාරිනියක ලෙස ද රාජකාරි කළාය. හමුදා සේවයට සමුදුන් ඈ, 1962 ජූලි 01 වැනිදා සහන නිවේදිකාවක ලෙස ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට එක්වූවාය. වෙළෙඳ සේවයේ මැදිරි නිවේදිකාවක ලෙස මුලින්ම සිය හඬ අවදි කළාය. පසුකාලීනව ඇය ස්ථීර නිවේදිකාවක බවට පත්වූවාය.

ඇය එදා නිවේදන කටයුතු කළ “පිබිදෙන ගායක පරපුර”, “ෆොරැන්ස් වාසනා හත”, “ඕවල්ටීන් පැන පොඩි”, සිනමා ප්‍රවර්ධන වැඩසටහන්, රේඩියෝ සඟරාව එකල අතිශය ජනප්‍රිය වූ වැඩසටහන් වේ. එසේම කාලයක්ම වෙළෙඳ සේවය තුළින් ප්‍රවීණ නිවේදක අනුර ෆොන්සේකා සමග ඈ සෑම ශනිදාවකම පෙරවරු 11.00 සිට 12.00 දක්වා ඉදිරිපත් කළ යුනියන් ඇෂුවර්න්ස් රසවිමන ශ්‍රාවකයන් විශාල පිරිසක් අතරේ ජනප්‍රිය ගීත ඉල්ලීම් වැඩසටහනක් ද විය.

ප්‍රවීණ කලාවේදිනියක වූ දයා නෙල්ලම්පිටිය ඇයගේ නැන්දණිය ද වූවාය. ප්‍රවීණ නිවේදිකාවක මෙන්ම ප්‍රවීණ ගුවන්විදුලි නාට්‍ය ශිල්පිනියක ලෙසින් ද සිය කුසලතාවයන් පෙන්වූ ඇය ජාතික ගුවන්විදුලියේ සිටි දක්ෂතම ප්‍රවෘත්ති ප්‍රකාශිකාවක ද වූවාය.

ඇය එකල රජයට පවරා ගත් ස්වාධීන රූපවාහිනියේත්, ජාතික රූපවාහිනියේත් ප්‍රථම “රූපවාහිනි නිවේදිකාව ලෙසින් ජීවමාන පුරාවෘත්තයන් අතරට එක්වූවාය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ “උම් අල් ක්වේන්” ප්‍රාන්තයේ ප්‍රථම සිංහල ගුවන්විදුලි නාළිකාවේ ශ්‍රී ලාංකේය නියෝජනය ඇයගේ හඬින් මුසුවීම ද විශේෂත්වයක් වේ. ඇය එහි ප්‍රථම ශ්‍රී ලාංකීය නිවේදිකාව ලෙසින් ද පුරාවසර 5ක් කටයුතු කළාය.

ඇය මෑතකදී ලක්හඬ ගුවන්විදුලිය තුළින් ඉදිරිපත් කළ “හෙවණට එන්න” වැඩසටහනින් ද ශ්‍රාවක සිත් සෙනෙහසින් ආමන්ත්‍රණය කරන්නට වූවාය.

ලාංකේය රූපවාහිනි ඉතිහාසයේ පළමු ස්ථීර වැඩසටහන් නිෂ්පාදිකාව ලෙසින් ද සම්භාවනාවට පාත්‍ර වූ ඈ හඬින් මෙන්ම රුවින් ද සෑම සිත් පුබුදුවාලන ප්‍රසන්න සිනාමලකින් සැරසෙන්නට අමතක නොකළ සුන්දර නිහතමානී චරිතයකි.

සුමනා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දේ.

මේ අතර, අභාවප්‍රාප්ත ප්‍රවීණ නිවේදිකා සුමනා නෙල්ලම්පිටිය මහත්මියගේ දේහය මේ වනවිට කොළඹ 07, ටොරින්ටන් ඇවනියු, ටොරින්ටන් ගාර්ඩ්න්, අංක 255, බී/12 නිවසේ තැන්පත් කර තිබේ.

දේහය හෙට සෙනසුරාදා (10දා) පස්වරු 3.00ට මහජන ගෞරවය සඳහා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට රැගෙන යන බවත්, ඉන්පසු සවස 5.30ට මවගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල කනත්තේදී සිදුකරන බවත් සුමනා නෙල්ලම්පිටිය මහත්මියගේ පුතනුවන් වන මහේෂ් ගුණතිලක මහතා “දිවයින”ට පැවසීය.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here