කීර්තිමත් ජේෂ්ඨ මාධ්‍යවේදී ලක්ෂ්මන් ජයවර්ධන මහතාණෙනි, ඔබට සුබ ගමන්

0
62

කීර්තිමත් ජේෂ්ඨ මාධ්‍යවේදී ලක්ෂ්මන් ජයවර්ධන මහතාණෙනි, ඔබට සුබ ගමන්

ශ්‍රී ලංකා මාධ්‍ය ක්ෂේත්‍රයේ පුරෝගාමියකු වූ ලක්ෂ්මන් ජයවර්ධන සිය දිවි සැරිය නිමකල පුවත අද දිවයිනේ බොහෝ පුවත්පත්වල හා වෙබ් අඩවි රැසක පලව තිබුණි. දශක හයකට ආසන්න කාලයක් ශ්‍රී ලංකා මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රබල සාමාජිකයකු ලෙස කටයුතු කළ ජයවර්ධන මහතාගේ අභාවය සමස්ත මාධ්‍ය ප්‍රජාවටම දැඩි පාඩුවක් වන අතර, එතුමාගේ සේවය සදා අගය කොට සලකනු ඇත.

1965 දී මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිස ලේක්හවුස් ඇතුළු ප්‍රමුඛ පුවත්පත් සමාගම් ගණනාවක සේවය කළේය.ඔහු ලේක්හවුස් ආයතනයේ දිනමිණ, සිළුමිණ පුවත්පත්වල කතෘ මණ්ඩලයන්හි උප කතුවරයෙකු ලෙස දිගු කළක් සේවය කල අයෙකුවිය.ඔහු එජාප රජය 1977 දී බලයට පත්වූ අවදියෙහිදී විවිධ අතවරවලට මුහුණ පෑමට සිදුවූ සැටි මට අදමෙන් මතකයට නැගෙයි.කෙසේ නමුදු ඔහු පසු කලෙක එම ආයතනයේ සභාපති තනතුරට පත්විය.
ඔහු ලේක්හවුස් ආයතනයේ සභාපතිවරයා ලෙස ද සේවය කාලය තුළ ඩේලි නිවුස් සහ සන්ඩේ ඔබ්සර්වර් අන්තර්ජාල සංස්කරණ ආරම්භ කළේය.පුවත්පත් පුහුණු ආයතනයක් ද ස්ථාපිත කිරීමද ඔහු විසින් කරණ ලද කාර්යයක් බව සඳහන් කල යුතුය.එම ආයතනය තාක්ෂණික ලෝකයට ගෙන යෑමේ ගෞරවය හිමි වන්නේ ද ලක්ෂ්මන් ජයවර්ධන මහතාටය.

ඩී.ආර්.විජයවර්ධන මාධ්‍ය පුස්තකාලය පරිගණකගත කොට පුස්තකාලය සංවර්ධනය කිරීමටද ජයවර්ධන මහතා ක්‍රියා කළේය.
මීට ‍අමතරව ලේක්හවුස් ආයතනයේ පුවත්පත්වල ගුණාත්මක මෙන්ම ප්‍රමාණාත්මක වර්ධනයක් ඇති කිරීමටද ලක්ෂ්මන් ජයවර්ධන මහතාට හැකි විය.
ඔහු ලක්ෂ්මන් මහතා සිය විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් පසුව පුවත්පත් කලාව සිය වුර්තිය වශයෙන් තෝරාගත් ඔහු නිහඬ මහත්මා ගති ගුණයන්ගෙන් සපිරුණු අයෙකු විය. ඉතා නිහඬව සිය සේවාව ඉටු කළ ජයවර්ධනයන් පුවත්පත්වලට විවිධ විෂයන් ඔස්සේ විශේෂාංග ලිපි සියගණනක් එකල ලියු පිරිපුන් වියතෙකුවිය. ඔහු ලියු පොත් අතර නොබැඳි ව්‍යාපාරය පිලිබඳ මෙන්ම අනගාරික ධර්මපාල චරිතය ගැනද ලියා ප්‍රකාශයට පත් කර තිබු පොත් සඳහන් කල හැකිය.

කලක් වසාදමා තිබු ලංකාදීප පුවත්පත ආරම්භ කිරීමට අපෙන් වියෝව ගිය ප්‍රවීණ ජේෂ්ඨ කතුවරයෙකුවූ එස්, සුභසිංහ ,පර්සි ජයමාන්න ඇතුළු පිරිසට උදව් කළ නියමුවෙක් විය.

මාධ්‍ය සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව ඔහු ශ්‍රී ලංකා විදේශ සේවයට සම්බන්ධ වී කැනඩාවේ සහ ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලවල උපදේශක ලෙස සේවය කළේය.ඔහු අන්තර්ජාලයේ සහ ශ්‍රී ලංකා විදේශ සේවයේ පොත් කිහිපයක් ද ලියා ඇත.

ඒ මහතාගේ අභාවය සමස්ත මාධ්‍ය ප්‍රජාවටම දැඩි පාඩුවක් වන අතර, එතුමාගේ සේවය සදා අගය කොට සලකනු ඇත.

මා ලේක්හවුස් ආයතනයේ සේවැවේ යෙදී සිටි අවදියෙහි මටහමුවූ වචනයේ පරිසමප්ත අර්ථයෙන්ම මට හමුවූ උතුම්ගති ගුණයෙන් සපිරුණු ඉතා සංවේදී අයෙකු බව මෙහිලා සඳහන් කල යුතුය.ඔබට සුබ ගමන් ලක්ෂ්මන් ජයවර්ධන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීයාණෙනි.

ලක්ෂ්මන් මහතාගේ දේහය 30 වන බ්‍රහස්පතින්දා සිට මහරගම පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර ඇති අතර, අවසන් කටයුතු 2025 පෙබරවාරි 1 වන සෙනසුරාදා සවස 4:00 ට මහරගම පොදු සුසාන භූමියේදී සිදු කෙරේ.

ශාන්ත සේනාධීර – ලංකා නිවූස් යු කේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here