අවුරුදු 17කට පසු ශූරතාව ශ්‍රී ලංකාවට

0
62

අවුරුදු 17කට පසු ශූරතාව ශ්‍රී ලංකාවට

DIVAINA LK News

සිසිර ඉන්ද්‍රජිත්

November 4, 2024

හොංකොං සික්සර්ස් ක්‍රිකට් තරගාවලිය

ධනංජය ලක්‍ෂාන්ගේ අති විශිෂ්ට පන්දු යැවීමත්, ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ දක්‍ෂ පිතිහරඹයත් හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැති හොංකොං සික්සර්ස් අවසාන මහා තරගයෙන් කඩුලු 3ක විශිෂ්ට ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

කණ්ඩායම් 12ක් කාණ්ඩ 4ක් යටතේ තරගවැදි මෙම තරගාවලියේ අවසාන මහා තරගය සඳහා සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සහ පාකිස්තාන කණ්ඩායමට හැකිවිය.

හොංකොං හි මිෂන් රෝඩ් ක්‍රීඩාංගණයේදී ඊයේ (03දා) පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමේ වාරය පාකිස්තාන කණ්ඩායමට භාර කළ අතර, ඒ අනුව පිටියට පිවිසි පාකිස්තාන කණ්ඩායමට පන්දු වාර 5යි පන්දු 2ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 72ක් පමණි.

අවුරුදු 17කට පසු ශූරතාව ශ්‍රී ලංකාවට

ඒ අනුව ලකුණු 73ක ඉලක්කයක් හඹායෑම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පන්දු වාර 5ක් අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 76ක් ලබාගනිමින් තරගයේ ජය වාර්තා කිරීමට සමත්විය.

එයත් සමගම 2024 හොංකොං සික්සර්ස් තරගාවලියේ කිරුළ තමන් සතුකර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වූ අතර, හොංකොං සික්සර්ස් 2007 තරගාවලියේ කිරුළ ද මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම ජයගෙන තිබූ අතර, මෙම තරගාවලියේ කිරුළ හිමිකර ගත්තේ වසර 17කට පසුවය.

තවද ශ්‍රී ලංකා කණ්ඩායම මෙම කිරුළ කරා ළඟා වූයේ පිළිවෙළින් ඕමානය, බංග්ලාදේශය, නේපාලය සහ අවසාන මහා තරගයේදී ප්‍රබල පාකිස්තානය පරාජය කරමිනි.

අවුරුදු 17කට පසු ශූරතාව ශ්‍රී ලංකාවට

තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරත වූ මොහොමඩ් අක්ලාක් පන්දු 20කින් වේගවත් ලකුණු 48ක් රැස්කිරීමට සමත්වූ අතර එම ඉනිමට හයේ පහර 3ක් සහ හතරේ පහර 5ක් අන්තර්ඝත විය. ඊට අමතරව පහීම් අෂ්රොෆ් ලකුණු 13ක් සහ අමීර් යමීන් ලකුණු 6ක් ලැබීය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ධනංජය ලක්ෂාන් ලකුණු 6කට කඩුලු 2ක්, තරිඳු රත්නායක ලකුණු 25කට කඩුලු 2ක්, ලහිරු මධුශංක ලකුණු 4කට 1 කඩුල්ලක් සහ නිමේෂ් විමුක්ති ලකුණු 8කට 1 කඩුල්ලක් දවාලීය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ධනංජය ලක්ෂාන් සහ සඳුන් වීරක්කොඩි ඉනිම ආරම්භ කළ අතර ඔවුන් දෙදෙනා එක්ව ආරම්භක කඩුල්ල වෙනුවෙන් ලකුණු 39ක සබඳතාවක් ගොඩනැඟීමට සමත් වුවද, ධනංජය ලක්‍ෂාන්ට ලබාගැනීමට හැකිවූයේ පන්දු 7කට මුහුණ දෙමින් ලකුණු 2ක් පමණි. විශිෂ්ට පිතිහරඹයක නිරත වූ සඳුන් වීරක්කොඩි පන්දු 13කට මුහුණ දෙමින් දැවැන්ත හයේ පහර 4ක් සහ හතරේ පහර 1ක් සමගින් ලකුණු 34ක් ලබාගැනීමට සමත්විය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල දැවී යෑමෙන් අනතුරුව පිටියට එක්වූ නායක ලහිරු මධුසංඛ පන්දු 5කින් ලකුණු 19ක්, තරිඳු රත්නායක පන්දු 4කින් නොදැවී ලකුණු 16ක් ලැබීය.

පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී ෆහීම් අෂ්රොෆ් ලකුණු 19කට කඩුලු 1ක් සහ හුසයින් ටාලට් ලකුණු 18කට 1 කඩුල්ලක් බිඳහෙළීය.

ලකුණු 6කට කඩුලු 2ක් බිඳහෙලූ ධනංජය ලක්‍ෂාන් තරගයේ වීරයා ලෙස සම්මාන ලබද්දී, තරගාවලියේ වීරයා ලෙස තරිඳු රත්නායක සම්මාන ලැබීය.

තරගාවලියේ වීරයා තරිඳු රත්නායක

තරගයේ වීරයා ධනංජය ලක්ෂාන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here