එක්කෝටි හැත්තෑ එක්ලක්ෂයක් සිය වරම පාවිච්චි කරන ජනපතිවරණය හෙට: සමාජ මාධ්‍ය තව ම වැඩ

0
135

එක්කෝටි හැත්තෑ එක්ලක්ෂයක් සිය වරම පාවිච්චි කරන ජනපතිවරණය හෙට: සමාජ මාධ්‍ය තව ම වැඩ

MAWBIMA LK NEWS

By Amith Maduranga Gamage -සැප්තැම්බර් 20, 2024

නව වන ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ 2024 ජනාධිපතිවරණය හෙට (සැප්. 21) දින පෙරවරු 7:00 සිට සවස 4:00 දක්වා දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,421කදී පැවැත්වෙයි.

වැඩි ම අපේක්ෂකයන් පිරිසක් තරග බිමට පිවිසි ජනාධිපතිවරණය ලෙසට ඉතිහාසයට එක්වූ මෙවර මැතිවරණයට අපේක්ෂකයන් 38 දෙනෙක් ඉදිරිපත්ව සිටිති.

ඔවුන් අතරින් අභිනව ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමට ඡන්දදායකයන් එක්කෝටි හැත්තෑඑක් ලක්ෂයකට වැඩි පිරිසක් (171,40,354) සුදුසුකම් ලබා සිටිති.

පරිශ්‍ර 49කදී ගණන් කිරීමේ මධ්‍යස්ථාන 1,713කදී පස්වරු 4:15 සිට ඡන්ද ගණන් කිරීම් ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මෙවර මැතිවරණයේ තැපැල් ඡන්දය භාවිත කිරීමට පසුගිය 4,5,11 සහ 12 යන දිනයන් ලබා දී තිබිණි.

පිළිගත් දේශපාලන පක්ෂ 22ක්, වෙනත් දේශපාලන පක්ෂ 1ක් සහ ස්වාධීන අපේක්ෂකයන් 16 දෙනෙකු ඇප මුදල් තැන්පත් කළ අතර ස්වාධීන අපේක්‍ෂකයෙකු වූ අයිඩෘස් මොහමදු ඉල්යාස් මහතා අගෝස්තු 22 වන දා මිය ගියේ ය.

මේ අතර, මැතිවරණ කොමිෂන් සභාව දින දෙකක නිහඬ කාලයක් ප්‍රකාශයට පත් කර ඇති නමුත් සමාජ මාධ්‍ය ඔස්සේ තවදුරට ත් ජනමතයට බලපෑම් සිදු කරමින් පවතින බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පෙන්වා දෙයි.

ඉකුත් 18 වන දා මධ්‍යම රාත්‍රී 12:00න් පසුව අපේක්ෂකයන් ප්‍රවර්ධනය කිරීම තහනම් කර තිබියදී දිගින් දිගට ම සමාජ මාධ්‍ය ඔස්සේ පක්ෂාග්‍රාහී පුවත් හුවමාරු වෙමින් තිබෙන බව ද එම සංවිධාන සඳහන් කරයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here