හිරුණිකාට ඇප

0
282

හිරුණිකාට ඇප

ARUNA LK NEWS

22 July 2024 | කේ.එස්.උදයකුමාර

2015 වසරේ දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳ සැලක සේවය කළ තරුණයකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහරදීම ඇතුළු චෝදනාවලට වරදකාරිය වී බරපතළ වැඩ සහිත වසර තුනක සිරදඬුවම් නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් එම දඬුවටමට එරෙහිව ඉදිරිපත් කළ ඇපෑල විභාග කොට අවසන් වන තුරු ඇය ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා අද (22) නියෝග කළේය.

අනුව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර රුපියල් 50000/- ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ විනිසුරුවරයා ඇයගේ විදේශ ගමන් තහනම් කරන බවත් නියෝග කළේය.

2015 වසරේ දෙසැම්බර් මස 21 වනදා දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳ සැලක සේවය කළ අමිල ප්‍රියංක නැමති තරුණයකු කළු පැහැති ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහරදීම ඇතුළු චෝදනා 18 කට වරදකාරිය කෙරුණු හිරුණිකා ප්‍රේමචන්ද්‍රට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් හා රුපියල් තුන් ලක්ෂ හැටදහසක දඩයක්ද නියම කරනු ලැබුවේය.

එම දඬුවමට එරෙහිව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් අභියාචනාධිකරණය වෙත ඇපෑලක් ඉදිරිපත් කරනු ලැබූවාය. එම ඇපෑල විභාග කොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරන තුරු තම සේවා දායිකාව ඇපමත මුදා හරින ලෙස ඇය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින්ද ඉන්ද තිස්ස අධිකරණය වෙත සිය ඇප ඉල්ලීම ඉදිරිපත් කරමින් අයැද තිබුණි.

එම ඇපෑල විභාග කිරීමට සැලකිය යුතු කාලයක් ගතවිය හැකි නිසාත් තම සේවා දායිකාවට කුඩා දරුවන් තුන්දෙනෙකු සිටින නිසාත් ඒවා සුවිශේෂී කරුණු සේ සලකා ඇයව ඇප මත මුදාහරිණ ලෙසත් ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා තිබුණි.

එහෙත් එම ඇප ඉල්ලීමට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර විරෝධය පළ කර තිබුණි. නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරයා සඳහන් කළේ අභියාචනාදීකරණය විසින් අභියාචනා පෙත්සම් විභාගය කඩිනමින් සිදුවන හෙයින් ඇප නියම කිරීමේදී එය සුවිශේෂී කරුණක් ලෙස සැලකිය නොහැකි බවයි.

කෙසේ වෙතත් දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහාධිකරණ විනිසුරුවරයා විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here