
ජනාධිපතිගේ ධූර කාලය සම්බන්ධ පෙත්සම නිශ්ප්‍රභ කෙරේ
ARUNA LK NEWS
08 July 2024 | කේ.එස්.උදයකුමාර
ජනාධිපතිගේ ධූර කාලය සම්බන්ධ පෙත්සම නිශ්ප්‍රභ කෙරේ
වත්මන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාගේ නිල කාලය වසර 05 ක් යැයි පැහැදිලිව සඳහන් කර තිබෙන බව අග විනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුන් මඩුල්ල අද (08) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළහ.
ඒ අනුව වත්මන් ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන් වන දිනය සම්බන්ධයෙන් අර්ථ නිරූපණයක් ලබා දෙන තුරු දැනට සැලසුම් කරමින් පවතින පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ව්‍යවසායකයෙකු වන සී.ඩී. ලෙනව මහතා විසින් ගොනු කෙරුණු පෙත්සම විභාගයට නොගෙන රුපියල් ලක්ෂයක නඩු ගාස්තුකට යටත්ව නිෂ්ප්‍රභ කරන බවත් පංච පුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කළහ.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විජිත් මලල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු, ප්‍රීති පද්මන් සූරසේන සහ එස්.තුරෙයිරාජා යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ලබා දුන්හ.
පෙත්සම සලකා බැලීම ආරම්භ වූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කනිෂ්කා ද සිල්වා මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් වත්මන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාගේ නිල කාලය වසර 05 ක් බව පැහැදිලි යැයි පෙන්වා දුන් අතර මෙම පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස මූලික විරෝධතා මතු කළාය.
“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 125 වන ව්‍යවස්ථාවට අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යම් ගැටලුවක් මතු වූ අවස්ථාවක ඒ සම්බන්ධයෙන් අර්ථ නිරූපණයක් ලබා දෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිය හැක්කේ පහල අධිකරණ වලට පමණයි.ඒ නිසා පෙත්සම්කරුට මෙවැනි ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට නීතියෙන් හැකියාවක් නෑ. පෙත්සම්කරු ප්‍රශ්න කරනු ලබන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයේ ප්‍රතිපාදන පාර්ලිමේන්තු විසින් අනුමත කොට නීතියක් බවට පත් වී තිබෙනවා. එවැනි නීතිගත වූ කරුණකට එරෙහිව කිසිදු අධිකරණයක් නඩු පැවරීමට හැකියාවක් නැහැ. එසේම පෙත්සම්කරු සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වුණේ කෙසේදැයි පැහැදිලි කිරීමක් කර නැහැ. ඔහුගේ පෙත්සම පදනම් විරහිතයි ” එම නිසා අදාළ පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙසත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය අධිකරණයෙන් ඉල්ලා සිටියාය.
මෙහිදී අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කර තිබූ සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙවැනි අර්ථ නිරූපණයක් ඉල්ලා මෙවැනි පෙත්සමක් ඉදිරිපත් කිරීමට පෙත්සම්කරුට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ප්‍රතිපාදන නොමැති බව සඳහන් කළේය.
” ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 125 යටතේ මෙවැනි අර්ථ නිරූපණයක් ඉල්ලා සිටිය හැක්කේ පහල අධිකරණයකට පමණි. පෙත්සම්කරුට එවැනි අර්ථ නිරූපණයක් ඉල්ලා සිටීමට හැකියාවක් නෑ. මෙම පෙත්සම තුළ අත්‍යවශ්‍ය පාර්ශව නම් කර නෑ.” එම නිසා පෙත්සම මුල් අවස්ථාවේදීම එය නිෂ්ප්‍රභ කරන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී නීතිඥ ජී.ජී. අරුල්ප්‍රගාසම් මහතාගේ උපදෙස් මත පෙනී සිටි ජනාධිපති නීතිඥ කේ. කනගීෂ්වරන් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බව සඳහන් කළේය. එය සලකා බැලීමට තරම් පදනමක් ශ්‍රේෂ්ඨාධිකරණයට නොමැති බවත් ඒ අනුව පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙසත් ජනාධිපති නීතිඥවරයා ඉල්ලා සිටියේය.
තවත් අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කර තිබූ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය. හරිනි අමරසූරිය මහත්මිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නයිජල් හැච් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් 2019 වසරේ ජනාධිපති වරණය සමයේදී එම ජනාධිපතිවරණය අත් හිටුවන ලෙස ඉල්ලා මෙම පෙත්සම්කරු විසින්ම රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබූ බව පෙන්වා දුන්නේය.
එම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිෂ්ප්‍රභ කල බව 2019 ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ කොමිසම විසින් ඉදිරිපත් කළ වාර්තාවක සඳහන් වන බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය.
තවත් අතරමැදි පෙත්සම්කරුවන් පිරිසක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ඒම්.ඒ.සුමන්තිරන් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ” ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය පාර්ලිමේන්තුව විසින් සම්මත කළ පසු එය ක්‍රියාත්මක වුණා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය තුළින් 30(2) වගන්තිය සංශෝධනය කර ජනාධිපතිවරයාගේ නිල කාලය වසර 06 සිට 05 දක්ව අඩුකර තිබෙනවා. දින තුනක් විවාදයකින් පසුව පාර්ලිමේන්තුව එය සම්මත කළා. පාර්ලිමේන්තුව විසින් සම්මත කළ නීතියකට එරෙහිව නඩු පැවරීමට හැකියාවක් නැහැ. ” යනුවෙන් සඳහන් කළේය.
තවත් අතරමැදි පෙත්මක් ඉදිරිපත් කර තිබූ සමාජවාදී තරුණ සංගමයේ එරංග ගුණසේකර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මොහාන් වීරකෝන් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම පදනම් විරහිත බවත් එය විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කළ යුතු බවත් ඉල්ලා සිටියේය.
මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නීතිඥ භාවයෙන් ඉවත් කර තිබෙන පුද්ගලයෙකු යූටියුබ් නාලිකාවක සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වී ජනාධිපතිවරයාට වසර හයක කාලයක් නිලයේ සිටිය හැකි බව ප්‍රකාශ කර ඇති බවත් එය අධිකරණයට කළ බලපෑමක් බවත් ජනාධිපති නීතිඥ වීරකෝන් මහතා පෙන්වා දුන්නේය.
පැෆරල් සංවිධානය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්
” මෙම පෙත්සම්කරු 2019 වසරේ ද මේ ආකාරයෙන්ම පෙත්සමක් ඉදිරිපත් කළා. එම තීන්දුවේ පිටපත් මා අධිකරණයට ඉදිරිපත් කරනවා. දීර්ඝ කරුණු සලකා බැලීමකින් පසුව එය අධිකරණය විසින් ප්‍රතික්ෂේප කළා. ඒ පිළිබඳව කිසිදු කරුණක් පෙත්සම්කරු මෙම පෙත්සමේ සඳහන් කර නෑ. කරුණු වසංකර තිබෙනවා. එම නිසා මෙම පෙත්සම ගාස්තුවට යටත්ව නිෂ්ප්‍රභ කරන ලෙස මා ඉල්ලා සිටිනවා.” යනුවෙන් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
කාදිනල් අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෂමීල් පෙරේරා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ වගකීම සැලකිල්ලට ගෙන මෙම පෙත්සම ඉදිරිපත් කළ බව සඳහන් කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු පිරිසක් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නිශාන් ප්‍රේමතිරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්
“පෙත්සම්කරු සිය පෙත්සමේ තමන් ඡන්ද දායකයෙකු බව ප්‍රකාශ කර නෑ. 2019 වසරේ ජනතාව ඡන්දය ලබා දුන්නේ ජනාධිපතිවරයාගේ නිල කාලය වසර 05 ක් බව දැනගෙනයි. එසේ නම් මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බව පෙත්සම්කරු කියන්නේ කෙසේද? පෙත්සම්කරු මේ පෙත්සම ඉදිරිපත් කර තිබෙන්නේ කූට අරමූණකින් යුතුවයි.” එම නිසා දැඩි ගාස්තුවට යටත්ව නිෂ්ප්‍රභ කරන ලෙසත් ඉල්ලා සිටියේය.
ඉන් අනතුරුව පෙත්සම්කාර සී.ඩී. ලෙනව මහතා පෞද්ගලිකව පෙනී සිටිමින් අධිකරණය හමුවේ කරුණු දක්වා සිටියා.
” ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 සංශෝධනය ජනතා පරමාධිපත්‍යයට පටහැනියි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30(2) අනුව ජනාධිපතිවරයාගේ නිල කාලය වසර 06ක් බව මා සදහන් කරනවා.” යනුවෙන් කියා සිටියා
අග විනිසුරු ජයන්ත ජයසූරිය මහතා- ජනාධිපතිවරණය පැවැත්වීමෙන් ඔබගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන්නේ කෙසේද?
පෙත්සම්කරු- ස්වාමීනි…ජනාධිපතිවරයාගේ නිල කාලය වසර 06 යි. එම නිසයි මෙම නීතිවිරෝධී ජනාධිපතිවරණයට එරෙහිව නඩු පැවරුවේ.
විනිසුරු විජිත් මලල්ගොඩ මහතා- ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය පාර්ලිමේන්තුව ඉදිරිපත් කළ අවස්ථාවේ දී ඔබ එය අභියෝගයට ලක් කරමින් පෙත්සමක් ඉදිරිපත් කළා?
පෙත්සම්කරු – නැහැ.. ස්වාමීනි..
විනිසුරු මළල්ගොඩ මහතා – ජනාධිපතිවරයාගේ නිල කාලය සම්බන්ධයෙන් ඔබට ගැටළුවක් තිබුණා නම් ඔබ එය අභියෝග කළ යුතුව තිබුණේ එම අවස්ථාවේ දී. ඔබ එම අවස්ථාවේදී එය කළේ නැහැ. දැන් අධිකරණයට පැමිණ අධිකරණයෙන් ඉල්ලීමක් ඉදිරිපත් කිරීම තුළ පදනමක් නැහැ.
අග විනිසුරු ජයන්ත ජයසූරිය මහතා – ඔබ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය කියවා තිබෙනවාද? 19 වන සංශෝධනය සම්මත වීමෙන් පසුව ජනාධිපතිවරයාගේ නිල කාලය වසර පහක් බව පැහැදිලිවම සඳහන් කර තිබෙනවා. ඒක තමයි දැන් රටේ තිබෙන නීතිය. ඉතින් ඔබ දැන් ඒ සම්බන්ධයෙන් අභියෝග කරන්නේ කොහොමද?
විනිසුරු විජිත් මළල්ගොඩ මහතා – සම්මත වූ නීතියක් යළි ප්‍රශ්න කරන්න කියලද ඔබ අපට කියන්නේ
පෙත්සම්කරු – ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 82 සිට 86 දක්වා තිබෙන වගන්ති වලින් අධිකරණය සම්මත කළ නීතියක් සම්බන්ධයෙන් පවා යළි සලකා බැලීමට අධිකරණයට හැකියාවක් තිබෙනවා. මෙම ක්‍රියාවලිය අධිකරණය අතින් සිදුවූ වරදක්.
එම අවස්ථාවේදී පෙත්සම්කරුට තරයේ අවවාද කළ විනිසුරු විජිත් මළල්ගොඩ මහතා නීතියට අනුව කරුණු දැක්වීමට පියවර ගන්නා ලෙසත් අධිකරණය ලබා දුන් අවස්ථාව වැරදි ලෙස පරිහරණය නොකරන ලෙසත් දන්වා සිටියේය.
අගවිනිසුරුවරයා – ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේ ඒක අභියෝගයට ලක් කරමින් ඔබ එම අවස්ථාවේදී පෙත්සමක් ඉදිරිපත් කළාද?
පෙත්සම්කරු – නැහැ… ස්වාමීනි
අගවිනිසුරුවරයා- ඔබ එම අවස්ථාවේදී පෙත්සමක් ඉදිරිපත් කළේ නැහැ. එම පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් වුණා. ඒවා පිළිබඳ පූර්ණ විභාගයක් පවත්වා ශ්‍රේෂ්ඨාධිකරණය තම නිගමනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉදිරිපත් කළ නිගමනවලට අනුවයි පාර්ලිමේන්තුව අදාළ පනත සම්මත කළේ. එය දැන් නීතියක් බවට සම්මත වී හමාරයි. සම්මත වූ නීතියකට එරෙහිව මෙයාකරයෙන් නඩු පැවරීමට හැකියාවක් නෑ. ඔබ 2019 වසරේදීත් මේ ආකාරයේ නඩුවක් ගොනු කර තිබුණා. එය අධිකරණය නිෂ්ප්‍රභ කර තිබෙනවා. ඔබ එහි තීන්දුවේ පිටපත් ලබා ගත්තාද?”
පෙත්සම්කරු. – තීන්දුවේ පිටපතක් ලබා ගත්තේ නෑ ස්වාමීනි..
අගවිනිසුරුවරයා- ඔබ වගකිවයුතු පුරවැසියෙක් නම් ඔබේ නඩුවේ තීන්දුවේ පිටපත ලබාගෙන කියවිය යුතුව තිබුණා. එහෙත් ඔබ එසේ කර නැහැ. එසේ නොකොට මේ ආකාරයෙන් නඩු පැවරීම යුක්ති සහගත නෑ
යනුවෙන් සඳහන් කළ අගවිනිසුරුවරයා
අධිකරණය හමුවේ කරුණු වසන් කිරීම සම්බන්ධයෙන් පෙත්සම්කරුට දැඩි දෝෂාරෝපණ එල්ල කළේය.
අගවිනිසුරුවරයා -ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය අනුව ජනාධිපතිවරයාගේ නිල කාලය අවුරුදු පහක් බව දැන් පිළිගන්නවාද?
පෙත්සම්කරු – පිළිගන්නවා ස්වාමීනි..
ඉන් අනතුරුව අගවිනිසුරුවරයා කරුණු දක්වමින්” ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයට අනුව ජනාධිපතිවරයාගේ නිල කාලය අවුරුදු 05 ක් බව පැහැදිලියි. ඒක තමයි දැන් රටේ තිබෙන නීතිය. එසේ තිබියදී මේ වගේ නඩු පවරා ඇයි අධිකරණයේ කාලය කා දමන්නේ” යනුවෙන් පෙත්සම්කරුගෙන් ප්‍රශ්න කළේය.
පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු එස්. තුරෙයි රාජා මහතා පෙත්සම්කරු අමතමින්” 2019 වසරේ ජනාධිපතිවරයාගේ නිල කාලය සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලූ විනිසුරු මඩුල්ලේ සාමාජිකයෙකු ලෙස මා කටයුතු කළා. එහිදී ඔබගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට අපි පියවර ගත්තා. එසේ තිබියදී ඔබ එම කාරණයම යළි අධිකරණයට ගෙන ඇවිත් තිබෙනවා. එදා පැවති නඩු විභාගයේදී විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා ඔබට ප්‍රශංසා කළ බව ඔබ ඔබගේ දේශනවලදී සඳහන් කළා. ඒක වැරදියි. එදා ප්‍රසන්න ජයවර්ධන විනිසුරුතුමා ඔබට කියා සිටියේ නීතිය හරියාකාරව දැනගෙන කරුණු දක්වන්න කියලයි. එය ප්‍රශංසා කිරීමක් ලෙස තේරුම් ගන්න එපා.”යනුවෙන් සඳහන් කර සිටියේය.
ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව ප්‍රකාශ කිරීම පැය භාගයකින් පමණක් කල් තැබුවේය.