සතුරා සිටින්නේ දොරටුව අභියස – ජනපති ලෝකයට කියයි

0
285

සතුරා සිටින්නේ දොරටුව අභියස – ජනපති ලෝකයට කියයි
ARUNA LK NEWS
02 December 2023

පෘථිවියේ පැවැත්ම තහවුරු කිරීම වෙනුවෙන් දේශගුණික විපර්යාස අවම කිරීමට ලෝකයේ රටවල් කඩිනමින් ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍ය බවත් ඊට නායකත්වය ගැනීමට සූදානම්ද නැද්ද යන තීරණාත්මක එකඟතාවට මෙවර COP28 සමුළුවේ දී එළැඹිය යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

සතුරා සිටින්නේ අපගේ දොරටුව අභියසයි. නමුත් අප තවමත් කල්මරමින් සතුරන්ට එරෙහිව සටන් කිරීම සඳහා අපගේ සේනාංක සූදානම් කරමින් සිටිනවා. ඒ නිසා ඉදිරි දෙසතිය තීරණාත්මකයි. අපට නායකත්වයක් ලබාදීම සඳහා හැකියාවක් තිබේ ද නැද්ද යන්න පිළිබඳ එයින් තීරණය වනු ඇතියි. ක්‍රියාවෙන් අපට එය හැකි බව අපි තහවුරු කළ යුතුයි. ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

එක්සත් ජාතීන්ගේ 28 වන දේශගුණ විපර්යාස සමුළුව හෙවත් COP 28 ප්‍රධාන සමුළුව රටවල් 54ක රාජ්‍ය නායකයන් සහ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් ඊයේ (01) ඩුබායිහි එක්ස්පෝ සිටිහිදී ආරම්භ කෙරුණු අතර සමුළුව අමතමින් ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේය.

පස්වැනි ආසියා පැසිෆික් කලාපීය පරිසර බලධාරීන්ගේ සහ අමාත්‍යවරුන්ගේ සංසදයේදී එකඟ වූ පරිදි, දේශගුණික යුක්ති සංසදය පිහිටුවීම සඳහා 2024 පෙබරවාරි 6 වන දින පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවට ශ්‍රී ලංකාව යෝජනාවක් ඉදිරිපත් කරන බවත් එම දේශගුණ යුක්ති සංසදය දේශගුණික විපර්යාස අවම කර ගැනීම පිළිබඳ නිර්මාණාත්මක සහ ක්‍රියාශීලී මැදිහත්වීම් සඳහා වේදිකාවක් සපයනු ඇති බවත් ජනාධිපතිවරයා පැවසීය.

”COP28 සමුළුව අමතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ සම්පූර්ණ කථාව පහත පරිදි වේ.

පළමුවෙන් COP28 සඳහා සත්කාරකත්වය ලබාදීම වෙනුවෙන් සහ දක්වන ලද ආගන්තුක සත්කාර වෙනුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රජතුමාටත්, රජයටත් මගේ සුභපැතුම් සහ කෘතවේදීත්වය පළ කරනවා.

2023 වසරේදී එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනෙහි වාර්තාව තුළ “කඩවුණු පොරොන්දු” ලෙස දක්වමින් අනතුරු ඇඟවූයේ මේ සියවසේ අවසානය වන විට ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 3 කින් ඉහළ යාමේ අර්බුදයට මුහුණ දෙන බවයි.

මූල්‍ය, තාක්‍ෂණය සහ දේශගුණය සඳහා වන ආයෝජන සම්බන්ධයෙන් පවතින අඩු අනුවර්තන ධාරිතාව හේතුවෙන්, සංවර්ධනය වෙමින් පවතින රටවල් වන අප, මෙම තත්ත්වයන් මඟින් අසමානුපාතික ලෙස අවධානමට ලක්විය හැකි අතර එමඟින් අප රටවලට අසමාන බලපෑමක් ඇති කරනවා.

දේශගුණික මූල්‍යකරණය පිළිබඳ ඉහළ මට්ටමේ ස්වාධීන විශේෂඥ කණ්ඩායමේ වාර්තාව මඟින්, දේශගුණික විපර්යාසවලට එරෙහිව සටන් කිරීම සඳහා අවම වශයෙන් වසරකට ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියනයක් අවශ්‍ය බව අවධාරණය කර තිබෙනවා.

කෙසේ වෙතත්, අරමුදල් සැපයීමේ විධිවිධාන ක්‍රියාත්මක කිරීම පිළිබඳ කමිටුව විසින් සිය 2023 නොවැම්බර් මස 4 දිනැති වාර්තාව මඟින් “අලාභ සහ පාඩු පිළිබඳ අරමුදල” සඳහා ස්වේච්ඡා දායකත්වයන් පමණක් ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා.

එම වාර්තාව මගින් මීට අවශ්‍ය අරමුදල් පිළිබඳ හෝ එහි දායකයින් කවුද යන්න පිළිබඳ සඳහන් කරන්නේ නැහැ. එම වාර්තාව ගෝලීය ණය සහනකරණය පිළිබඳ ප්‍රශ්නය හමුවේ ද නිහඬව සිටින අතර මේවා එකිනෙකට බැඳී පවතිනවා.

කෙසේ වෙතත්, එයින් දින හතරකට පසුව නිකුත් වූ, ගෝලීය තක්සේරුව පිළිබඳ පළමු තාක්ෂණික සංවාදයේ වාර්තාව මඟින් මේ සඳහා වාර්ෂිකව අවම වශයෙන් ඇමරිකානු ඩොලර් ට්‍රිලියන ගණනක් අවශ්‍ය බව අවධාරණය කර තිබෙනවා.

මතභේදාත්මක තත්ත්වයක් ඇති නොවීම සඳහා සම්මුතියකට පැමිණීම විසඳුමක් නොවෙයි.අපි කාවද රවට්ටන්නේ? දේශගුණික යුක්තිය සෑම රටකටම සහ සෑම පුද්ගලයෙකුටම හිමි විය යුතුයි.

මෙම පසුබිම තුළ, පස්වැනි ආසියා පැසිෆික් කලාපීය පරිසර බලධාරීන්ගේ සහ අමාත්‍යවරුන්ගේ සංසදයේදී එකඟ වූ පරිදි, 2024 පෙබරවාරි 6 වන දින පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුව සඳහා “දේශගුණික යුක්ති සංසදය” පිහිටුවීම වෙනුවෙන් වන යෝජනාවක් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකාව කටයුතු කරනවා.

දේශගුණ යුක්ති සංසදය මඟින් අපට නිර්මාණාත්මක සහ ක්‍රියාශීලී මැදිහත්වීම් සඳහා වේදිකාවක් සපයනු ඇතියි.

එසේම “ගෝලීය ජ්වලන යුගය පැමිණ තිබෙනවා.” යනුවෙන් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ප්‍රකාශ කළා.

සතුරා සිටින්නේ අපගේ දොරටුව අභියසයි. නමුත් අප තවමත් කල්මරමින් සතුරන්ට එරෙහිව සටන් කිරීම සඳහා අපගේ සේනාංක සූදානම් කරමින් සිටිනවා.

ඒ නිසා ඉදිරි දෙසතිය තීරණාත්මකයි.අපට නායකත්වයක් ලබාදීම සඳහා හැකියාවක් තිබේ ද නැද්ද යන්න පිළිබඳ එයින් තීරණය වනු ඇතියි. ක්‍රියාවෙන් අපට එය හැකි බව අපි තහවුරු කළ යුතුයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here