BREAKING NEWS: ආර්ථික අර්බුදයට ගෝඨා, මහින්ද, බැසිල් වගකිව යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි

0
257

MAWBIMA LK NEWS

14/11/23

BREAKING NEWS: ආර්ථික අර්බුදයට ගෝඨා, මහින්ද, බැසිල් වගකිව යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි

 ශ්‍රී ලංකාව මුහුණ දී සිටින වත්මන් ආර්ථික අර්බුදයට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ, මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සහ තවත් කිහිප දෙනෙකු වගකිව යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින වත්මන් ආර්ථික අර්බුදයට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ, මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සහ තවත් කිහිප දෙනෙකු වගකිව යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මහිම් මෙන්ඩිස්, ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න, ජූලියන් බෝලිං, ජෙහාන් කනකරත්න සහ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය විසින් ගොනු කරනු ලැබ තිබුණු මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගැනීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ලබා දී ඇත.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, විජිත් මලල්ගොඩ සහ මුර්දු ප්‍රනාන්දු යන විනිසුරුවරුන් මෙම නඩුවේ බහුතර තීන්දුව ලබා දුන් අතර ප්‍රියන්ත ජයවර්ධන විනිසුරුවරයා ඊට විරුද්ධ වී ඇත.

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුතු බවට චෝදනා කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු වගඋත්තරකරුවන් 13 දෙනෙකුට එරෙහිව අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර තිබිණි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ, මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, හිටපු භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල ඇතුළු 13 දෙනෙකු ඒ මගින් වගඋත්තරකරුවන් කර තිබිණි.

එම මූලික අයිතිවාසිකම් නඩුව පවරා තිබුණේ, ශ්‍රී ලංකාව තුළ අර්බුදයක් නිර්මාණය වන ආකාරයට විනිවිදභාවයකින් තොරව සහ වගවීමකින් තොරව ඉහළ පෙළේ තීරණ ගැනීමට එරෙහිව ය.

එහි සඳහන් කර තිබුණු පරිදි ආර්ථික අර්බුදයට බලපෑ හේතු කිහිපයක් පහත දැක්වේ.

  • 2019 වසරේදී නීතිවිරෝධී ලෙස බදු සහන දීම හරහා රජයේ ආදායම් අඩු කර ගැනීම.
  • එම බදු සහන ආපසු හැරවීමට අසමත් වීම.
  • ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගැනීම ප්‍රමාද කිරීම.
  • රුපියලේ අගය සම්බන්ධයෙන් නිසි වේලාවට තීරණ නොගැනීම.

පෙත්සම්කරුවන් චෝදනා කර තිබුණේ, ඉහත කී කරුණු සඳහා අදාළ වග උත්තරකරුවන් ඍජුව වගකිව යුතු බවට ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here