අභියාචනාධිකරණ සභාපති විනිසුරුට එරෙහිව විපක්ෂයෙන් යෝජනාවක්

0
287


By Mawbima -නොවැම්බර් 11, 2023 පෙ.ව. 9:090

ආන්දෝලනයට තුඩු දුන් අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්නට එරෙහිව විපක්ෂය විසින් ඔහුව ඉවත් කරනු ලැබීම සඳහා වන පූර්ණ යෝජනාවක් ගෙන ඒමට සූදානම් බව විශ්වාසවන්ත දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කර ඇත.

අදාළ යෝජනාව අය-වැය විවාදය පැවැත්වෙන කාලය තුළ කථානායකවරයා වෙත භාර දීමට නියමිත බව ද දැනගන්නට තිබේ.

මෙවැනි යෝජනාවකට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගෙන් තුනෙන් එකක අත්සන් ලබා ගත යුතු වන අතර ඉන් අනතුරුව එය කථානායකවරයාට භාර දීම සිදුවේ.

ඉන් පසු විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් තිදෙනකුගෙන් යුතු විමර්ශන මණ්ඩලයක් කථානායකවරයා විසින් පත් කර එම මණ්ඩලයෙන් ලබා දෙන වාර්තාවට අනුව අදාළ විනිසුරුවරයා වරදකරු බවට නිර්දේශ වුවහොත් එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබේ.

එය පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් සම්මත වුවහොත් එම තීරණය කථානායකවරයා විසින් ජනාධිපතිවරයා වෙත දැනුම් දෙනු ලැබේ. ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න පිළිබඳව බරපතළ කරුණු රැසක් පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේ ය.

එම හෙළිදරව්ව ත් සමග පසුගිය දිනවල පාර්ලිමේන්තු මන්ත්‍රීනි ඩයනා ගමගේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කිරීම පිළිබඳ නඩු විභාගයට ද මෙම විනිසුරුවරයා සම්බන්ධ වූ බව ත් එය ද ගැටලුසහගත බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ජයමහ ද පසුගිය දා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ය.

එම කරුණු සියල්ල සැලකිල්ලට ගනිමින් අදාළ විනිසුරුවරයාට එරෙහිව පූර්ණ යෝජනාවක් ඉදිරිපත් කිරීම පිළිබඳව විශේෂ අවධානය යොමු කරන බව විපක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙක් ‘මව්බිම’ට පැවසීය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here