
” බුදුබව පතනා පියවරු වෙසෙනා” – ධර්මසිරි ගමගේ….
Chandana Gunasekera
සැප්තැම්බර් 19 වෙනිදාට යෙදී තිබුණු ධර්මසිරි ගමගේ සූරීන්ගේ ගුණානුස්මරනය වෙනුවෙනි
” බුදුබව පතනා පියවරු වෙසෙනා” – ධර්මසිරි ගමගේ……
ඒ අසූව දශකයේ අග බාගයයි. රට පුරා පැවති අඳුරු, මූසල භිෂණ සමයෙන් හොඳටම හෙම්බත්ව යන්තම් පණ කෙන්ද බේරා ගත් අප, සරසවි වරම් ලැබීමේ ශාපයෙන්ද බැට කා නන්නත්තාරවී වුන් යුගයයි. සරසවියට යෑමේ සිහිනය කවදා උදාවේදෝයි දෙගිඩියාවෙන් වුන් අප රැකියා සහ නානාවිධ පාඨමාලා සඳහා පිස්සන් මෙන් අයැඳුම් පත් යැවූයේ මේ සමයේයි.
මගේ වාසනාවකට ” ඩෙලික්” නමින්වූ ඉංග්‍රීසි පාඨමාලාවක් සඳහා මා තෝරාගෙන තිබිණි. ඒ පාඨමාලාව සැන්ඳෑ යාමයේ , එනම් පාසල් කාලයෙන් පසු අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේදී පවත්වනු ලැබුණු අතර නිවෙස්වලටම සිරවී මරණ බයෙන් ගුලිවී වුන් අපට මෙය මහා නිදහස් නිකේතනයක් එහෙමත් නැතිනම් සුන්දරත්වයෙන් පිරි සුයාමයක් මෙන් වූයේ ඒ තරමටම අපේ දිවි පෙවෙත් ඒකාකාරීව එකතැනකම පල් වී තිබූ නිසාවෙනි. දිවයිනේ නන් දෙසින් පැමිණ වුන් සිසුන් මෙහිදී මට හමුවූ අතර ඔවුන් සමඟ ගෙවූ කාලය මගේ දිවියේ ඉතාමත්ම වටිනා සහ අමතක නොවන කාලය බව පැවසිය යුතුමය.
ඉතාමත්ම රසවත්වූ මෙම කාල වකවානුවේ එක් සැන්ඳෑයාමයක වැඩි පත පොතේ වැඩක්ද නොවූයෙන් අප කල්ලියක් එකතුවී සිංදු කීමට පටන් ගතිමු. අඹන්පොළින් පැමිණ සිට තරුණයෙකු( අවාසනාවකට මට ඔහුගේ නම මතක නැත) මා ඉතාමත්ම ආදරය කළ ” ලේඩි ඉන් රෙඩ්” ගීතය ඉතාමත්ම ළගන්නා සුළු අයුරින් ගායනා කළේය. ඉතාමත්ම අවාසනාවන්ත ලෙස මෙම පාඨමාලාව අතරතුරදී , පාඨමාලාවට සමුදී යුඳ හමුදාවට බැඳුණු ඔහු , කොටි ත්‍රස්තවාදින් සමඟ සටනේදී වැදුණු වෙඩි පහරකින් දිවියෙන් සමු ගත්තේ අප හදවත් තුළ කිසිදාක පිරවිය නොහැකි හිඩසක් ඉතිරි කරමිනි.
එදා තවත් එවැනිම රසවත් ගීතයක් පොළොන්නරුවේ සිට පැමිණ වුන් ඉතාමත්ම අහිංසක නිහඬ චරිතයක් වූ ජයන්ත විසින් ගායන කළේ මේ අතරේදීය. ඒ සුන්දර ගීතය මීට පෙර මට ගුවන් විඳුලියේ වාදනය වෙනවා අසා තිබුණත් මා එහි හරියටම ගිලී ගියේ ජයන්තගේ ගායනයෙනි. පාසල් කාමරයේ ඩෙස්කුවක් මත වාඩිවී කෙටි තාප්පයට ඔබ්බෙන් වූ පාසල් පිටිය දෙස නෙතු යොමා ධ්‍යානයකට සමවැඳී මෙන් එදා ඔහු ” සුළං කුරැල්ලෝ” ගීතය ගැයූ අයුරු මට මේ දැන්ද පෙනෙන්නාක් මෙනි. මා එදා වෙනමම ලොවකට රැගෙන යාමට මේ ගීතය සමත්වූ අතර එදා පටන් එය ගැයූ හරෑන් ලන්ත්‍රාටත්, සංගීතය නිර්මාණය කළ කේමදාසයන්ටත් හා ගීතයට මේ අමා දහරාවන් වැනි වදන් දහරාවන් ලියූ ධර්මසිරි ගමගේ සූරීන්ටත් මම පෙම් බඳින්නට පටන් ගතිමි. මෙම ලිපියේ අරමුණ පසුගිය සැප්තැම්බරයේ දහනම වෙනිදාට යෙදුණු ධර්මසිරි ගමගේ සූරීන්ගේ 13 වැනි ගුණානුස්මරණය වෙනුවෙන් බැවින් මම අද එතුමා ගැන පමණක් කතා කරමි.
පසුගිය අගෝස්තුවේ ලංකාවේ ගත කළ කෙටි කාලය තුළදී මරදානට ගොස් පොත් පත් මිලදී ගැනීමට වෙලාවක් කෙසේ හෝ මා වෙන්කර ගත්තේ ඉතාමත්ම අසීරුවෙනි. එහෙත් ඒ ගමන කෙතරම් නම් අගනෙ දැයි මට සිතුණේ ගොඩගේ පොත් මැඳුරේදී මා නෙතු ගැටුණු අමිල මැණික් දෙකක් වන් පුංචි පොත් දෙකක් නිසාවෙනි. එකක් නම් බංඩාර කේ විජේතුංගයන්ගේ ගී එකතුව වූ ” සුළඟ වගේ ඇවිදින්” ගී පද මාලා සංග්‍රහයයි. අනෙක නම් මේ ලිපියේ කතා නායකයා වන ධර්මසිරි ගමගේ සූරීන් විසින් විරචිත අමරණීය ගී පදමාලා ඇතුළත් ” සුළං කුරැල්ලෝ” නම් වූ කෘතියයි.
නිවාඩුව නිමවී ලංඩනයට පැමිණ එහි තිබෙන ඒකාකාරීවූත් සහ කාර්‍යබහුලවූත් වාතාවරණය මැද්දේ ලබා ගන්නා කෙටි හුස්ම පොඳකදී මම ” සුළං කුරැල්ලෝ” කියැවීමට අමතක නොකළෙමි. එය මා සැනෙකින්ම හැත්තෑවෙ දශකයේ අග භාගයට රැගෙන යාමට සමත්විය.
ඒ 76 වසර වන්නට ඇත. මෑතකදී අප හැරගිය මගේ ආදරණීය තාත්තා මා කැටුව නැරඹීමට ගිය මුල්ම චිත්‍රපටය වූ ” හුලවාලී” සිනමා පටය ළඟ මගේ අතීතය බලා දිව ගිය සිත නතර විය. එහි අති සංවේදීවූත් උද්වේගීකරවූත් අවස්ථාව වූ සුභා , ධාරාව අතහැරදමා වෙළෙන්දා සමඟ පැන යන අවස්ථාවේ මගේ කුඩා සිත තලා දමමින් මගේ නෙතු කඳුළින් පිරවූ ඒ පසුබිමින් ඇසුණු සුනිල් එදිරිසිංහයන් ගැයූ අමරණීය ගීතය, ” කුඩා ගමේ මද්දහනේ ” ලියා තිබුණේද ගමගේ සූරීන්ය. ඉන් පසු අනුරාධපුර සිත්තම්පලම් සිනමා ශාලාවේදී නැරඹූ ” දුලීකා” සිනමා පටයේ මා ඉතාමත්ම ප්‍රිය කළ ” දුලීකා” ගීතය සහ ” සිකුරුලියා” චිත්‍රපටයේ කූටප්‍රාප්තිය වූ ” සිකුරුලියා බොළඳ ලියා” ගීතයද ලියා තිබුණේ එතුමාය.
එමෙන්ම කේමදාසයන් සමඟ එක්ව, කේ ඒ ඩබ්ලිව් පෙරේරා සූරීන්ගේ ප්‍රථම සිනමා පටය වූ ” සැනසුම කොතනද ” චිත්‍රපටයට එතුමා තැනූ ” සුළං කුරුල්ලෝ”, ” සංසාර ගමනේ” හා ” ආදරයේ රන් විමනේ” යන ගීත සිංහල සිනමා ගීතයේ හැරවුම් ලක්ෂයක් වූයේ ඒවායේ වූ සංගීතයේ හා පද වල තිබූ නැවුම්බවත් නිර්මාණශීලීබවත් නිසාය. එකල මෙම ගීත , විචාරකයින් මහා ඉහළින් ඇගැයුවේත් වසර පනහකට අධික කාලයක් ගතවී ඇතත් අදටත් මේ ගීත එදා මෙන්ම රසික හදවත් තුළ ලැගුම් ගෙන ඇත්තේත් මේ නිසාය. මේ ගීත සිනමාපටයක් වෙනුවෙන් ගමගේ සූරීන්ගේ පන්හිඳෙන් ලියැවුණු ප්‍රථම ගී පද රචනා වූ අතර එයින්ම එතුමන් සතුවූ හැකියාව හා ප්‍රතිභාව අපට පෙනී යයි.
ජනක සහ මංජු චිත්‍රපටය උදෙසා ලියූ ” ලෝකේ ජීවත් වන්නට ලස්සන ඕනෑ වේ” හා ” සුවඳක් දැනේව් හදේහි ආදර ලෝකේ හා හා” යන ගීත රසික ප්‍රජාව අතර අති මහත්සේ ජනප්‍රිය විය. එමෙන්ම ” සුජීවා” චිත්‍රපටයට ලියූ ” චන්දන ඇල්ලෙන් නාලා” ගීතය, ” මනමාලයෝ” චිත්‍රපටයට ලියූ නාරද දිසාසේකර ගැයූ ” ආදර නිල් දෑසේ” ගීතය,බිනරමලී” චිත්‍රපටය උදෙසා ලියූ ” රන් පොකුණෙන් දිය නාගෙන එන්නේ” ගීතය, ” රෑන ගිරව් ” චිත්‍රපටයට ලියූ ” රෑන ගිරා ජෝඩුවයි හාද වෙලා ආදරෙයි” ගීතය , ” පුංචි බබා” චිත්‍රපටයට ලියූ ” මාඝෙ පුතුට මල්- යහන සදන්නේ” ගීතය, ” හන්තානේ කතාව” චිත්‍රපටයට ලියූ ” මහගිරි අරණේ මේ දිවි උයනේ” ගීතය, ” සහනය” චිත්‍රපටයට ලියූ ” සිහින නෙළුම් මල ජීවිත පොකුණේ” ගීතය, ” කවුද හරි” චිත්‍රපටයට ලියූ ” රිදී කුමාරී සීතල ඇල්ලයි” ගීතය හා ” නිවෙන ගින්න” චිත්‍රපටයට ලියූ ” මා හද වාවනු බෑ …දරැ සෙනෙහේ” ඇතුළු මෙකී නොකී බොහෝ ගීත දනන් තුඩ තුඩ නිතර රැව් දෙන තත්වයට පත්වූයේ ඒවායේ තිබූ අපූර්රත්වයයි. අව්‍යාජ හදවතින්ම ගලා ආ පද මාලාවයි.
එපමණක්ද? එතුමා තිර රචනය ලියා එතුමන්ම අධ්‍යක්ෂණය කළ ” පූජා” චිත්‍රපටයේ ” දරු දුක උහුලා තනිව වැලපෙනා” ගීතය අසා නොහැඬූ පියකු , පුතකු මේ ලොව ඇතිද? එතරම්ම සංවේදීව හදගැබටම අමතන පියකු ගැන ලියැවුණු තවත් නම් සිනමා ගීතයක් නොමැති බව මගේ හැඟීමයි. එමෙන්ම ” යසඉසුරු” චිත්‍රපයේ ” අම්මාවරුනේ” ගීතය තරම් හද කලඹන තවත් මවුන් ගැන ලියැවුණු තවත් සිනමා ගීතයක් මෙතුවක් කලකට බිහිවී ඇතිද?
මේ එතුමාගේ සිනමා ගීත පෙළහරයි. එපමණක්ද එතුමන් ලියූ ” බනින්නෙපා පොඩි දෝණිට”, ” පුංචි පුතා මගෙ ඉස්කෝලේ ගිය”, ” හද විල කලඹන පෙම් ජල රේඛා” සහ ” අද දීගෙක ගිය නුඹ මට බුලත් අතක් දීලා” වැනි සරල ගීත අපේ දිවියේම කොටස් මෙන් අපට සමීප විය. ඒ ගීත අසා අප හැඬුවෙමු. නැළවුණෙමු. නිවුණෙමු.
ගේය පද රචනය පමණක්ද? එතුමා මාධ්‍යවේදියෙකු, ලේඛකයකු හා අති දක්ෂ සිනමා තිරපිටපත් රචකයකුද විය. අමරණීය සිනමාපට වූ ” එයා දැන් ලොකු ළමයෙක්” , ” සිරිපාල සහ රංමැණිකා” සහ ” සරුංගලේ ” යන චිත්‍රපට පෝෂණය වූයේ එතුමාගේ තිර රචනයෙනි. ඒවායේ තිබූ කිසිදා අපට අමතක නොවන දෙබස් එතුමාගේය. ඒ වචන එතුමාගේය.
එතුමා ආදරයේ උච්චතම අවස්ථාවක් ” ආදරයේ රන් විමනේ මැණික් සඳක් පායලා” යැයි ලියා අපගේ හද ගැබටම ඇමතීය. සැබෑ ප්‍රේමයක් ඇතිනම් එහිදී ඇතිවන විරහවේදී වුවද උපදින බෝසත් සිතිවිලි ගැන ලියූවේ මෙසේය. ” ආල වඩන අකුරු පහේ තේරවිල්ල සකී…රෑට නිදන තනි පැදුරේ නැති සිහිනෙකි සකී….ආලෙ බිඳුණ දා කුමකට කඳුළු හෙළනු සකී….ආල වඩන යන තේරුම බෝසත් කම සකී….” අම්මා ගැන ඔහු ලියූ මේ ලියවිල්ලට සම කල හැක්කේ කුමක්ද? ” සෙනෙහස වැඩිදා සිතද බොළඳ වේ….. ලොවම ආදරෙයි කියා සිතේ…මායාවක් වී එහි තනි වූ දා…අම්මා පමණයි ළඟ ඉන්නේ….මෙයටත් වඩා සදාතනික සත්‍යයක් තවත් තිබේද? එසේම ඒ ගීතයේම එතුමා ලියා ඇති ” දරැවන්ගේ දුක් කඳුළු දකින දා සුරලොව සිට අත පා ඒ කඳුලැලි පිසිනා…” හදවත කීරි ගැහෙනවා නේද? එපමණක්ද පියා ගැන ඔහු ලියූ ” මහ මෙර වැනි බර සිතින් උසුලනා…..කඳුලැලි සමුදුර නෙතින් සඟවනා…..දරු දුක උහුලා තනිව වැලපෙනා….බුදු බව ලබනා පියවරු වෙසෙනා…පූජා…පූජා වේවා….” ගීතයේ පද අපට ඒ බර හදවතට ධනවනවා නොවේද? පියකුගේ, මවකගේ දාරක ප්‍රේමය ඉස්මතු කිරීමට මීටත් වඩා හොඳ වචන හා උපමා උපමේය තවත් ඇතිදැයි මට නම් සිතා ගත නොහැක.
ගාල්ලේ වඳුරඹ නම්වූ සුන්දර ගම්මානයේ ජන්ම ලාභය ලැබූ ගමගේ සූරීන් 1955 වසරේදී එතුමන්ගේ ප්‍රථම ගේය පද රචනාව, ජී එස් බී රානි පෙරේරා මහත්මියට ලියා දුන්නේය. එහෙත් 1960 වසරේදී එතුමන්ට හමුවූ ප්‍රේමසිරි කේමදාසයන් ගමගේ සූරීන්ගේ ගීත ලිවීමේ ආශාව තව තවත් වැඩි කිරීමට සමත් වීම එතුමාගේ කළා දිවියේ සංධිස්ථානය විය. මේ අතර 1962 දෛවෝපගත සිදුවීමක් ලෙස කේ ඒ ඩබ්ලිව් පෙරේරා සූරීන් තමන්ගේ ප්‍රථම සිනමා පටය වූ ” සැනසුම කොතනද” චිත්‍රපටයේ ගීත රචකයා ලෙස එවකට ආධුනික මට්ටමේ වුන් ගමගේ සූරීන්වද සංගීත අධ්‍යක්ෂක ලෙස ප්‍රේමසිරි කේමදාසයන්වද තෝරාගැනීම ගමගේ සූරීන්ගේ කළා දිවිය උඩු යටිකුරු කළ අහඹු සිදුවීම විය. එයින්ම අතිවිශිෂ්ට සිනමා ගීත රචකයකුගේ උපත සිදුවීම කලාවට ළැඳි අප සැමගේම පිනක් බව මම අදහමි. ඒ සඳහා මඟ විවර කළ කේ ඒ ඩබ්ලිව් පෙරේරා නම්වූ ඒ අසහාය සිනමා අධ්‍යක්ෂකවරයාද මම මේ අවස්ථාවේ ඉතාමත්ම ගෞරවපූර්වකව සිහිපත් කරමි.
කිසි විටෙක තම මුල අමතක නොකළ ගමගේ සූරීන් හැමවිටම තම සිනමා ගීත කලාවට අත්වැල සැපයූ කේ ඒ ඩබ්ලිව් පෙරේරා සූරීන් ගැන කෘතවේදීව සඳහන් කිරීමට අමතක නොකළේය. එතුමාගේ ” සුළං කුරුල්ලෝ” ගීත නිබන්ධ සංග්‍රහය කේ ඒ ඩබ්ලිව් ශ්‍රී නාමයට පුදකළේ එහෙයිනි. එය මෙසේයි.
” පිදුම
චිත්‍රපට ගීත ක්ෂේත්‍රයට මා යොමු කළ
කේ ඒ ඩබ්ලිව් පෙරේරා මහත්මාට
දුහුණනට සිත නොදෙන සමයෙක
ඔබ ළබැඳි සිත පෑ අතින්
මෙතෙක් දුර ආ ගමන සිහිකර
අත්වැලක් ලැබ ඔබ වෙතින්
දුහුණනට අද මුණ ගැසේවා
මෙවන් තුඟු මිනිසුන් නිතින්
එවන් පැතුමෙන් මහරු ගුණයට
පුදමි මේ ගත බැති සිතින් “
මින් වසර දහතුනකට පෙරදී ගමගේ සූරීන් අප හැර ගියද එතුමන්ගේ ගුණ කඳ හා ලියූ අමරණීය ගි අදටත් ජීවමානය. එතුමන්ගේ ” සුළං කුරුල්ලෝ ” කෘතියට පසු වදන ලියු මහචාර්‍ය එදිරිවීර සරචන්ද්‍රයන්ගේ සටහනක් උපුටා දක්වමින් ධර්මසිරි ගමගේ නම්වූ ඒ විසල් තුංඟ මිනිසා ගැන තැබූ මගේ කුඳු සටහන මෙසේ අවසන් කරමි.
” කුසලතා පිරිපුන් සාහිත්‍යවේදියෙකුවූ
ධර්මසිරි ගමගේ මෙතෙක් කලක් ප්‍රමාද වී හෝ මේ අන්දමේ ගීත සංග්‍රහයක් පළ කිරීම අතිශයින්ම වැදගත්ය.
ගීත රචනා ක්ෂේත්‍රයේ දීර්ඝ කාලයක් නිරත වී සාර්ථක ගී විශාල සංඛ්‍යාවක් රචනා කළ ඔහුගේ මෙම ගීත සම්මුචය එම ක්ෂේත්‍රයේ වැදගත් මං සලකුණක් වනු නිරනුමාණය. නවක නිර්මාණ ශිල්පීන්ට ගමගේ පෑ අත්වැල ලෙසින්ම මතු පරපුරේ ගීත රචකයනට ” සුළං කුරුල්ලෝ” ගීත සංග්‍රහය වැඩදායක අත්වැලත් වනු නිසැකය.”
චන්දන ගුණසේකර
20.09.2023
-
-
- Neela Pereraඔහුට නිවන් සුවය ලැබේවා
- Like
- Reply
- 1 d
- ActiveShanthi Senadheeraචන්දන , ඔබ මා මිතුරු “ධර්මසිරි ගමගේ නම්වූ ඒ විසල් තුංඟ මිනිසා” ගැන තැබූ සටහන ගැන ම ඉමහත් සතුටට පත්වෙමි. ඔහු පිලිබඳ ඒ මතකය යළි මතකයට නැගුවාට ඔබට පින්, ලියන්නට ඇතිදේ බොහෝය. ඔහු මා ලේක් හවුස් ආයතනයේ සේවවේ යෙ =දී සිටි අවදියේ පටන් මගේ ලෙන් ගතු මිතුරෙක් වුවා. කලක් යනතුරු එහි පාලකයන් ඔහු අගය නොකර පසෙක සඟවා සිටියා.ඒ කාලයේදී පවා ඔහු මොහොතක්වත් කාලය අපතේ යැව්වේ නැහැ.පසුව යොවුන්ජනතා පත්‍රයේ කතුවරයෙකු ලෙසත් පසුව සිළුමිණ නියෝජ්‍ය කතුවරයෙකු ලෙසත් පත්කරනු ලැබුවා,ඔහුයොවුන් ජනතා පත්‍රයේ (1978-79) සිටි කාලයේ මා එම පත්‍රය ගොඩනැගීමට මහත්සේ උදව් උනා, මා එකල සතිපතා ලියු “මෝටර් බයිසිකල් විප්ලවය හා සබඳුනු අත්පොත” නිසා පත්තරේ අලෙවිය වැඩි වුවා. යමුනා මාලිනී පෙරේරා එහි සේවය කලා එකළ . ඔහු මියන්නට වසරකට පෙර ඔහු ලන්ඩනයට ආවා.ඔහු සති 2 විතර නැවති සිටියේ අපේ නිවසේයි.අපි ලන්ඩනයේ බොහෝ තැන්වල ඇවිද්දා.ඔහු ආවේ එයාර් ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යක් සඳහායි.මට ඔබ සදහන් කළ සුළං කුරුල්ලෝ දී සීඩී පටිය හා පොත .පිංච හා ඔහු ලියා ප්‍රකාශයට පත්කර තිබී පොත්පත් රැසක් ඔහු මට තෑගි ලෙස දුන්නා.. මාලඟ ඒවා සුරැකිව තිබෙනවා.ඔහු මියගිය පුවත අසා අප අපමණ දුකට පත්වුවා,ඔහු මිය ගියේ දේශනයකට දඹදෙනියේ ගිය විටකදී. මා ළඟ ඔහුගේ සේයා රූ රැසක් තිබෙනවා.,ඒ ලබැඳි මිතුරාගේ අඩුව පුරවන්නට කෙනෙක් බිහිව නැහැ.එවන් සංවේදී පිරිඋන් හිත ඕනද මිනිසුන් ලොව විරලයි. අපි හැමටම මෙලොව අතහැර දිනෙක යා යුතුයි. හිතාදර ධර්මේ ඔබට නිවන් සුව අත්වේවා.
- Like
- Reply
- 7 h
- ActiveChandana GunasekeraShanthi Senadheera ඔබට බෙහෙවින්ම ස්තූතියි ඒ අමරණීය අතීතයෙන් බිඳක් අප සමඟ බෙදා හදා ගත්තට. බොහෝ අය ධර්මසිරි ගමගේ වැනි ප්‍රතිභාපූර්ණ විරළ මිනිසුන්ව හඳුනා නොගැනීම අපේ රටේ අභාග්‍යක්. මට එතුමන් හමු වීමට පිණක් තිබුණෙ නෑ. ඔබ ඉතා වාසනාවන්තයි. එතුමන් නිවනින් සැනසේවා!
- Love
- Neela Pereraඔහුට නිවන් සුවය ලැබේවා
-