ඒ හඬේ ශෝකී ස්වරය තුළ ගැබ් ව ඇත්තේ ඇගේ කතාවම නොවේ යැයි කාට නම් කිව හැකි ද

0
407

දුටු මනත හිත බැඳෙන හදවතකින් පෙරළා එවන් ම වූ ආදරයක් ලබන්නේ හැබෑවටම වාසනාවන්තයින් ය. ඒ ලැබෙන ආදරේ ජීවිතේට හිමි කරගන්නෝ ඊටත් වඩා වාසනාවන්තයන් වෙත්. ආදරය ලැබූ මුත් හිමි නොවූ තැන ඒ ආදරයේ ගරුත්වය දිවි හිමියෙන් රකින්නෝ වේද එවන් හදවත් හී ආදරය පූජනීය වන්නේ ය. අමරණීය වන්නේ ය.

පසුගිය දින කීපයේ හාරා අවුස්සමින් යලි යලිත් ඇසූ ගීයක පදවැල් ඔස්සේ දිවෙන ඒ හඬේ ශෝකී ස්වරය තුළ ගැබ් ව ඇත්තේ ඇගේ කතාවම නොවේ යැයි කාට නම් කිව හැකි ද…

“තේරේ ලියේ හම් නේ ජියේ

හෝටෝ කෝ සියේ

තේරේ ලියේ හම් නේ ජියේ

හර් ආසූ පියේ

දිල් මේ මගර් ජල්තේ රහේ

චාහත් කේ දියේ

තේරේ ලියේ…”

නුඹ නමින් ම දිවි ගෙවූයෙමි,

ගොළුවත රකිමින්

වේදනා සඟවගෙන කඳුළු බොමින්

එනමුත් නුඹ නමින්

මගේ හදවතේ

සදාකල්හිම දැල්වෙයි

ප්‍රේමයේ පහන්…!

භාරත ගී ලොව සරස්වතිය පසුගිය 6 වැනිදා ජීවන ගීයට සමු දුන්නාය. අප කාටත් රහසේ ගලා ගිය සුන්දර අවිහිංසක ආදර කතාවක ඉතිරි අඩ ද ඒ හා සැඟ ව ගියේ ය.

ලතා ජී අවිවාහක ව ජීවත් වීමට තීරණ කිරීම පිළිබඳ ව නොයෙක් මත වාද පැතුරුණත් ඇය ඉතාම වැදගත් සහ ගෞරවනීය ආකාරයෙන් ඒ පිළිබඳ අදහස් ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියා වාගේ ම විවාහ නොවී සිටීමට කළ ඇගේ තීරණයේ ද කිසිම වෙනසක් වූයේ නැහැ.

ලතා ට රාජ් ව මුණ ගැහෙන්නෙ සිය සහෝදරයා, හෘදයනාත් මාර්ගයෙන්. අයියාගේ මිතුරකු සහ එවක ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ රාජ් සිං දුන්ගාර්පූර් කඩවසම් තරුණයෙක්. පළමු හමුවේදී ම ලතාගේත් රාජ් සිංගේත් හිත්වල එකිනෙකා වෙනුවෙන් අපූරු බැඳීමක් ඇති වූයෙන් පසුව එය ඇයටත් නොදැනීම රාජ් ගැන වූ ආදරයකට පෙරළී තිබුණා. රාජ් තුළ ද එසේම ලතා ගැන ආදරයක් ඇති වී තිබුණෙන් ඔවුන්ගේ ආදර මිතුදම රහසේ ගලා ගියා. ” මිතූ” ඒ රාජ් ලතා ඇමතූ ආදරණීය නම.

එකිනෙකාට කෙතරම් ආදර කළත් ඔවුන් දෙදෙනාගේ දෛවයට තිබුණේ වෙනස් සැළසුමක්.

රාජ් සිං සාමාන්‍ය තරුණයෙක් නොවෙයි. රාජස්ථානයේ ඉතා ධනවත් රාජකීය පෙළපතක තුන් වන දරුවා වාගෙම ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ලතා ඒ වන විට ගායිකාවක ලෙස කීර්තියක් අත්කරගෙන සිටි නමුත් ඇය සාමාන්‍ය මධ්‍යම පාන්තික තරුණියක්.

මේ සමාජ විෂමතාව මත රාජ් ගේ දෙමව්පියන් මේ ආදරයට තරයේම විරුද්ධ වුණා. තම පුතුට වංශවත් ධනවත් පවුලකින් මනාලියක් සොයා දෙන බවත් වහාම පුතුගේ ජීවිතයෙන් ඉවත් වන ලෙසත් කියමින් ලතා ට රාජ් ගේ මව බැන වැදී තිබුණා.

සිය ආදරයට අවමන් වනු නොදී රාජ් ගේ ගරුත්වය ද ආරක්ෂා කරගත් ලතා කිසි දිනෙක විවාහ නොවෙමි යි තමන් වෙතම ශපථ කරගෙන නිහඬ ජීවිතයක් ගත කළා.

ඉතාම අවංකව ම ලතා ට ආදරය කළ රාජ් සිං ද ඊට දෙවෙනි වූයේ නැහැ. කෙතරම් හැකියාව තිබුණත් කිසිම දිනෙක විවාහ නොවෙමි යි ඔහුත් තීරණය කර තිබුණා.

පසු කාලයක රාජ් සිං, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති තනතුර හෙබවූ අතර ඒ කාලයේ ඉන්දීය ක්‍රිකට් පිළ ලෝක ශූරතාව දිනා ගත්‍තත් ඒ ජයග්‍රහණය සැමරීමට ඔවුන්ට මුදල් තිබුණේ නැහැ. මේ වෙලාවේදී ලතා ඇමතූ රාජ් ඇගේ සහය පැතූ විට රාජ් වෙනුවෙන් දැවැන්ත සෙවණැල්ලක් මෙන් සිටි ලතා වහාම ගී ප්‍රසංගයක් සංවිධානය කරවා සතයකුදු අය නොකර ගී ගයමින් රාජ් ට අවශ්‍ය කර තිබූ ලක්ෂ විස්සක පමණ වූ මුදල සොයා දීමට සමත් වුවා ය.

එක්වීමට නොහැකි වුවත් එකිනෙකා වෙනුවෙන් ඇති කරගත් ආදරයේ යුතුකම ඉටු කරන්නට ඔවුන් දෙදෙනාම හදවතින් බැඳී සිටින්නට ඇත. 2009 වන විට 72 වන වියෙහි පසු වූ රාජ් සිං අසනීපයෙන් සිට මිය යන තෙක්ම ඔහුත් සිය පොරොන්දුව දිවි හිමියෙන් රැක තිබුණි.

“චාහා ථා ක්‍යා පායා හෙ ක්‍යා

හම්නේ දේඛියේ

දිල්මේ මගර් ජල්තේ රහේ

චාහත් කේ දියේ

තේරේ ලියේ…”

“අප පැතුවේ කුමක් ද, ලැබුවේ කුමක් ද

එනමුත් ඔබ නමින් මගේ හදවතෙහි ප්‍රේමයේ නාමයෙන් පහන් දැල්වෙනු ඇත…”

සිය ආදරණීයයාගේ වියෝ ව හමුවේ ලතා ට එසේ සිතෙන්නට ඇති.

සත්‍ය අසත්‍ය තාවය කෙසේ වෙතත් මේ කතාවේ තවත් පැත්තක් තිබේ. එනම්, ගැහැනියක් සම්පූර්ණ වන්නට නම් විවාහ වී දරුවන් ලැබිය යුතු ය යන ගතානුගතික මතය සමඟ ලතා ජී එකඟ නොවූ බව යි. සිය ආදරය අහිමි වූවා කියා ඇය ජීවිතය වරදා ගත්තෙ නැහැ. එක් අතකින් සිය ආදරයේ ගරුත්වය රැක ගන්න අතරම අනෙක් අතින් ඇය සංගීත ලෝකයේ හිනිපෙත්තටම ළඟා වුණා.

වරක් හින්දුස්ථාන් පුවත්පත හා සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ලතා මේ අදහස් පවසා තිබුණා.

“මම කටයුතු කළ සිනමාව සංගීතය ක්ෂේත්‍ර දෙකම ගැහැනියකට ඉදිරියට යාමට පහසු තැන් නොවෙයි. පුරුෂමූලික සමාජයක ගැහැනියක් ලෙස ස්ථාවරයක් ගොඩනගා ගැනීම ඉතාම දුෂ්කරයි. නමුත් මම එය කළා.

විවාහ නොවුනා කියා ගැහැනියක් අසම්පූර්ණ වන්නේ කොහොම ද? වැදගත් ම දේ ගැහැනියක් විදියට ආත්මාභිමානයෙන් යුක්තව අන් අය ඉදිරියේ නැගී සිටීමට සමත් වීම යි.”

“ඒත් ලතා ජී, ඔබ විවාහ නොවූයේ ඒ නිසාම ද? වෙනත් හේතුවක් තිබුණා ද?

“සමහර දේවල් රහස් විදියටම හදවතේ ම තියෙන එකයි වඩාත් හොඳ…”

පසුගිය පෙබරවාරි හය වැනිදා ලතා මංගේෂ්කාර්ගේ දිවි සැරිය නිම වීමත් සමඟ ම තවත් එක් නිර්මල ආදරයක කතාව අවසන් වී ගියා.

“හිතවත, මම ඔබ වෙනුවෙන්ම ජීවත් වීමි. ගොළුවත රකිමින්. නමුත් මේ හදවතෙහි සදාකල්හිම අපේ ආදරය නමින් පහන් දැල්වෙනු ඇත!”

– රුවන්ති වත්තගේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here