“මානසික රෝග වැළඳීමේ ප්‍රවණතාව ඉහළ ගිහින්”

0
393

By K.L Suraweera -Kandy

මැයි 9, 2023 පෙ.ව. 9:13

0

මෙරට ජනතාව මානසික රෝගවලට ගොදුරුවීමේ ප්‍රවණතාව ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව විශේෂඥ මනෝ වෛද්‍ය නිවහන සමාජයේ සභාපති වෛද්‍ය ඩබ්ලිව්.ඒ.එල්. වික්‍රමසිංහ පැවසීය.

මහනුවර බෝගම්බර පැරණි බන්ධනාගාර පරිශ්‍රයේ පවත්වන ලද මානසික ගැටලු සහිත පුද්ගලයන් හඳුනා ගැනීම සහ ඔවුන්ට ප්‍රතිකාර කිරීම වෙනුවෙන් වූ වැඩසටහනේදී මනෝ වෛද්‍ය විශේෂඥ වික්‍රමසිංහ ඉහත අදහස් පළ කළේ ය.

මෙහිදී තවදුරටත් අදහස් පළ කළ ඔහු මෙසේ ද කීය.

“අප රටේ මානසික රෝගීන් ශීඝ්‍රයෙන් ඉහළ යාම සම්බන්ධයෙන් වන හේතුන් පිළිබඳව ද අපි විශේෂයෙන් අධ්‍යයනයක් කළා. වර්තමානයේ රටේ පවතින ආර්ථික හා සමාජ අර්බුදය මීට බලපෑ එක් ප්‍රධාන හේතුවක් බව මෙහිදී අපට පැහැදිලි වුණා. මෙය ඉතාමත් ගැටලු සහගත තත්ත්වයක්.

රටක තීන්දු තීරණ ගන්නා පුද්ගලයෝ නිසි මානසික ඒකාග්‍රතාවක් නොමැතිව කටයුතු කරන විට රටත් ජනතාවත් විශාල අර්බුදවලට ලක්වෙනවා. මානසික අර්බුද ඉන් ප්‍රධාන තැනක් ගන්නවා.

රට පාලනය කරන පුද්ගලයන් මානසික ඒකාග්‍රතාවක් නොමැතිව කටයුතු කරන ආකාරය පිළිබඳ ඕනෑ තරම් උදාහරණ ශ්‍රී ලාංකේය දේශපාලනය තුළින් උපුටා දක්වන්න පුළුවන්. තමන් මානසික රෝගයකින් පෙළෙන බව බොහෝ අය දන්නේ නෑ. එවන් පිරිස් අප රටේ දේශපාලනයේ ද ඕනෑ තරම් සිටිනවා.

නිසි ප්‍රතිකාර සඳහා යොමුවීමෙන් ව්‍යාකූල මනස නිරවුල් කර ගැනීමට හැකි වෙනවා. ඒ සඳහා අවශ්‍ය උපදේශනය නිසි ලෙස ලබා ගැනීම අතිශයින් වැදගත්. ඒ සඳහා අවශ්‍ය උපදේශන මහනුවර නිවහන සමාජයෙන් අපි ලබා දෙනවා.”

මහනුවර ජාතික රෝහල හා නිවහන සමාජය අනුබද්ධව මෙම මානසික රෝගීන් සුවපත් කිරීමේ වැඩසටහන සංවිධානය කොට තිබූ අතර මෙම අවස්ථාවට මහනුවර ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු, සහකාර ඉන්දියානු මහ කොමසාරිස් වෛද්‍ය එස්. අතීරා, කටුගස්තොට මූලික රෝහලේ ප්‍රජා මානසික සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ ප්‍රධානි වෛද්‍ය මෙත්සිරි හේරත් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here