
අපරාධකාරයො අපි දන්නවා – මේ දොර ඇරියොත් හුඟක් දේවල් එළියට එයි
ලසන්ත වික්‍රමතුංගගේ සොහොයුරු ලාල් වික්‍රමතුංග
Silumina Features
January 10, 2026
ශාලික විමලසේන, චානක ඉනෝජ්
අදින් වසර 17කට පෙර සිදු වූ මේ ඝාතනයට මෙතෙක් යුක්තිය ඉටු වී නැත. ලසන්ත යනු කවුද?, ඔහුගේ භාවිතාව කුමක්ද? යන්න මෙන්ම මිනිසකු ලෙස ඔහු කුමනාකාරද? යන්න සම්බන්ධයෙන් ලසන්ත වික්‍රමතුංගගේ වැඩිමහලු සොහොයුරු ලාල් වික්‍රමතුංග සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකි, මේ.
ලසන්ත වික්‍රමතුංග ‘සන්ඩේ ලීඩර්’ පුවත්පතේ ආරම්භක කර්තෘවරයා බවට පත් වන විට, ඔබ ‘සන්ඩේ ලීඩර්’ ආයතනයේ සභාපතිවරයා. කොහොමද මේ පවුලේ මාධ්‍ය භූමිකාව ගොඩනැඟෙන්නෙ?
අපේ පවුලේ මවුපියන්ට ළමයි හයදෙනෙක් හිටියා. මට අක්කලා දෙන්නෙක්. පිරිමි අයගෙන් වැඩිමහලු මම. මට බාල මල්ලි කෙනෙක් සහ නංගි කෙනෙක්. බාලයා ලසන්ත. එයා මට වඩා අවුරුදු අටක් බාලයි. අපි පාසල් ගියෙ කොල්ලුපිටියෙ සාන්ත තෝමස් විද්‍යාලයට. ඊට පස්සෙ සාන්ත බෙනඩික්ට් විද්‍යාලයට. අපේ තාත්තා දේශපාලනයේ නිරතව හිටියා. ඔහු ඒ කාලෙ කොළඹ මහා නගර සභාවෙ උප නගරාධිපති. අපි හිටපු කොටහේනේ විවිධ ජනමාධ්‍යවේදීන් හිටියා; ඒ වගේම විවිධ ජන කොටස් හිටියා. අපි ඔක්කොම එකට හිටියා. ඉස්කෝලෙ ඉඳලම අපි ලිපි ලේඛන ලියන්න පුරුදු වුණා.
කොහොම හරි මම ජනමාධ්‍ය පැත්තට ඇතුළු වුණේ අහම්බෙන්. මම ඉස්කෝලෙ ඉද්දි ක්‍රිකට් ක්‍රීඩා කළා. 1970දී මම ලංකාවෙ හොඳම බෝලර් වුණා. මම පොලීසියට ගත්තා ඒක හින්දා. අවුරුදු හතකට පස්සෙ මම පොලීසියෙන් අයින් වුණා. ඊට පස්සෙ රස්සාවක් හම්බ වුණා, මල්ටිෆැක්ස් කියන ආයතනයේ. ඒ ආයතනයෙ තමයි, ‘සිත්තර’, ‘කුමරි’ වගේ චිත්‍රකතා පත්තර මුද්‍රණය කළේ. ජනක රත්නායක, බන්දුල හරිස්චන්ද්‍ර වගේ ආටිස්ට්ලා ඔක්කොම බලාගන්න මට භාර දුන්නා. මට මුද්‍රණාලයත් භාර දුන්නා.
පස්සෙ ඒකෙ කළමනාකාරිත්වය මේක අත්හරින්න ගියා. මම ඒ වෙලාවෙ ඒක භාර ගත්තා, ලොකු ණයකුත් එක්ක. චිත්‍රකතා ලොකු කාලයක් දුවන්න බැරි නිසා පුවත්පතක් පටන්ගන්න අපි හිතුවා. ඒක ලේසි නෑ. ලසන්ත ඒ කාලෙ නීතිඥයෙක්. එයා රංජිත් අබේසුන්දර මහත්තයා ළඟ වැඩ කරමින් හිටියෙ එතකොට. මෙහෙම වැඩක් කරමුද කියලා මං ඇහුවම ලසන්ත කැමැති වුණා. එයා ඒ වෙනකොටත් ලිපිලේඛන ලියනවා. මං ගැන එයා විශ්වාසය තිබ්බා.
හැබැයි එයා මට කොන්දේසියක් දැම්මා. කළමනාකාරිත්වයෙන් මාධ්‍යවේදීන්ගෙ වැඩවලට ඇඟිලි ගහන්න බෑ කියලා. මං ඒ සහතිකය දුන්නා. අපි ඒ විදිහට පටන්ගත්තෙ ‘ලීඩර්’ එක. අපි ඉලක්ක කළේ ගෙව්ෂණාත්මක වාර්තාකරණයෙන් වංචා-දූෂණ අනාවරණය කරන එක. ජනතාව අපව වැලඳගත්තා.
මීට වසර 17කට පෙර, අත්තිඩිය ගුවන් හමුදා කඳවුර පෙනෙන මානයේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කරනවා. පවුලේ වැඩිමහලු සහෝදරයා විදිහට ඔබ කොහොමද ඒ අවස්ථාවට මුහුණ දුන්නෙ?
මම කාර්යාලයේ හිටියෙ. මම හිටපු තැනට වැඩි දුරක් නෑ. අපේ රියැදුරු මහත්තයෙක් මට දුරකතනයෙන් දැන්නුවා, ලසන්තගෙ කාර් එක නවත්තලා, කලබලයක් කියලා. අපේ ලේඛක ලේඛිකාවො කිහිප දෙනෙකුත් ඇවිත් මට කිවුවා සිදුවීම ගැන. කළුබෝවිල රෝහලට ගියාම තමයි බැරෑරුම්කම දැනගත්තෙ. සෙනඟ ගොඩක් හිටියා. එකපාරටම මේක ගැන හිතාගන්න බැරුව ගියා. දොස්තර මහත්වරු ඇවිත් කියන කොට තමයි, ඇත්ත සිහියට ආවෙ. අපට සැකයක් තිබුණා, ලසන්තට ගහයි කියලා. හැබැයි අපි හිතුවෙ නෑ, ලසන්තව මරයි කියලා. ලසන්ත හිතුවෙත් නෑ ඒක. මුලතිව් යුද්ධය වෙලාවෙ ලසන්ත ඇවිත් මට කිව්වා, මට ගහනව නම් ගහන්නෙ දැන් තමයි, ජනතාව ඔක්කොම බලාගෙන ඉන්නෙ ඒ පැත්ත කියලා.
ලසන්ත ඝාතනය කාලයෙන් කාලයට දේශපාලන වේදිකාවේ මාතෘකාවක් වෙනවා. ඒ විමර්ශන තවමත් නිශ්චිත තැනකට ඇවිත් නෑ. ලසන්තට යුක්තිය ඉටු වීමේ වේගය හෝ ඒ විමර්ශන සම්බන්ධයෙන් ඔබ සෑහීමකට පත් වෙනවද?
මේ සිද්ධිය වුණු දවස්වල කිවුවෙ ලසන්තව මැරුවෙ එල්ටීටීඊ එකෙන් කියලා. එතකොට තිබුණෙ රාජපක්ෂ රෙජීමය. ඔවුන් තමයි ඒ කතාව යැවුවෙ. හැම ජනවර්ගයක්ම ලසන්තට කැමැතියි. එල්ටීටීඊ එකට ලසන්ත මරන්න හේතුවක් තිබුණෙ නෑ. ඒ කාලෙ ඡන්ද ගන්න ගෙනාපු උපක්‍රමයක් තමයි රණවිරුවො කියන එක. අපි දන්නවා, යුද හමුදාවෙ අය තමයි ලසන්තව මරන්න පාවිච්චි කළේ කියලා. මෝටර් සයිකල් පැදපු අයගෙ නම්, ඒ යුනිට් භාරව හිටපු අයගෙ නමුත් දැන් දන්නවා.
එතකොට හමුදාවෙ අය මේ සිද්ධියට අත්අඩංගුවට ගන්න කොට කණ්ඩායමක් කෑගහනවා, රණවිරුවො අත්අඩංගුවට ගන්නවා කියලා. එතකොට ඡන්ද අඩු වෙනවා කියලා ආණ්ඩු දන්නවා. දැන් කාලෙකට පස්සෙ විමර්ශන තරමක් ඉදිරියට යනවා. මම දන්න විදිහට අලුත් සාක්ෂිත් ඇවිත් තියෙනවා. ඒ ප්‍රහාරයට සහභාගි වුණු පුද්ගලයෙක් දැන් ආබාධිත අයෙක්. ඉහළ උසාවියෙ නීතිඥවරු නෑ නෙ.
මම හැම වෙලාවෙම කල්පනා කරන දෙයක් තමයි, මෙහෙම මිනීමරලා නිදාගන්නෙ කොහොමද කියන එක. මගේ ජීවිතේ අමාරුම වුණු තැන තමයි, ටෙලිෆෝන් එක අරන් තාත්තට මේක ගැන කියන එක. එයා හිටියෙ ලංකාවෙ නෙමෙයි ඒ වෙලාවෙ. ලසන්තව බේරගන්න බැරි වුණා කියලා තාත්තට කොහොමද කියන්නෙ. මම අයියා. තාත්තාට මේක කිවුවාම එයා මොකුත් කිවුවෙ නෑ; ‘අම්මා මෙතැන ඉන්නවා, කතා කරන්න’ කියලා ෆෝන් එක දුන්නා. අම්මා කිවුවා: ‘ආරංචි වුණා, මට එකක් කියන්න, පොඩි එකාට රිදුණද, නැද්ද කියලා’. අවුරුදු දාහතක් ගියත් මට ඒ මොහොත, ඒ වචන අමතක වෙන්නෙ නෑ.
නීතියේ ආධිපත්‍යය ක්‍රියාත්මක කිරීමේ ප්‍රමාණය, ලසන්තට කවද හරි යුක්තිය ඉටු කරයි කියලා විශ්වාස කරනවාද?
ඔව්. මම විශ්වාස කරනවා. ලසන්ත හෙවුවෙ යුක්තිය. ලසන්ත වැඩ කළේ යුක්තිය වෙනුවෙන්. වරක් ලසන්තගෙ මිනිය ගොඩගන්න හේතු වුණේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් වැරදි නියෝගයක් දීලා තිබුණු එක. කවදහරි නඩුවක් දැම්මොත් ඒකෙ හරි ක්‍රමවේදයක් තියෙන්න ඕනෑ. ඒක නිසා ඒක කරන්න වුණා. මට කියන්න ඕනෑ: මගේ වාසනාවකට ලසන්තගෙ මිනිය ගොඩගන්න වෙලාවෙ මම ලංකාවෙ හිටියෙ නෑ; මම රාජකාරි වැඩකට ඔස්ට්‍රේලියාවෙ ගිහින් හිටියෙ. ඒ නිසා අපේ පවුලේ ඥාතියෙක් තමයි පවුල වෙනුවෙන් ඉදිරිපත් වුණේ.
එවකට පැවති ආණ්ඩුවේ තීරණාත්මක චරිතයක් සම්බන්ධ වුණු ආන්දෝලනාත්මක ගනුදෙනුවක් ගැන ලසන්ත ලියමින් හිටියා, ඒ ගැන අධිකරණ කටයුතුත් සිදු වුණා. මේක බරපතළ තැනකට ඇවිත් තිබුණෙ. ඒ අතර තමයි ලසන්ත ඝාතනය කරන්නෙ.
ඔබ මේ ගැන ලසන්ත එක්ක කතා කළාද, මේක ගැන ලියන්න එපා හෝ යම් සීමාවක් ගැන හෝ අදහසක් කිවුවාද?
නෑ, කවදාවත් නෑ. ලසන්ත ඒවා පිළිගන්නෙත් නෑ. අපි ඉගෙනගත්ත ඉස්කෝලෙ කියපුවා මතක් වෙනවා. උදේට නැඟිටලා ලජ්ජාවක් නැතුව තමන්ගෙ මූණ දිහා බලන්න පුළුවන් නම්, ඊට කලින් දවසෙ කෙළින් වැඩ කළා කියලා, ඒකයි වෙන්න ඕනෑ. එහෙම බැරි වුණොත් තමයි ප්‍රශ්නය. ලංකාවෙ හැමදාම දේශපාලනඥයන් කියන්නෙ ‘අපි බලයට ආවොත්…’ කියලා; සහන දෙනවා, යුක්තිය ඉටු කරනවා කියනවා. අපට මේක වෙනස් කරන්නයි ඕනෑ වුණේ. ලසන්තට ගැහුවා දෙසැරයක්ම. හදිසි නීතිය යටතේ අපේ ආයතනය වැහුවා. අපි ගේ විකුණලා ස්ටාෆ් එකට පඩි ගෙවුවා; කවදාවත් සීමා දැම්මෙ නෑ. ලසන්ත එහෙම සීමා දාගන්න සූදානම් වුණෙත් නෑ.
ලසන්ත ඝාතනය ගැන ඍජුව කිසිදු සැකකරුවෙක් මෙතෙක් අත්අඩංගුවට අරගෙන නෑ. සැකකරුවන් අත්අඩංගුවට අරගෙන තියෙන්නෙ සාක්ෂි වසන් කිරීම ආදි හේතු මත. ලසන්ත මේ තර්ජන ගැන ඔබත් එක්ක කතා කරලා තිබුණාද?
අපි කතා කරනවා. වෙනත් පුවත්පත් වගේ නෙමෙයි; අපේ කර්තෘයි, හිමිකරුයි දෙන්නම ටාගට් කළා නඩු දානකොට වගේ වැඩවලදි. ලසන්තටයි, මටයි විතරක් නෙමෙයි, අනෙක් අපේ ලේඛක ලේඛිකාවන්ටත් තර්ජන තිබුණා. හැබැයි අපට ඒ ගමන වෙනස් කරන්න අවශ්‍යතාවක් තිබුණෙ නෑ. මේක කළේ කවුද කියලා අපි දන්නවා. ඔතැන, ඔය ගුවන් හමුදා කඳවුර ළඟ ඔහොම වෙඩි තියලා නිදහසේ යන්න පුළුවන්ද? වව්නියාවල ඉඳලා මෝටර්සයිකලයක් ගෙනැත් අත්තිඩියෙ ඇළක දාන්නෙ කොහොමද.
ලසන්තගේ දියණිය අමෙරිකාවෙ ඉඳලා යුක්තිය වෙනුවෙන් සටන් කරනවා. ඔබ මෙහෙ. පවුලේ අය යුක්තිය වෙනුවෙන් කරන සාමූහික උත්සාහයට සමාජයෙන් ලැබෙන සහයෝගය මොන වගේද?
ඉතාම වැදගත්. විශාල සහායක්, ලසන්තගෙ මිත්‍රයන්, ක්‍රියාකාරීන් ඔක්කොම එකතු වෙලා තමයි මේක කරන්නෙ. අපි කවදාවත් යුක්තිය වෙනුවෙන් කරන සටන අත්හරින්නේ නෑ. ලසන්ත විතරක් නෙමෙයි, එක්නැලිගොඩ, තාජුඩීන්… තව කීයක්ද? මේවා සංකේතාත්මක නඩු. තව සමාජයෙ කතාබහට ලක් නොවන කී දෙනෙක් මැරුවද, උතුරෙ වගේම දකුණෙත්. මේ දොර අරින්න ඕනෑ. එතකොට ඔය හුඟක් ඝාතනවලට යුක්තිය ඉටු වෙයි.
එදා 2009 ජනවාරි 08 වැනිදා ය. වේලාව උදේ 8.10ට පමණ ඇත. පූර්වාරාම පාරේ කන්දේවත්ත, ටෙරන්ස් පාරේ ලසන්තගේ නිවෙසට මඳක් දුරින් පිහිටි සිල්ලර බඩු කඩයක් අසල ත්‍රිරෝද රියක් නතර කර තිබිණි. එය එහි නිතර තිබෙන ත්‍රිරෝදයකි. රියැදුරු පත්තරයක් බලමින් සිටියේය. රියට ඉදිරියෙන් යතුරුපැදියක් නතර කර තිබුණු අතර, ෆුල්ෆේස් හෙල්මට් පැලඳි පුද්ගලයෙක් යතුරුපැදියටම වී සිටියේය. තවත් පුද්ගලයෙක් හිස් ආවරණය අතට ගෙන සිගරැට්ටුවක් බොමින් පාර දෙස බලා සිටියේය.
උදෑසන 8.20ට පමණ ලසන්ත වික්‍රමතුංග ටෙරන්ස් පාරේ නිවෙසින් පිටත් විය. වංගුව හැරී කඩය පාස් වනවාත් සමඟම ‘අන්න එනවා… අන්න එනවා…’ යැයි සිගරැට්ටුව අතේ තියාගෙන සිටි පුද්ගලයා කී අතර, ඒ සමඟම ඔහුද යතුරුපැදියට නැඟ වික්‍රමතුංගගේ වාහනය පසුපස යන්නට විය.
මේ සිදුවීම ගැන සැක සිතුණු ත්‍රිරෝද රියැදුරා ඒ ගැන කඩයේ සිටි පිරිසට දැන්වීය. ලසන්තගේ රියැදුරු එම කඩයට නිතර ආ-ගිය නිසා රියැදුරුගේ අංකය කඩයේ මුදලාලි ළඟ විය. ඔහු රියැදුරුට ඇමතුමක් ගත්තත් ප්‍රතිචාරයක් නොලැබිණි. ඒ වන විට රියැදුරුගේ ජංගම දුරකතනය තිබුණේ ලසන්තගේ වාහනයේය. රියැදුරු නිවෙසේ සිටියදී වාහනය පදවාගෙන ගියේ ලසන්තමය.
ඉන් මිනිත්තු කිහිපයකට පසු යමක් ගැනීමට ලසන්තගේ රියැදුරා කඩයට පැමිණියේය. කඩයේ පිරිස සිද්ධිය විස්තර කළ පසු, ඔහු වහා ලසන්තගේ ‘සන්ඩේ ලීඩර්’ ආයතනයට ගියත් ඔහු පැමිණ සිටියේ නැත. වහාම ඔහු සිද්ධිය ආයතනයේ කළමනාකරුවකුට කී විට ඔහු ලසන්තට දුරකතන ඇමතුමක් ගෙන රියැදුරාට දුන්නේය.
‘බයික්එකේ අංකේ හොයාගන්න බලන්න,’ ලසන්ත රියැදුරුට කීවේය.
ලසන්ත වික්‍රමතුංග එදින ගියේ බත්තරමුල්ලේ නිවෙසටය. එහි සේවකයකුට අසනීප වී තිබුණු අතර, ලසන්ත හිතවත් වෛද්‍යවරයකුගෙන් බෙහෙත් අසාගෙන බිරිය සමඟ බෙහෙත් මිල දී ගැනීමට ගියේය. ඒ යද්දී සහ එද්දී යතුරුපැදි තමන් හඹා එන අයුරු ඔවුහු දුටහ. වහාම වාහනය ගේට්ටුවෙන් ඇතුළට දැමූ අතර, යතුරුපැදි ලසන්තගේ ගේට්ටුව පසුකරගෙන ගියේය. මඳ වේලාවක් එහි සිටි ලසන්ත යළි වාහනයට නැග්ගේ ‘සන්ඩේ ලීඩර්’ ආයතනයට යෑමටය. ඒ අතරමගදී අසාත් සාලි, මලික් සමරවික්‍රම ඇතුළු පුද්ගලයන් විවිධ වැඩ සඳහා ලසන්තට ඇමතුම් ගත් අතර, තමන් පසුපස යතුරුපැදි ලුහුබඳින බව ඔහු කීවේය. වහා ආරක්ෂිත ස්ථානයකට යන ලෙස දුරකතන ඇමතුම් දුන් පුද්ගලයෝ ලසන්තට දැනුම් දුන්හ.
‘සන්ඩේ ලීඩර්’ ආයතනයට යන අතරතුර ජපන් මිත්‍රත්ව පාරට ගොස් නීතිඥයකු හමු වූ ලසන්ත ඉන් පිටත් වී ආපසු යද්දී සුපුරුදු පරිදි යතුරුපැදි දෙකක් ඔහු ලුහුබැඳ එනු දැක්කේය. ලසන්ත පසුපස යතුරුපැදි ලුහුබඳින බව කී නිසා මලික් සමරවික්‍රම වරින් වර ඔහුට කතා කරමින්, ආරක්ෂිත ස්ථානයකට යන ලෙස දැනුම් දුන්නේය. උදේ 10.21ට පමණ ලසන්තට යළිත් කතා කළ මලික් සමරවික්‍රමට, තමා පසුපස ලුහුබඳින යතුරුපැදි ගැන ලසන්ත දැනුම් දුන් අතර, ලසන්ත සමරවික්‍රම සමඟ කතා කරමින් වාහනය පදවාගෙන ගියේය.
අත්තිඩිය, මලගල කනිෂ්ඨ විද්‍යාලය අසල කහ ඉරට ඔබ්බෙන් බස් රථයක් කතර කළේය. එනිසා ලසන්තගේ වාහනයද එතැන මඳක් නතර කිරීමට සිදු විය. යතුරුපැදි දෙකක් ලසන්තගේ වාහනය හරස් කර නතර කෙරිණි. තවත් යතුරුපැදි දෙකක් පැත්තෙන් නතර විය. ඉන් බැසගත් පිරිස ලසන්ත වෙත ගොස් යමකින් ඇන පලා ගියහ. ඒ සමඟම ලසන්ත හා මලික් සමරවික්‍රම අතර දුරකතන සංවාදයද නිමා විය. යතුරුපැදි දෙකක් මලගලින් පිළියන්දල දෙසටත්, අනෙක් යතුරුපැදි දෙක ගල්කිස්ස දෙසටත් විදුලි වේගයෙන් ගොස්, නොපෙනී ගියේය.
“බයික්වලින් ආපු කට්ටියක් කූරු දෙකකින් වගේ අනිනවා දැක්කා. ඉන් පස්සේ එයාලා ගියා.” එසේ කීවේ සිද්ධිය ඇසින් දුටුවෙකි. ඉන් පසු ඒ අසල මුද්‍රණ ආයතනයක පුද්ගලයෙක් හා තවත් පුද්ගලයෙක් පැමිණ වෑන් රථයක් නවත්වාගෙන ලසන්ත ඊට පටවා ගත්හ. මුද්‍රණ ආයතනයේ පුද්ගලයා වාහනයේ ඉදිරිපස සිටි අතර, අනෙක් පුද්ගලයා ලසන්ත තම ඔඩොක්කුවේ තබාගෙන පිටුපස සිටියේය.
මඳ දුරක් වාහනයෙන් ලසන්ත ගෙනයද්දී ලසන්තගේ දුරකතනය යළින් නාද වූ අතර, ලසන්ත ඔඩොක්කුවේ තබාගෙන සිටි පුද්ගලයා ඊට ප්‍රතිචාර දැක්වීය. ලසන්තට වූ දේ ඔහු ඇමතුම දුන් පුද්ගලයාට විස්තර කළේය. ඇමතුම දී තිබුණේ මලික් සමරවික්‍රම ය.
“වහාම කළුබෝවිලට මෙයාව ගෙනියන්න” යැයි උපදෙස් දුන් මලික් සමරවික්‍රම අනෙක් අයට පණිවිඩය දුන්නේය. එහි ප්‍රතිඵලයක් ලෙස මහාචාර්ය මොහාන් සිල්වා ප්‍රමුඛ වෛද්‍ය කණ්ඩායමක් ඒ මොහොතේම කළුබෝවිල රෝහලට පැමිණි අතර, ලසන්ත ගෙන ආ ගමන් ප්‍රතිකාර ආරම්භ කරනු ලැබීය. තත්වය දරුණු නිසා මහාචාර්යවරයා ප්‍රමුඛ කණ්ඩායම ශල්‍යකර්මයක්ද සිදු කළත් සාර්ථක වූයේ නැත. එදින දහවල් ලසන්ත වික්‍රමතුංග මිය ගියේය.
ලසන්තගේ ශල්‍යකර්මය කළ මහාචාර්යවරයා සිය මතය සඳහන් වාර්තාවක් 2009 ජනවාරි 12 වැනිදා පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ අධිකරණ වෛද්‍යවරයාට යොමු කළේය. එමඟින් මහාචාර්යවරයා ප්‍රකාශ කර තිබුණේ ශරීරයේ උණ්ඩ කොටස් තිබුණේ නැති බවයි. වෙඩි පිට වූ තැනක්ද නොතිබූ බවත්, වෙඩි තැබීමක සලකුණක් වත් නැති බවත් සඳහන් කළ මහාචාර්යවරයා, මෙය වෙඩි තැබීමකින් සිදු වී නැති බව සිය වාර්තාවේ සඳහන් කළේය.
එම ස්ථානයට රජයේ රස පරීක්ෂකද පැමිණ පරීක්ෂණයක් කළ අතර, ඔහුද වාර්තා කළේ මෙය වෙඩි තැබීමක් නොවන බවයි. මේ දෙදෙනාම මෙය වෙඩි තැබීමක් නොවන බව කියද්දී සහ ලසන්තට යමකින් ඇන්න බව ඇසින් දුටුවන් කියද්දී පශ්චාත් මරණ පරීක්ෂණයේ වාර්තාව ලැබුණේ මෙය වෙඩි තැබීමකින් වූ මරණයක් ලෙසයි. ඒ අතරතුර කාලයේ එම වාර්තාව දුන් අධිකරණ වෛද්‍යවරයාට පැමිණි දුරකතන ඇමතුම් ගැනද විමර්ශන අංශ වෙත තොරතුරු ලැබී තිබිණි. මේ පශ්චාත් මරණ පරීක්ෂණයත් සමඟ වාර්තා පරස්පර වීම නිසා පරීක්ෂකයෝ අවුලෙන් අවුලට පත් වූහ.
ඡායාරූපය – මාලන් කරුණාරත්න


