ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියට සිය වසරයි

0
62

14-12-2025- රතුඉර

චන්දන තිලකරත්න

රේඩියෝ මාධ්‍යයට ඇලුම් කළ ලංකාවේ පිරිස් ‘ලංකා වයර්ලස් සමාජය’ පිහිටුවා ගත්තේ 1922 දීය. එතැන් සිට රේඩියෝ අත්හදා බැලීම් ආරම්භ කර බ්‍රිතාන්‍ය සහ ඇමෙරිකාව සමග කරට කර ඉන්නට අපේ අයට හැකි විය. ඒ වන විට එංගලන්තය ඇමෙරිකාව කැනඩාව ප්‍රංශය රුසියාව ජර්මනිය සහ ඉතාලිය හැරුණු විට සෙසු බොහෝ රටවල් රේඩියෝ ගැන සිතා තිබුනේද නැත.

1923 දී කොටුව YMCA ශාලාවේ සිට සංගීතයත් ඇතුළුව සජීවී වැඩසටහනක් විසුරුවා හැරින. එය ලංකාව රේඩියෝකරනයේ සන්ධිස්ථානයකි. අත්හදා බැලීම් සාර්ථක වුවද ඒ වන තුරුත් රජයේ අවධානයක් රේඩියෝව කෙරෙහි යොමුව තිබූනේ නැත. 1924 ජුනි 27 වැනිදා, ලංකා ඉංජිනේරු සංගමයේ වාර්ෂික සැසිවාරයේදී හෙන්රි මැනිං ආණ්ඩුකාරවරයා කල කතාව සම්පූර්ණයෙන්ම සජීවීව විසුරුවා හරිනු ලැබිණ. ‘අපේ අයටත් රේඩියෝවක් කරන්නට පුළුවන් බව’ ආණ්ඩුව තේරුම් ගත්තේ එදා වන්නට පුළුවන.

ඒ අනුව 1925 දී ලංකා රජය, රේඩියෝ උපකරණ ආනයනයට රුපියල් නවදාහක් වෙන් කළේය. උපකරණ ලංකාවට ආවේ සැප්තැම්බර් මාසයේ ය. රජයේ වියදමින් නිල වශයෙන් රේඩියෝව ආරම්භ වුණේ 1925 දෙසැම්බර් 16 වැනිදාය. සතියකට දින දෙකක පර්යේෂණ විකාශනය දිනපතා නිත්‍ය විකාශනයක් බවට පත්විය. සමාරම්භක උත්සවයට පැමිණියේ හියූ ක්ලිෆර්ඩ් ආණ්ඩුකාරවරයාය.

මේ පිටුපස සිටි බලවේගය ඒ. නඩරාසා, ඩ්බ්ලිව්. ඊ. ද සිල්වා, බෙනට් විජයතිලක ඇතුළු ලංකාවේ ඉංජිනේරුවරුය. එමෙන්ම ඔවුන් මෙහෙයවූ එවක තැපැල් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ඉංජිනේරු එඩ්වඩ් හාපර් ය. හාපර් මහතා ‘ලංකාවේ රේඩියෝවේ පියා’ ලෙස විරුදාවලී ලැබුවේ ඒ නිසාය. එවක ලංකා ඉංජිනේරු සංගමයේ උප සභාපතිවරයා වූයේද හාපර්ය.

ලංකාවේ රේඩියෝව දකුණු ආසියාවේ පළමුවැන්නය. බ්‍රිතාන්‍ය යටත් විජිත අතරින්ද පළමුවැන්නය.

දෙවන ලෝක සංග්‍රාමය පැවැති අවධියේදී අපේ රේඩියෝව මහා බ්‍රිතාන්‍යයේ පාලනයට නතුව යුද්ධය වෙනුවෙන් කැප කරනු ලැබිණ. ‘This is Colombo Calling’ ආමන්ත්‍රණය Radio SEAC යනුවෙන් වෙනස් කරනු ලැබිණ. කෙටි තරංග විකාශනය අග්නිදිග ආසියාව, ඇමරිකාව සහ සමහර අප්‍රිකානු රටවලට ද ශ්‍රවණය කළ හැකි විය.

1960 දශකය ආරම්භ වන තුරුම ලංකාවේ රේඩියෝව, ලෝකයේ රේඩියෝ කර්මාන්තයට සමගාමීව සංවර්ධනය වෙමින් පැවැතින. ඒ වන විට තාක්ෂණික ජයග්‍රහණ මෙන්ම, නව්‍ය වැඩසටහන් සම්පාදනයෙන් ද, රේඩියෝ මාධ්‍ය ශිල්පීන් පුහුණු කිරීම් අංශයෙන් ද ලංකාව පසුගාමී වූයේ නැත. නිදසුනක් ලෙස ලෝකයේ fm රැල්ල ආරම්භ වූයේ හැටේ දශකයේය. ලංකාවේද fm ට්‍රාන්ස්මීටර අත්හදා බැලීම් ආරම්භ කළේ 1959 දීය. නමුත් අවාසනාව වූයේ ශ්‍රී ලංකාවේ පූර්ණ fm පරිවර්තනය 1993 තෙක් කල්යාමය.

1990 දශකය වන තුරුම ලංකාවේ රේඩියෝව ඉන්දියාවේ ද අතිශය ජනප්‍රිය වී තිබින. ඊට හේතු කිහිපයකි. වරක් ඉන්දියානු මධ්‍යම රජයේ සංස්කෘතික ඇමති B. V. Keskar විසින් සමස්ත ඉන්දීය ගුවන්විදුලියේ ප්‍රචාරය වන ජනප්‍රිය රැල්ලේ ගීතවලට පැනවූ සීමා නිසා ලංකාවේ රේඩියෝවේ දෙමළ සේවයට ඉන්දියානුවෝ ඇදී ආහ. ඔවුහු රේඩියෝ සිලෝන් මඟින් ප්‍රචාරය කරන ‘බිනාකා ගීත්මාලා’ නැමැති චිත්‍රපට ගී වැඩසටහනට බෙහෙවින් ප්‍රිය කළහ. අනෙක් අතට ලංකා ගුවන්විදුලියේ සිට දෙමළ භාෂාවට අමතරව හින්දි, තෙලිඟු, කන්නඩා, මලයාලම් ආදී භාෂා කිහිපයකින්ම ඉන්දියානු අසන්නන් උදෙසා විකාශන පැවතියේය.

1952 පත්වූ ප්‍රථම ලාංකික අධ්‍යක්ෂ ජනරාල්වරයා වන එම් ජේ පෙරේරා මහතාගේ වැඩසටහන් ප්‍රතිසංස්කරණවල කීර්තිය 90 දශකය ආරම්භය තෙක් පැවතියේය. එතැනින් බිහි වූ ගුවන් විදුලි ගීතය නම් වූ නව මාධ්‍යයද, රේඩියෝ නාට්‍ය සම්ප්‍රදායද , ශාස්ත්‍රීය වැඩසටහන්ද , හාස්‍ය නිර්මාණ වැඩසටහන්ද ශ්‍රී ලාංකික සංස්කෘතියේම කොටසක් විය.

ආචාර්ය ඊ ඩබ්ලිව් අදිකාරම්, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, මහාචාර්ය නන්දාදාස කෝදාගොඩ, පණ්ඩිත විලියම් අල්විස් වැනි විචිත්‍රකථික විද්වත් නාමලේඛනයක් සමාජගත විය.

හැත්තෑව දශකයේ අග බිහිවූ රූප මාධ්‍යය ද එකල රේඩියෝවට සැලකිය යුතු අභියෝගයක් නොවීය.

1993 ජුනි 13 දා ශ්‍රී ලංකාවේ ප්‍රථම පුද්ගලික ගුවන්විදුලි නාලිකාව වන FM 99 ඇරැඹින. ‘FM 99’ ප්‍රධාන භාෂා තුනම භාවිත කළේය. රාජ්‍ය ගුවන්විදුලියේ පසුබෑම ආරම්භ වූයේ එතැන් සිටය.1994 මාර්තු මාසයේ ඇරඹුණු සිරස FM සිංහල භාෂාවෙන් පමණක් විකාශන සිදු කළේය.

මෙම පසුබෑමට හේතුව ස ංස්ථාව තුළ ක්‍රියාත්මක වන රජයේ පරිපාලන සහ මූල්‍ය රෙගුලාසි බව ඇතැම් අය කියන්නට පටන් ගත්හ. මේ නිසා’ මෙම රෙගුලාසි’ ලිහිල් කරන ලද වෙනම ආයතනයක් පිළිබඳව බලධාරිහූ කල්පනා කළහ.

පෞද්ගලික අංශය සමඟ තරග කළ හැකි යැයි ඒ අය විශ්වාස කළ පහළොස් දෙනෙකු තෝරාගැනින. එම තෝරා ගැනීම සිදුකරනු ලැබුවේ වැඩසටහන්, ප්‍රවෘත්ති ඉංජිනේරු, පරිපාලන ඇතුළු සියලු ක්ෂේත්‍ර නියෝජනය වන පරිදිය.

ඒ පිරිස සමඟ,1996 නොවැම්බර් මාසයේදී සංස්ථාව තුළම වෙනම නාලිකාවක් බිහිකරන්නට සභාපති ජනදාස පීරිස් මහතා ක්‍රියා කළේය. නමුත් එය, එවක ගුවන්විදුලි බලධාරීන් දුටු සිහිනයක් පමණක් විය. එම නාලිකාව හෙවත් ‘ලක්හඬ’ ටික කලකින්ම ස්වාධීන රූපවාහිනිය හා ඒකාබද්ධ කරනු ලැබිණ.

අභියෝග හමුවේ වුව සියවස් සපුරණ ශ්‍රී ලංකා ගුවන්විදුලිය නිදා සිටිනා යෝධයකු වැන්න. සියවසක් තුළ එක් රැස් වූ සංගීතාංග සහ හඬපට එය සතු ධන නිධානයකි. ගුවන්විදුලි සංස්ථාව සතු ලෝකයේ පැරණිතම උපකරණ අතිශය වටිනා කෞතුකාගාරයකට තෝතැන්නකි. සංස්ථාව තුළ ගොඩනැගුණු බහුවිධ ශික්‍ෂණයෙන් පොහොසත් මානව සම්පත ඒ සියල්ලටත් වඩා වටනේය.

මෙරට රේඩියෝවේ ලෝක වාර්තාවලට සමීප වූ තුන්දෙනෙක් වෙති. කීර්තිමත් නිවේදිකාවක වූ සුමනා ජයතිලක, අග්‍රගන්‍ය රංගන ශිල්පි විජයරත්න වරකාගොඩ සහ කඳුරට සේවයේ වැඩසටහන් සම්පාදිකාවක වූ බිසෝ මැණිකේ ග්‍රේරෝ මේ තිදෙනාය.

ඉතිහාසයේ එකම ළමා වැඩසටහන අඛණ්ඩවම ඉදිරිපත් කළ නිවේදක නිවේදිකාවන් දෙදෙනෙක් වෙති. බීබීසියේ ‘අංකල් මැක්’ නමින් ‘ළමා පැය’ වැඩසටහන ඉදිරිපත් කළ Derek McCulloch එක් අයෙකි. ඔහු අඛණ්ඩව එම වැඩසටහන වසර 36 ක් ඉදිරිපත් කර තිබේ. ‘ආන්ටි කැත්ලීන්’ නමින් එම වැඩසටහනේම Kathleen Garscadden නිවේදිකාව ලෝකයේ එකම ළමා වැඩසටහනක් දීර්ඝතම කාලයක් ඉදිරිපත් කල කාන්තාවයි. ඇය අඛණ්ඩව වසර 32 ක් එම වැඩසටහන ඉදිරිපත් කර තිබේ.

සුමනා ජයතිලක ‘හඳ මාමා’ වැඩසටහන ආරම්භ කළේ 1963 දෙසැම්බර් 14 වැනිදාය. වර්ෂ 2024 වනතුරු ඇය එම වැඩසටහනේ ‘සුමනා නැන්දා’ වූවාය. ආරියසේන මිල්ලවිතානාචි පළමු නිවේදකයා වූ අතර වැඩිකලක් වැඩසටහන ඉදිරිපත් කළ නිවේදකයා ලැම්බට් පෙම්මාවඩුය. ‘සුමනා නැන්දා’ එම වැඩසටහන ඉදිරිපත් කළ කාලය අඛණ්ඩව වසර 60 ආසන්නය. මෙය ලෝකයේ අනභිභවනීය වාර්තාවකි.

ලෝකයේ දීර්ඝතම මාලානාටකය ලෙස සැලකෙන්නේ බ්‍රිතාන්‍ය ගුවන්විදුලිය ප්‍රචාරය කරන ‘දි ආචර්ස්’ නමැති නාට්‍යයයි. එහි ‘ෆිල්ප් ආචර්’ නමැති ප්‍රධාන චරිතය රඟපෑ Norman Painting වසර 59 ක් අඛණ්ඩවම එම නිරූපණය කළේය. ඔහු මිය ගියේ වසර 2009 දීය.

ලංකාවේ ‘මුවන්පැලැස්ස’ ආරම්භ වූයේ 1964 දී බව කියැවෙයි. විජේරත්න වරකාගොඩ, එහි ‘ආරච්චිල’ චරිතය මේ වන විට වසර 61ක් අඛණ්ඩවම නිරූපණය කරමින් සිටි. ‘ආරච්චිලට’ උසස් වීමක් ලැබීම මගින් ‘කෝරලේ මහතා’ බවට පත්විය. නමුත් වර්තමානයේ එය නැවත ‘ආරච්චිල’ නමින්ම විකාශනය වෙයි. වරකාගොඩ මහතා වසර පහකට විදේශගත වූ අවස්ථාවේදීත් චරිතය අඛණ්ඩව පවත්වාගෙන තිබේ.

1975 දී ලංකාවේ රේඩියෝවට වසර පනහක් පිරීම නිමිත්තෙන් අලූත් වැඩක් කිරීමට ගුවන් විදුලි බලධාරීන්ට වුවමනා විය. දෑස් නොපෙනෙන යුවතියක්, නිවේදිකාවක ලෙස පුහුණු කරවනු ලැබින.

හැත්තෑව අග අතිශය ජනප්‍රිය වූ ‘ශනිදා සාදය’ වැඩසටහන අතරතුර ඇය ‘ප්‍රවෘත්ති ලුහුඬින්’ සජීවීව ඉදිරිපත් කළාය.

බ්‍රේල් ක්‍රමය උපයෝගී කරගනිමින් සජීවීව ප්‍රවෘත්ති ඉදිරිපත් කළ, ලෝකයේ ප්‍රථම අන්ධ නිවේදිකාව ඇයයි. බිසෝ මැණිකේ පළමුවරට ප්‍රවෘත්ති ප්‍රකාශ කළේ 1976 පෙබරවාරි හත්වැනිදාය.

නිවැරදි ලේඛන ඉදිරිපත් කළ හැකි වුවහොත් ලෝක වාර්තා ලෙස මෙම සිදුවීම් ඉතිහාසයට එක් කළ හැකි වනු ඇත.

,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here