‘දිට්වා’ නිසා පේරාදෙණිය සරසවියට කෝටි 500කට ආසන්න අලාභයක්

0
69

‘දිට්වා’ නිසා පේරාදෙණිය සරසවියට කෝටි 500කට ආසන්න අලාභයක්

By Mawbima -දෙසැම්බර් 4, 2025

අධික වර්ෂාවත් සමග ඇති වූ ජල ගැලීම්වලින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතුවලට යොදා ගන්නා වටිනා උපකරණ හා දේපොළවලට රුපියල් බිලියන 5කට ආසන්න අලාභයක් සිදුව තිබෙන බව උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මදුජිත් පවසයි.

පසුගිය 27 වන දා පස්වරුවේ සිට විශ්වවිද්‍යාල පරිශ්‍රයට ජලය එකතු වුණු බව ත් කොත්මලේ වේල්ලේ වාන් දොරටු විවෘත කිරීමත් සමග එදින රාත්‍රි 11:00 පමණ වන විට විශාල ජල කඳක් පැමිණ පශු වෛද්‍ය පීඨය හා කළමනාකරණ පීඨය යට වූ බව ත් ඔහු කීය.

අධ්‍යයන කටයුතුවලට මෙන් ම පර්යේෂණ සඳහා යොදා ගන්නා අති නවීන උපකරණ රැසකට හානි සිදුව තිබෙන බව ත් තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානයේ විනාශ වූ උපකරණ අතර තිබෙන පර්චස් දෙකක වෙළෙඳපොළ වටිනාකම පමණක් රුපියල් මිලිය 60 ඉක්මවන බව ත් උපකුලපතිවරයා පැවසුවේය.

කාලගුණ දෙපාර්තමේන්තුව මගින් ලබා දෙන සාමාන්‍ය දැනුම් දීම හැර කාලගුණ දෙපාර්තමේන්තුව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හෝ මහවැලි අධිකාරිය ජල ගැල්මක් සම්බන්ධයෙන් කිසිදු විශේෂ දැනුම් දීමක් නොකළ බව ද ඔහු කීය.

අධික වර්ෂාවත් සමග පැය තුනක පමණ කාලයක් ඇතුළත විශ්වවිද්‍යාලයේ සැලකිය යුතු කොටසක් ජලයෙන් යට වූ බව ත් මේ නිසා නේවාසිකාගාර දෙකක සිසුන් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට පියවර ගත් බව ත් හෙතෙම අවධාරණය කළේ ය.

විශ්වවිද්‍යාලයේ තිබූ ලීටර් 2,000 ධාරිතාවකින් යුත් ප්ලාස්ටික් ජල ටැංකි 07ක් ජලයේ ගසාගෙන ගොස් තිබෙන බව ද උපකුලපතිවරයා කීය.

විශ්වවිද්‍යාලයීය ගෘහස්ථ ක්‍රීඩාංගණය ඇතුළු ස්ථාන ගණනාවකට හානි සිදුව තිබෙන බව ත් සම්පූර්ණ හානිය නිශ්චිතව මෙතෙක් ගණනය කර නොමැති බව ත් ඔහු පැවසුවේය.

ආපදාව සිදුවන අවස්ථාවේ විශ්වවිද්‍යාලය තුළ සිසු සිසුවියන් 14,000ක් පමණ සිටි බව ත් ඔවුන් සියලු දෙනා නිරුපද්‍රිතව නිවෙස් කරා යොමු කිරීමට හැකි වූ බව ත් කී උපකුලපතිවරයා මාර්ග අවහිර වීම ඇතුළු කරුණු ගණනාවක් හේතුවෙන් තවත් සිසුන් 300ක පමණ පිරිසක් විශ්වවිද්‍යාලයේ රැඳී සිටින බව ද ප්‍රකාශ කළේ ය.

ජලයට යට වූ ගොඩනැඟිලිවල තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා පියවර ගෙන තිබෙන බව ත් ජලයෙන් යටවූ තවත් විද්‍යුත් උපකරණ තිබෙන බව ත් ඔහු කීය.

සිදුව තිබෙන හානිය තක්සේරු කර උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට වාර්තාවක් ලබා දීමට කටයුතු කරන බවද උපකුලපතිවරයා කීය.

අසේල කුරුළුවංශ (Mawbima lk News)

'දිට්වා' නිසා පේරාදෙණිය සරසවියට කෝටි 500කට ආසන්න අලාභයක් - මව්බිම

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here