
අක්කර දහස් ගණන් හිමි ප්‍රභූ පෙළැන්තියක් නිර්මාණය වූයේ කෙසේද?
කොම්ප්‍රදෝරු ධනපති පන්තියේ දේශපාලනය
SILUMINA -විශේෂාංග
October 4, 2025
උදේනි සමන් කුමාර
කොම්ප්‍රදෝරු ධනපති පන්තියේ දේශපාලනය’ ලිපි මාලාවෙන් අප අදහස් කළේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් ශ්‍රී ලංකාවට වෙස්ට්මිනිස්ටර් තත්ත්වය ප්‍රදානය කර, රට හැර යෑමේදී දේශීය ප්‍රභූ පෙළැන්තියට බලය හුවමාරු වූයේ කෙසේද යන්න පිළිබඳ පැහැදිලි චිත්‍රයක් ඇඳගැනීමටය. 18 වැනි සියවසේ මුල්භාගය වන විට ශ්‍රී ලංකාවේ පැවති වැඩවසම් සමාජය තුළ ධනපති පන්තියක් බිහි වීමේ සාධක මුහුකුරා ගොස් තිබුණේ නැත.
ලංකාවේ කාර්මික විප්ලවයක් සිදු වූයේ නැත. මේ රට දිගු කලක් තිස්සේ යටත්විජිතයක් වශයෙන් සියවස් කිහිපයක් පැවතුණේද ඒ නිසාය. එහි ප්‍රතිඵලය වූයේ අපරදිග රටවල පැවති අන්දමේ ධනවාදි ආර්ථිකයක් මෙරට ස්ථාපිත නොවී, පරතන්ත්‍ර වූ යටත්විජිත ආර්ථිකයක් පැවතීමය. ශ්‍රී ලංකාව නිෂ්පාදන වෙළෙඳපොළක් වශයෙන් පැවතීමත්, අධිරාජ්‍යවාදීන්ගේ අවශ්‍යතා ඉටු කිරීමට බැඳීසිටීමත් හේතු කොටගෙන ඉන්දියාව, ලංකාව වැනි රටවල ධනවාදය විශේෂ ස්වරූපයක් ගත්තේය. එහෙයින් ලංකාවේ ධනපති පන්තිය හෝ මධ්‍යම පන්තිය අපරදිග කාර්මික හෝ වාණිජ සමාජ පන්තිවලට සමාන වූයේ නැත.
මිනිස් සමාජය යනු නිෂ්පාදන ක්‍රියාවලිය මත පදනම් වූවකි. ඕනෑම යුගයක මිනිසාගේ සමාජ විඥානය හසුරුවනුයේ නිෂ්පාදන සම්බන්ධතා විසිනි. ‘පන්තිය’ යන්න විග්‍රහ කළ යුත්තේ බාහිර සාධක මත නොව, නිෂ්පාදන කොන්දේසි මත වේ. මේ ගැන වී.අයි. ලෙනින්ගේ විග්‍රහය මෙසේය:
‘ඉතිහාසය විසින් නිශ්චය කරන ලද සමාජ නිෂ්පාදන ක්‍රමයක දරන ස්ථානය අනුවද, නිෂ්පාදන මාධ්‍යයන් කෙරෙහි සම්බන්ධ වී ඇති ආකාරය අනුවද, සමාජමය ශ්‍රම සංවිධානයේදී ඉටු කරනු ලබන කාර්ය කොටස අනුවද, තමන්ගේ ප්‍රයෝජනය සඳහා සමාජමය ධන සම්පත් ලබාගැනීමේ ප්‍රමාණය අනුවද එකකින් අනෙක වෙනස් වන විශාල ජන කණ්ඩායම් පන්තීන් යනුවෙන් හැඳින්වේ.’ – ‘ලෙනින්, එකතු කළ කෘති’ 39 වෙළුම, 15 පිට.
මේ අනුව පන්තීන් යනු නිෂ්පාදන ක්‍රියාකාරිත්වයේදී ඔවුන්ගේ සම්බන්ධය හා දායකත්වය අනුව එකිනෙකාගෙන් වෙන් කරනු ලබන ජන කණ්ඩායම් බවත්, පන්ති බෙදීමේ මිනුම්දණ්ඩ නිෂ්පාදනය කෙරෙහි වන සම්බන්ධතාව බවත් පැහැදිලි වේ. සමාජය තුළ ප්‍රධාන පන්ති දෙකක් පවතී. ඒවා නම් ප්‍රාග්ධන හිමි හා ශ්‍රමය සූරාකන ධනපති පන්තිය සහ ඒ නිසාම ශ්‍රමය විකිණීමෙන් ජීවත් වන නිර්ධන පන්තිය වේ. තවත් සරලව පවසනවා නම්: ශ්‍රමය හැරුණු විට ජීවත් වීම සඳහා විකිණීමට කිසිවක් නැති ජන කොටස නිර්ධන පන්තියටත්, දේපළ හිමි, ප්‍රාග්ධනය හිමි ඒ මඟින් ශ්‍රමය සූරා කන ජන කොටස ධනපති පන්තියටත් අයත් වේ.
අතීත ලංකාවේ ‘මධ්‍යම පාන්තිකයන්’ වශයෙන් ලේබල් කළ බොහෝ සමාජ කණ්ඩායම් ධනවතුන් වූ බවට සැකයක් නැත. එසේ වූයේ පාරම්පරික රදල පෙළැන්තියේ බලය බිඳවැටීම නිසා හෝ නැත හොත් ඔවුන් සමාජ පරිවර්තනයන්ට භාජනය වීම නිසාය. 19 වැනි සියවසේ අගභාගය වන විට මෙරට මධ්‍යම පන්තියේ බොහෝ දෙනෙක් ද, බ්‍රිතාන්‍ය පාලක පන්තියේ බොහෝ දෙනෙක්ද මේ රටේ ප්‍රභූ පෙළැන්තිය නියෝජනය කළහ.
බ්‍රිතාන්‍ය පාලන සමය තුළ ලංකාවේ සමාජ පද්ධතියේ අග්‍රස්ථානය ලැබුණේ බ්‍රිතාන්‍ය ජාතිකයන් හෙවත් යුරෝපීය ජනයාටය. එසේ වූයේ ඔවුන්ගේ සංස්කෘතික ගුණාංග නිසා නොව; දිවයිනේ දේශපාලන හා ආර්ථික ක්ෂේත්‍රයේ පාලනය ඔවුන් සතුව තිබූ නිසාය. අන්‍යෝන්‍ය වශයෙන් ඔවුන් අතර යම් යම් වැදගත් අභ්‍යන්තර වෙනස්කම් තිබුණත්, ඔවුහු සිය යුරෝපීය ප්‍රභවය, ජීවන රටාව, ජවි වර්ණය, අධිරාජ්‍ය බලය, අන්‍ය ජාතික සමාජ තුළ නියෝජනය කළ පිරිසක් වීම ආදි කරුණු නිසා මෙරට සමාජය තුළ කැපී පෙනුණහ.
එසේ වුවද යටත්විජිත පාලනය තුළ ස්වදේශිකයෝ එකම ජනකොටසකට අයත් පිරිසක් නොවූහ. ඔවුහු පුළුල් වශයෙන් වාර්ගික වෙනස්කම්වලින් බෙදී සිටියෝය. ඉංග්‍රීසින් හැරුණු විට පාර්සි, බෝරා හා ඉන්දීය දෙමළ වැනි අය විදේශිකයන් සේ සෙස්සන් විසින් සලකනු ලැබීය. ඉතිරි බහුතරය ලාංකිකයන් වශයෙන් හඳුන්වනු ලැබුවේ 19 වැනි සියවසේ මුල්භාගයේදීය.
මේ අතර ප්‍රධාන මානව වර්ග දෙක වන සිංහල සහ ලංකා දෙමළ යන ජන කණ්ඩායම් දෙක තුළම කුලභේදය තදින් බලපැවැත්විණ. ලංකාව වූ කලි බහුවාර්ගික හා බහු පාන්තික සමාජයක් ඇති රටක් විය. මානව වෙනස්කම් හා ඒ සම්බන්ධව පැවති භාෂා හා ආගම් පිළිබඳ වෙනස්කම් නිසා එය තව තවත් කැපීපෙනිණි.
ප්‍රභූ පෙළැන්තියක් නොව, ප්‍රභූ පෙළැන්ති කිහිපයක් සිටීම පිළිගත හැකි කරුණක් විය. ලාංකික ප්‍රභූ පෙළැන්තිය තමන් ඉහළ සමාජ තත්ත්වයක වැජඹෙන පිරිසක් වශයෙන් මහන්තත්වයක පසු විය. යටත්විජිත ආණ්ඩුවට පෙත්සම් ඉදිරිපත් කළ සෑම අවස්ථාවකම තමන් මෙරට සමාජයේ නායකත්වය දරන වැදගත් පන්තිවල අදහස් නියෝජනය කරන පිරිසක් බවට හඳුන්වා ගැනීමට ඔවුහු පුරුදුව සිටියහ. ඇතැම් ප්‍රභූහු තමන් අසුවල් අසුවල් සුප්‍රකට පවුල්වලින් පැවැතෙන්නන් වශයෙන් හඳුන්වා ගැනීමටද, තවත් ප්‍රභූ කෙනෙක් තමන් අසුවල් ජන කණ්ඩායමේ නායකයන් වශයෙන් හඳුන්වා ගන්නටද, තවත් පිරිසක් තමන් ගැන සුප්‍රසිද්ධ, ප්‍රධාන, සාර්ථක ආදි විශේෂණ පද යොදා ගැනීමටද පෙලඹුණහ.
ප්‍රභූ පෙළැන්තියේ මේ පොලා පැනීම පැහැදිලිව පිළිබිඹු වූයේ මැකලම් ආණ්ඩු ක්‍රමයේ යෝජනා අනුව 1908දී ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවට ලාංකික නියෝජිතයන් තෝරා පත් කරගන්නා අවස්ථාවේදීය. ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවට පහතරට සිංහල නියෝජිතයා වශයෙන් ජේමිස් පීරිස් මහතා පත් කරවාගැනීමට බ්‍රිතාන්‍ය පාලකයන් පෙලඹවීම සඳහා 1894-1895 කාලයේ ඇරඹූ ව්‍යාපාරය ප්‍රභූ පෙළැන්ති දෙක අතරේ තිබූ වෙනස්කම් විදහා දක්වන නිදසුනකි. ඒ ව්‍යාපාරයේ කථිකයන් සියල්ලන්ම පාහේ පහතරට අය නොවූහ.
ඒ ව්‍යාපාරයේ ප්‍රධාන රැස්වීමක් 1894 සැප්තැම්බර් 3 වනදා තංගල්ල බෞද්ධ පාඨශාලාවේ පවත්වා තිබේ. අප සොයාගත් තොරතුරු අනුව, ඒ රැස්වීමට සහභාගි වූ පිරිසේ නම් කිහිපයක් මෙහි සඳහන් කළ හැකිය:
දිස්ත්‍රික් උසාවියේ ලේකම් මුදලි එස්.පී. ද සිල්වා ගුණසේකර, ගිරුවාපත්තුවේ මුහන්දිරම් ඩී.ඩී. ඔබේසිංහ, ඉඩම් රෙජිස්ට්‍රාර් ඒ.ඒ. කොඩිප්පිලි, දිස්ත්‍රික් උසාවියේ භාෂා පරිවර්තක එන්.ඊ. විජේසූරිය, ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ ලිපිකරුවන් වන ඒ. මෙන්ඩිස්, ඩී.ඒ.ඩී.එස්. වික්‍රමසිංහ, ප්‍රසිද්ධ නොතාරිස් එස්.ඩී.එස්. වීරරත්න ඇතුළු තවත් පිරිසක් මේ රැස්වීමට සහභාගි වී ඇත. භාෂා පරිවර්තක එන්.ඊ. විජේසූරිය මහතා ලේකම් වශයෙන් පත්ව තිබේ.
ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවට නියෝජිතයකු තෝරාගැනීම සඳහා තවත් රැස්වීමක් 1894 සැප්තැම්බර් 8 දින පස්වරුවේ ගාල්ලේ ක්ලෝසන්බර්ග්හිදීද පවත්වා ඇත. වාර්තා වන අන්දමට ශාලාව පිරී ඉතිරී යන සෙනඟක් ඊට සහභාගි වී තිබේ. ඔවුන් අතර පෙරකදෝරු ඩී.ඕ.ඩී. ද ගුණසේකර, ඉඩම් හිමියකු වූ විලියම් අබේසුන්දර, ඉඩම් හිමි වැවිලිකරු ඩී.ඒ.එස්. අබේධීර, ප්‍රධාන පෙළේ රේන්දකරුවකු වූ ටී.ඩී.එස්. අමරසූරිය, ටී. වීරසූරිය, අමාරිස් ද සිල්වා ඇතුළු 400ක් සහභාගි වී ඇත. පෙරකදෝරු වීරසූරිය ලේකම් වශයෙන් පත් කරගෙන තිබේ.
මෙහි ප්‍රධාන රැස්වීමක් 1894 සැප්තැම්බර් 5 වැනි දා කොළඹ පබ්ලික් හෝල්හිදී පවත්වා තිබේ. ඊට සහභාගි වූ මුළු පිරිස 1500කි. සෑම තරාතිරමකම සිංහල නායකයන් ඊට සහභාගි වී ඇත. එයින් පෙනී යන්නේ 19 වැනි සියවස ආරම්භ වන විටත් රාජ්‍ය පාලනයේ මර්මස්ථාන භාර ගත හැකි දේශීය ප්‍රභූන් පිරිසක් බිහිව තිබූ බවය. යටත්විජිත පාලනය යටතේ රාජ්‍ය අනුග්‍රහය ඇතිව 1870 වෛද්‍ය විද්‍යාලයද, 1874 නීති අධ්‍යාපන සංගමයද (පසුව නීති විද්‍යාලය බවට පත් විය) බිහි වීම හේතුවෙන් උගත් ප්‍රභූ පෙළැන්තියක් නිර්මාණය විය.
නීති වෘත්තිය, බටහිර වෛද්‍ය වෘත්තිය, ඉංජිනේරුවරු, පාඨශාලාචාර්යවරු, මිනින්දෝරුවෝ, වෙන්දේසිකරුවෝ, ගණකාධිකාරවරු ප්‍රවෘත්ති පත්‍ර කලාවේදීන් වැනි නම්බුකාර වෘත්තීන් රැසක් කරළියට පැමිණ තිබිණි. 18 වැනි සියවසේ මුල්භාගයේ සිට නීති වෘත්තිය සහ වෛද්‍ය වෘත්තිය ලාංකිකයන්ට විවෘතව පැවතියේය. බ්‍රිතාන්‍ය පාලන සමයේ ලංකාවේ වාණිජ ක්ෂේත්‍ර රාශියකම ව්‍යවහාර වූයේ ඉංග්‍රීසි භාෂාවය. ස්වෛරී වෘත්තීන්ට මෙන්ම සම්භාවනීය රජයේ රැකියාවලටද ඇතුළු වීම සඳහා ඉංග්‍රීසි බසෙහි ප්‍රවීණතාව අවශ්‍ය විය. 19 වැනි සියවසේ මුල්භාගය තුළ බර්ගර් ජන සමාජයේ ඇතැම් අංශවලට අයත් වූ පිරිස්ද මෙම අවශ්‍යතා අතින් සෙස්සන්ට වඩා වාසිදායක තත්ත්වයක සිටියහ. එහෙයින් ඔවුහු රජයේ සේවයේ මෙන්ම යුරෝපීය වාණිජ ආයතනවලද තනතුරු විශාල සංඛ්‍යාවක් අත් කරගත්හ.
ඉංග්‍රීසි ද්විතීයික අධ්‍යාපනයක් දුන් පාඨශාලා වැඩිහරියක් පැවතියේ ක්‍රිස්තියානි මිෂනාරිවරුන්ගේ පාලනය යටතේය. මේ පාසල්වලට ගිය ඇතැම් බෞද්ධ තරුණයන් මෙන්ම හින්දු තරුණයන්ද ක්‍රිස්තියානි ආගම වැලඳ ගැනීමට වැඩි උනන්දුවක් දැක්වූ බව පෙනේ. එයින් පෙනී යන්නේ ක්‍රිස්තු භක්තිකයන් වීමෙන් යටත්විජිත ආණ්ඩුවෙන් වැඩි වාසියක් අත් කරගත හැකිය යන හැඟීමක් සමාජය තුළ පැවති බවයි.
පුද්ගලයන් වශයෙන් වුවද, පවුල් වශයෙන් වුවද, ප්‍රභූ පෙළැන්තියේ සිංහල කොටසට අයත් පිරිසෙන් වැඩි සංඛ්‍යාවක් පහතරට අය වූහ. භාණ්ඩ හා සේවාවන්ගෙන් විශාල කොටසක් අත් කරගෙන සිටියේ පහතරට ප්‍රභූ පෙළැන්තිය විසිනි. මිනිරන් ව්‍යාපාරය වෙළෙඳාම, වෙළෙඳ භෝග වගාව, අරක්කු රේන්ද කර්මාන්තය මුළුමනින්ම පැවතියේ ඔවුන්ගේ ආධිපත්‍යය යටතේය. වැවිලි කර්මාන්තය මෙන්ම නාගරික දේපළ විශාල ප්‍රමාණයක්ද ඔවුන් සතුව තිබිණ. මේ ව්‍යාපාර විශේෂයෙන් කුල අනුව බෙදී තිබුණු බවද කිව යුතුය. ප්‍රභූ පෙළැන්තිය දේශපාලනයේදී කුලය අවියක් ලෙස භාවිත කළ අන්දම ද පැහැදිලි වේ.
එකල ලංකාවේ අපනයන වෙළෙඳාම මධ්‍යම කඳුකරයේ සිට ඉන්දීය සාගරය හරහා සිංගප්පූරුව සහ මධ්‍යම අප්‍රිකානු රටවල් කරා පැතිර තිබුණේය. එයින් පෙන්නුම් කෙරෙන්නේ ශක්තිමත් ව්‍යාපාරික ප්‍රජාවක් ඒ වන විටත් බිහිව තිබූ බවයි. 19 වැනි සියවසේ මුල් භාගය වන විට අධ්‍යාපනික වශයෙන් ලබා තිබූ කුසලතා මේ සමඟ ඉදිරිපත් කර ඇති වෘත්තිකයන්ගේ වගුවෙන් මනාව පැහැදිලි වේ.
මෙයට අමතරව ප්‍රභූ පෙළැන්තියේ ඉඩම් හිමි වැවිලිකරුවන් ලෙස සමාජය තුළ අත්පත් කරගෙන තිබූ ස්ථානය දැක්වෙන විශිෂ්ට වගුවක් මේ ලිපිය සමඟ ඉදිරිපත් කර තිබේ. එයින් පැහැදිලිව පෙනී යන්නේ ප්‍රභූ පෙළැන්තියේ මුදුන් ස්තරය අක්කර දහස් ගණනින් ඉඩම් හිමි ප්‍රභූන්ගෙන් සමන්විත වූ බවයි. 20 වැනි සියවස ආරම්භ වන විට රාජ්‍ය බලය භාර දීමට සුදුසු ප්‍රභූ පෙළැන්තියක් සඳහා වූ අවශ්‍ය බීජ මහ පොළොව මත වපුරා තිබිණි.
