Mawbima -මාර්තු 23, 2023

රිදියගම සෆාරි උද්‍යානයේ වෙසෙන ‘මීරා’නම් සිංහ ධේනුව පැටවුන් 4 දෙනෙකු බිහි කළ බව රිදියගම සෆාරි උද්‍යානයේ භාරකරු සත්ව දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ හේමන්ත අමරසේන පැවසීය.
සිංහ ධේනුව පසුගිය 18 වන දා මෙම පැටවුන් බිහි කළ බව ත් එම පැටවුන් සිවු දෙනාගෙන් දෙදෙනෙකු මනා සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බව ත් පැටවුන් දෙදෙනෙකු මවු සිංහ ධේනුව විසින් ප්‍රතික්ෂේප කරන ලද බව ත් හේමන්ත අමරසේන මහතා පැවසීය.
පැටවුන් සිවු දෙනා බිහි කළ මවු සිංහ ධේනුව වයස අවුරුදු 5ක් පමණ වූ සත්වයෙකු බව ත් එම සත්ත්වයා රිදියගම සෆාරි උද්‍යානය තුළදී ඉපදුණු බව ත් නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.
මව විසින් ප්‍රතික්ෂේප කරන ලද සිංහ පැටවුන් දෙදෙනා දෙහිවල සත්වෝද්‍යානයේ පැටවුන් රැකබලා ගැනීමේ මධ්‍යස්ථානයට යොමු කොට ඇති බව ත් එහිදී ඔවුන් පෝෂණය කරන බව ත් හේමන්ත අමරසේන පැවසීය.
පැටවු බිහි කිරීමේදී දුර්වල සතුන් මව විසින් ප්‍රතික්ෂේප කරනු ලබන බව අමරසේන මහතා කීය.
ඔහු මෙසේ ද කීය.
“මේ වන විට රිදියගම සෆාරි උද්‍යානය තුළ සිංහයන් 20 දෙනෙකු පමණ සිටින අතර ඔවුන්ගෙන් දස දෙනෙකු පමණ සෆාරි උද්‍යානය තුළදී ම උපන් අයයි. ඉතිරි සිංහයන් දස දෙනා චීනය, ජර්මනිය හා අප්‍රිකානු රටවලින් ගෙන එන ලද අයයි.”
මීට අමතරව බෙංගාල ව්‍යාඝ්‍ර ධේනුවක් ද පැටවුන් බිහි කිරීමට ආසන්නව සිටින බවත් තව සති කිහිපයකින් ඔවුන් ද රිදියගම සෆාරි උද්‍යානයට පැමිණෙන්නන්ට දැක ගැනීමට අවස්ථාව හිමිවන බව ත් සත්ව උද්‍යාන නියෝජ්‍ය අධ්‍යක්ෂ හේමන්ත අමරසේන මහතා පැවසීය.
By හම්බන්තොට – රෝෂන් රාජික
Mawbima -මාර්තු 23, 2023