
කාදිනල් හිමිපාණන්ගේ සසුන් මෙහෙවරේ අඩසියවසක අබිමන්
SILUMINA – විශේෂාංග
June 28, 2025
සුරේකා නිල්මිණි ඉලංකෝන්
උන් වහන්සේ භාෂා ගණනාවක නිපුණත්වයකින් හෙබි පඬිවරයෙකි; ලේඛකයෙකි; ශුද්ධ බයිබලය පිළිබඳ විශාරදයෙකි; චතුර දේශකයෙකි; වතිකානයේ ඉහළ තානාන්තර දැරූ රාජ්‍ය තාන්ත්‍රිකයෙකි. එවැනි බහුවිධ භූමිකාවන් නිරූපණය කරන උන් වහන්සේ ශ්‍රී ලාංකේය කිතුනු ජනතාවගේ ආධ්‍යාත්මික නායකයා වුවද නිරන්තරයෙන්ම සිංහල බෞද්ධ සංස්කෘතික උරුමයන් අගය කරන්නෙකි; ආගමික සහජීවනය මහ පොළොවේ යථාර්ථයක් බවට පත් කිරීමට කැප වූ නායකයෙකි.
ඒ පූර්විකාව සටහන් කළේ අද (29) සිය පූජක දිවියේ ස්වර්ණ ජයන්තිය සමරන කොළඹ අගරදගරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙනුවෙනි. සිය එඬේරික කාර්යභාරයේ වගකීම දෙවුර මත දරාගත් උන් වහන්සේගේ පූජක දිවිය සුමුදු මල් ඇතිරූ මාවතක් දිගේ ආ ගමනක් නොවේ. නොයෙක් ආකාරයේ බාධක, අභියෝග මේ අඩසියවස් ගමන පුරා රැඳී ඇත.
“මගේ ජීවිතය මුළුමනින් දෙවියන් වහන්සේගේ සැලැස්මක්. පූජාත්වරය දක්වා උන් වහන්සේ මා මෙහෙයවූවා වගේම ගත වූ කාලය මුළුල්ලේම මා ඒ මඟපෙන්වීම සහ සැලැස්ම අත්දැක්කා,” කාදිනල් හිමිපාණෝ අතීතාවර්ජනයට එක් වෙමින් පැවසූහ.
දොන් විලියම් සහ මේරි විනිෆ්‍රීඩා දම්පතීන්ට දාව 1947 නොවැම්බර් 15 දා පොල්ගහවෙලදී උපන් කුලුඳුල් පුත්රුවනට නම් තැබෙන්නේ පටබැඳිගේ දොන් ඇල්බට් මැල්කම් රංජිත් ලෙසිනි. සුන්දර ග්‍රාමයක ගෙවුණු සිය ළමා විය පිළිබඳ කාදිනල් හිමිපාණන්ගේ හදවතේ අදද ඇත්තේ සුන්දර මතක ගොන්නකි.
“මගේ පියා දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය කළ නිසා ඔහු මාරුවීම් ලබා යන යන ප්‍රදේශවලට අපටත් යන්න සිදු වුණා. නංගිලා තුන්දෙනත් ඉපදුණාට පස්සේ අපි අන්තිමට කොළඹට ඇවිත්, මගේ මවු පාර්ශ්වයේ ගම වූ මෝදර පදිංචි වුණා. මුලින්ම මම ගියේ ගමේ සිංහල පාසලට. ඊට පස්සේ මෝදර ‘ද ලාසාල්’ විද්‍යාලයට ඇතුළත් වුණා. මගේ මවුගේ අම්මා, තාත්තා ඇතුළු ඥාතීන් හිටියෙත් අපේ ගේ ළඟම ගෙවල්වල. ඒ නිසා හැමදාම හවස 6.30ට ආච්චි, සීයා ඇතුළු වැඩිහිටියො, අසල්වැසියෝ සේරම අපේ ගෙදරට එකතු වෙලා ජපමාලය කියනවා. ඒ කාලේ අපේ ගේ තිබුණේ පල්ලිය ළඟමයි. පල්ලි නොගියත් දේව මෙහෙය අපට හොඳට ඇහෙනවා. ඒ කාලේ හිටපු ප්‍රංස ජාතික පියතුමා කුඩා අප නිතරම පල්ලියේ වැඩ කටයුතුවලට සම්බන්ධ කරගත්තා. එතුමාගේ ජීවිත ආදර්ශය නිසා පියතුමෙක් වීමේ ආශාව මගේ හිතේ ඇති වුණා. ඒ නිසාම මම පූජා සහායක දරුවකු විදිහට දිව්‍ය පූජාවට උදවු වෙන්න පටන්ගත්තා. ඒ කාලේ නිතර නිතර මඩු පල්ලි යෑමත් අපේ පවුලෙ පුරුද්දක්. පරණ කාර් එකේ බඩු බැඳගෙන අපි ඒ ගමන යනවා. එහෙම ගියාම මඩු පල්ලියෙදිත් මම පූජාවට උදවු වෙලා තියෙනවා. පියතුමකු වීමේ ආශාව තවත් මෝරලා වැඩුණේ පාසල් ශිෂ්‍යයකු විදිහට මඩු පල්ලියේ තිබුණු ඥානකාන්තියකට සහභාගි වීම නිසා. එහිදී මට ගරු ෆ්‍රෑන්ක් මාකස් ප්‍රනාන්දු පියතුමා හමු වුණා. ඊට පස්සෙත් අවස්ථා දෙක තුනකදි උන් වහන්සේ හමු වුණාම නිතරම මගෙන් අහපු ප්‍රශ්නයක් තමයි, ‘කල්දේරම් බත් කන්න එන්නෙ නැද්ද?’ කියලා. ඒ ආරාධනාවයි, හිතේ තිබුණ හීනයයි දෙකම නිසා මට හිතුණා පූජාප්‍රසාදිවරයකු වීමේ සිහිනය සැබෑ කරගන්න දෙව්සත්හලට ඇතුළත් විය යුතුයි කියලා.”
ඒ අනුව පාසල් අධ්‍යාපනය කටයුතු නිම වීමෙන් පසු වයස අවුරුදු 18දී පමණ බොරැල්ල සාන්ත ඇලෝසියස් දෙව්සත්හලට ඇතුළත් වන මැල්කම් තරුණයා වසරකුත් මාස තුනක පමණ කාලයක් එහි අධ්‍යාපනය ලැබීමෙන් පසු 1966දී අම්පිටිය ජාතික දෙව්සත්හලට ඇතුළත් වන්නේ දේව ධර්මය සහ දර්ශනවාදය හැදෑරීමටය.
“බොරැල්ලෙ පුංචි සෙමනේරියේ පොඩි පන්තිවල ඉඳලා ඉගෙනගන්න අයට ලතින් භාෂාවේ මූලික සිද්ධාන්ත සහිතව හොඳින් ඉගෙනගන්න අවස්ථාව ලැබෙනවා. මම පාසල් අධ්‍යාපනයෙන් පස්සේ කෙළින්ම දෙව්සත්හලට ආව නිසා මට අවස්ථාව ලැබුණේ නැහැ. ඒ නිසා ජාතික දෙව්සත්හලේදී මට අවුරුද්දක් ලතින් භාෂාව ඉගෙන ගන්න සිදු වුණා. අධ්‍යාපන කටයුතු නිම වුණාට පස්සේ එවකට සිටි තෝමස් කුරේ කාදිනල් හිමිපාණන් අපට කිවුවා, එළියට ගිහින් රැකියාවක් කරන්න කියලා. එය අපට පූජකවරය ගැන නැවත තීරණයක් ගන්න දුන් අවස්ථාවක්.
අතිඋතුම් හයවැනි පාවුලු පාප් වහන්සේගෙන්පූජාත්වරය ලැබූ දාඅතිඋතුම් හයවැනි පාවුලු පාප් වහන්සේගෙන්
පූජාත්වරය ලැබූ දා
“පවුලෙ එකම පිරිමි දරුවා නිසා මා ආපහු ආව එක ගැන මගේ පියා සතුටු වුණා. ඔහු මට කිවුවා, ආපහු යන්න ඕනෑ නෑ, ඔහොමම ඉන්න කියලා. ඊට අවුරුද්දකට විතර පසුව මගේ මව අසනීපයකින් හදිසියේම මියගියා. මේ අතරේ මා රැකියාවක් සොයාගන්න මහන්සි වුණා. ඒත් අවුරුද්දකට දෙකකට රැකියා දෙන්න කවුරුත් කැමැති වුණේ නැහැ. ඒත් කාදිනල්තුමා කිවුවනේ රැකියාවක් කරන්න කියලා. මට ‘සෙඩෙක්’ ආයතනයේ රැකියාවක් හොයාගන්න පුළුවන් වුණා. ඒ කාලේ ගංවතුරක් ඇවිත් සූරියකන්දෙන් කොටසක් කඩාගෙන ගිහින් පවුල් 26ක ගෙවල් කැඩිලා උන්හිටි තැන් නැතිවෙලා. ඔවුන්ට රජයෙන් ඉඩම් දීලා තිබුණා කොළොන්න ප්‍රදේශයේ. සෙඩෙක් ආයතනයේ එවකට සිටි අධ්‍යක්ෂ පියතුමා ඒ ඉඩම් සංවර්ධන ව්‍යාපෘතිය භාරව මාව යැවුවා. මා එහේ ගිහින් ප්‍රාදේශීය ලේකම්තුමාගේ නිල නිවෙසේ පදිංචි වෙලා ඒ වැඩකටයුතු කළා. බයිසිකලේකින් එතැන ඉඳලා කි.මී. 2-3ක් හැමදාම කැලේ ගෙවල් හදන ව්‍යාපෘතිය තියෙන තැනට ගියා.
“එහෙ කාලයක් වැඩ කළාට පස්සේ කාදිනල්තුමා මට කිවුවා ඇවිත් කෝට්ටේ සාන්ත තෝමස් විද්‍යාලයේ ගුරුවරයකු විදිහට වැඩ කරන්න කියලා. මේ විදිහට අවුරුදු එකහමාරක් විතර ගියාට පස්සේ මා කාදිනල්තුමාට කිවුවා, ආයේ පූජාත්වරය ලබාගන්න කැමැතියි කියලා. ඒ අදහසට මගෙ පියා කැමැති වුණේ නැහැ. එහෙත් මගෙ හිතේ ස්ථිර අදහසක් තිබුණා, පූජකතුමෙකු වෙන්න තැබූ අඩිය ආයේ පස්සට ගන්නෙ නෑ කියලා. ඒ අනුව මා නැවත දෙව්සත්හලට ඇතුළත් වුණා. දේවධර්මවේදී උපාධිය හැදෑරීමට කාදිනල්තුමා මාව රෝමයේ ‘උර්බානු’ විශ්වවිද්‍යාලයට යැවුවා.
අප්‍රිකාව, ආසියාව, දකුණු අමෙරිකාවට අයත් රටවල් 43කින් පැමිණි සිටි සිසුන් සමඟ පූජාත්වරයට සූදානම් වීමේ අන්තර්ජාතික අත්දැකීම මට එහිදී ලැබුණා. විධ සංස්කෘතීන්, ජාතීන්ගේ වෙනස්කම් හඳුනාගැනීමටත් ඒ අතර ජීවත් විය යුතු ආකාරය අවබෝධ කරගැනීමටත් එයින් අත්දැකීම් ලැබුවා. විවිධ ජාතිකයන් වුණත් අප ඉතා සහෝදරත්වයෙන් සමඟියෙන් කටයුතු කළා. ඒ කාලයේදී සිංහල, ඉංග්‍රීසි සහ දමිළ භාෂාවලට අමතරව මම ඉතාලි, ජර්මානු, ප්‍රංස, හෙබ්‍රෙව්, ග්‍රීක, ලතින් සහ ස්පාඤ්ඤ භාෂාත් ඉගෙනගත්තා. උපාධිය ලබාගත්තට පසුව රෝමයේදීම පූජාත්වරය ලැබීමට කාදිනල්තුමා මට විශේෂ අවසරයක් දුන්නා.
“1975 ජූනි 29 වැනිදා එවකට සිටි 6 වැනි පාවුලු ශුද්ධෝත්තම පාප් වහන්සේගෙන් පූජාත්වරය ලැබීමේ භාග්‍යය මට ලැබුණා. සාන්ත පීතර වතුරශ්‍රයේ පැවති ඉතා ගම්භීර විශාල දේව මෙහෙයේදී මා ඇතුළු 358 දෙනෙක් එදින පූජාත්වරය ලැබුවා. ඒ වන විට මට වයස අවුරුදු 27ක්. පූජාත්වරයෙන් පසු කෙටි නිවාඩුවකට ලංකාවට පැමිණි මා මගේ පළමු දිව්‍ය පූජාව බේරුවලදි පැවැත්තුවා. ඒ වෙද්දී මා පියතුමකු වීම ගැන මගේ පියා සතුටින් සිටීමත්, ඔහුගේ ආශීර්වාදය ලැබීමත් මගේ හිතට විශාල සතුටක්, ශක්තියක් වුණා.”
මැල්කම් රංජිත් පියතුමා ඉන් පසු නැවත රෝමයට ගොස්, එහි බයිබල් ආයතනයෙන් පශ්චාද් උපාධි අධ්‍යයන කටයුතුවල නියැළීමෙන් පසු ජෙරුසලමේ හෙබ්‍රෙව් විශ්වවිද්‍යාලයට ඇතුළත් විය.
“මා කුඩා කාලයේදී ඉගෙනුමට අතිදක්ෂතා දැක්වූ ශිෂ්‍යයෙක් නෙවෙයි. ඒත් මහන්සි වෙලා ඉගෙනගැනීමට සහ ඉගෙනගත් දෙයින් ප්‍රයෝජන ගැනීමට මා තුළ විශාල උනන්දුවක්, කැප වීමක් තිබුණා. ඒ නිසාම පූජාත්වරයේ සිට පශ්චාද් උපාධිය දක්වා මගේ අධ්‍යයන කටයුතු ඉතා සාර්ථකව සිදු කිරීමෙන් පසු නැවත ලංකාවට ආවා. මගේ පූජක දිවියේ වැදගත් ඊළඟ පරිච්ඡේදය ආරම්භ වුණේ ඉන් පසුවයි. ඒ වන විට අතිඋතුම් නිකලස් මාකස් ප්‍රනාන්දු හිමිපාණන් කොළඹ අගරදගුරු බවට පත් වී සිටියා. උන් වහන්සේ මට කිවුවා, “දෙව්සත්වල ඉඳලා පූජක ජීවිතය ගැන හරි අත්දැකීම් ලබන්න බෑ. ඒ නිසා යන්න ඕනෑ ටිකක් අමාරු, අඩුපාඩු තියෙන තැනකට,” කියලා. උන් වහන්සේ මාව යැවුවේ පමුණුගම මීසමේ කැපුන්ගොඩ, දුන්ගල්පිටිය කියන දේවස්ථාන භාරවයි. මා නවාතැන් ගත්තේ පල්ලිය පිටිපස්සේ මුහුද අයිනට වෙන්න තිබුණු සංක්‍රිස්තියන් කාමරේ. නිඳාගත්තේ කොහු ලණුවලින් වියපු ඇඳක පැදුරක් දාගෙන. බාත්රූම් නැහැ. තනිකරම වැල්ල නිසා ළිඳක්වත් තිබුණේ නැහැ. පූජාවට උදවු වන දරුවන් සතියකට සැරයක් ටිකක් ඈත තිබුණු ළිඳකින් වතුර ගෙනැවිත් ටැංකියක් පුරවනවා. සතියක් විතර මා අරපරිස්සමෙන් පාවිච්චි කරන්නේ ඒ වතුර ටික. පල්ලි දෙකේ වැඩ කරන අතරේ මා පමුණුගම මීසමේ පොදු වැඩවලටත් උදවු වුණා. පියතුමකු ජනතාවගේ දුක් කරදර තේරුම්ගත යුතුයි කියන දේ මා එහිදී වටහාගත්තා. එහෙ හිටියෙ බහුතරය ධීවර ජනතාව නිසා ඔවුන්ගේ ප්‍රශ්නවලට මාත් නිකම්ම ඇදිලා ගියා. ඒ කාලේ ධීවර ඇමැති විදිහට හිටිය ෆෙස්ටස් පෙරේරා මගේ ඥාතියෙක්. ඒ නිසා අමාත්‍යාංශය එක්ක සහයෝගයෙන් කටයුතු කරමින් ධීවරයන්ගේ ප්‍රශ්නවලට විසඳුම් දෙන්න හැකි වුණා. අගරදගුරුතුමා නැවත කෙටි කාලයකට මාව දෙව්සත්හලට යැවුවත් දෙව්සත්හල් ජීවිතයට වඩා මා කැමැති වුණේ මීසම් ජීවිතයටයි.”
ඉන් අනතුරුව තවත් මීසම් කිහිපයක සේවය කළ මැල්කම් රංජිත් පියතුමා කොළඹ අගරදගුරු පදවියේ සමාජ සේවා ආයතනය වන ‘කරිටාස්’ ආයතනයේ අධ්‍යක්ෂ පියතුමා ලෙස යුක්තිය, සාමය හා සංවර්ධනය පිළිබඳ කටයුතු කරමින් ‘සෙත්සරණ’ ආයතනය පිහිටුවීමටද කටයුතු කළේය. එහිදී ජනතා සුභසිද්ධිය වෙනුවෙන් සක්‍රිය සේවාවක් ඉටු කිරීමට උන් වහන්සේට හැකි විය. ජනාධිපති ප්‍රේමදාස සමයේදී ධීවර අමාත්‍යාංශය ත්‍රිකුණාමලයට ගෙනයෑමට ගත් තීරණය ආපසු හැරවීමටත්, මීගමුව ප්‍රදේශයේ සංචාරකයන් දරුවන් අවභාවිත කිරීමේ ව්‍යාපාර පැරදවීමටත්, ව්‍යවස්ථා සංශෝධනවලදී ජනතාවගේ අයිතිවාසිකම් සහ මානව හිමිකම් ආරක්ෂා කිරීමටත් උන් වහන්සේ වෙසෙසින් මැදිහත් වූහ. ඊට අමතරව කතෝලික සභාවේ භාරධුර වගකීම් රැසක්ම වරින් වර උන් වහන්සේ විසින් දරනු ලැබිණි. ශුද්ධෝත්තම පියතුමාගේ අන්තර්ජාතික ධර්මදූත සංගම්වල ශ්‍රී ලාංකේය නියෝජිතවරයා ලෙස කටයුතු කරමින් සිටියදී කොළඹ අගරදගුරු පදවියේ සහායක රදගුරුතුමකු ලෙස පත්වීම් ලැබීම විශේෂ අවස්ථාවක් විය.
“ඒ වෙද්දි මගේ ආධ්‍යාත්මික අධ්‍යක්ෂ වෙලා සිටි අතිඋතුම් ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන්ද කොළඹ පදිවියේ සහායක රදගුරු විදිහට කටයුතු කරමින් හිටියා. මට වඩා අවුරුදු ගණනක් වැඩිමහල් වගේම, මට වඩා බොහෝ අත්දැකීම් ඇති එතුමා සමඟ එකට සේවය කිරීමට ලැබීමත් භාග්‍යයක් වුණා. මම මීසම්වල පරිපාලන කටයුතු සම්බන්ධ වගකිව යුතු නිලයක කටයුතු කරමින් සිටින අතර, 1995 ජනවාරි මාසේ පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය සංවිධානය කිරීමේ කමිටුවේ සභාපති ලෙස කටයුතු කළා. සංචාරය අවසන් කර පිටත් වීමට පෙර මා පාප් වහන්සේට සුබ පතන්න වතිකාන තානාපති නිවෙසට ගිය අවස්ථාවේ උන් වහන්සේ මගෙන් ඇහුවා, පදවියක් භාර ගන්න කැමැතිද කියලා. මා කිවුවා, “මම කවදාවත් කිසි දෙයක් ඉල්ලලත් නැහැ, ඉල්ලන්නෙත් නැහැ, ඕනෑම තැනකට යවන්න,” කියලා. “එහෙම නම් ලෑස්ති වෙලා ඉන්න,” කියලා උන් වහන්සේ කිවුවා. නොවැම්බර් මාසයේ ගාල්ල පදවිය දෙකට බෙදලා කෑගල්ල හා රත්නපුර දිස්ත්‍රික්ක දෙක රත්නපුර පදවිය කියලා නම් කරලා ඒක මට භාර දුන්නා. එහි කතෝලිකයන් හිටියේ සියයට දෙකක් පමණ; දේවස්ථාන 23ක්. අනෙකුත් ආගමිකයන් සමඟ සහෝදරත්වයෙන් ජීවත් වීමේ ප්‍රධාන වගකීමත් එක්ක යටිතල පහසුකම්, සේවා මධ්‍යස්ථාන ආදිය දියුණු කළා.
“වසර 6ක් පමණ යද්දි මට නැවතත් මාරු වීමක් ලැබුණා. පූජක ජීවිතය කියන්නෙ එහෙම ගමනකට; ස්ථිර තැනක් නැහැ. යන්න කිවුවාම බඩු පෙට්ටිය අකුළාගෙන යා යුතුයි. ඒ සැරේ මාව යැවුවෙ රෝමයට. එය විවිධ හැලහැප්පීම් ඇතුළු අමිහිරි අත්දැකීම් මැද ගත වුණු කාලයක්. ධර්මදූත සංගම්වල අන්තර්ජාතික සභාපති ධුරය දරමින්, අගරදගුරුවරයකු ලෙසත් කටයුතු කළා. ඊළඟ පත්වීම ලැබුණේ ශුද්ධෝත්තම පාප් වහන්සේගේ තානාපති රදගුරු විදිහට ඉන්දුනීසියාවට. සාමාන්‍යයෙන් ඒ තනතුරට පත් කරන්නේ ඒ වෙනුවෙන් විශේෂ නිකේතනයක වසර ගණනක් අධ්‍යාපන ලබලා, විභාග සමත් වෙලා, ලේකම් පියතුමකු ලෙස කටයුතු කළාට පසුවයි. ඒත් ඒ කිසිම සුදුසුකමක් හෝ පුහුණුවක් නැතිව මා ඒ තනතුරට පත් කළා. මා හැම විටම ප්‍රශ්න කිරීමකින් තොරව දුන්න පත්වීම පිළිගත්තා. ඉන්දුනීසියාව කියන්නේ ඉතා දියුණු ඉස්ලාමීය රටක්. මිලියන දෙසීයක පමණ ජනගහනයක් අතරේ කතෝලිකයන් සිටියේ මිලියන දහයක් පමණ පිරිසක්. ජාවා දූපතේ ජාකාර්තා නුවර සිට මා සේවය කළා. වසර දෙකක් විතර යන විට සුනාමිය ආවා. සුමාත්‍රා දූපතේ උතුරු ප්‍රදේශය සම්පූර්ණයෙන් විනාශ වෙලා දෙලක්ෂ පනස් දාහක් පමණ මියගියා. ඒ දැකපු දර්ශන අදටත් හිතට වේදනාවක් ගෙන දෙනවා. සමහර මළසිරුරු වළලන්නවත් විදිහක් තිබුණේ නැහැ. ලැබුණු ආධාර උපකාර අදාළ පුද්ගලයන් සහ ස්ථාන වෙත යොමු කිරීමේ වගකීම මට පැවරුණා. වසර දෙකක සේවා කාලයකින් පසු ශුද්ධෝත්තම පියතුමා නැවත මාව රෝමයට කැඳවා, ජනවන්දනා සහ සක්‍රමේන්තු පිළිබඳ සසුන් නියෝජිත ලේකම් ලෙස පත් කළා. එහි වසර පහක සේවයකින් පසු නැවත ලංකාවට පැමිණියා.”
ඒ කාලය මවුබිම ත්‍රස්තවාදි යුද්ධයෙන් ගිනිගනිමින් තිබූ අවධියයි. 1995 අප්‍රේල් කතෝලික සභාව විසින් ආරම්භ කරන ලද ජාතික සම්මේලනයේ සාමය පිළිබඳ විෂයය මෙහෙයවනු ලැබුවේ මැල්කම් රංජිත් රදගුරුවරයාය. යුද්ධය ඉතා දරුණු ලෙස ඇවිළෙද්දී එවකට ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග හමු වී සාමය වෙනුවෙන් සාකච්ඡා පැවැත්වීමේ අවශ්‍යතාව මතු කරමින් මන්නාරමේ රදගුරුතුමාගේද සහය ඇතිව නෝර්වේ ඇතුළු අන්තර්ජාතික සංවිධාන සහ එල්ටීටීඊය සමඟ සාකච්ඡා කර 2001 වසරේදී අවි බිම තැබීමේ ගිවිසුම අත්සන් කිරීමටද උන් වහන්සේ දායක වූහ. පසුව ඒ ගිවිසුම් බිඳදමමින් ත්‍රස්තවාදීන් නැවත යුද්ධයට අවතීර්ණ වූ අතර, 2007දීද කිලිනොච්චියට ගොස් නැවත සාමය වෙනුවෙන් එල්ටීටීඊය සමඟ සාකච්ඡා කළත් ඔවුන් ඊට එකඟ නොවූ බව උන් වහන්සේ සිහිපත් කළේ කනස්සල්ලෙනි.
බෙනඩික්ට් පාප් වහන්සේ විසින් උන් වහන්සේ 2009දී කොළඹ අගරදගුරු ලෙසත්, 2010දී කාදිනල් තනතුරටත් පත් කරන ලද අතර, 2010දී ශ්‍රී ලංකා බිෂොප්වරුන්ගේ සම්මේලනයේ සභාපති ලෙස තේරී පත් වූහ. අධ්‍යාපනයේ අගය මනාව වටහාගත් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ 2015දී මීගමුවේදී 16 වැනි බෙනඩික්ට් සංස්කෘතික ආයතනය ස්ථාපිත කිරීමේ නියමුවාද වූහ.
සිය එඬේරික කාර්යභාරය වෙනුවෙන් අධ්‍යාත්මයෙන්ම කැප වූ නායකයකු වන කාදිනල් රංජිත් හිමිපාණෝ 2019දී සිදු වූ පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයෙන් විපතට පත් ජනතාව නඟාසිටුවීමට සුවිසල් කාර්යභාරයක් ඉටු කළහ. දෙවියන් වහන්සේ විසින් සිය ජනතාව රැකබලා ගැනීමට කැඳවනු ලැබූ එඬේරකු වන පූජකයා උසස්, පහත්, දුප්පත්, දුර්වල, පවුකාර ආදි කිසිදු භේදයක් නොසලකා සැමට දෙවියන් වහන්සේගේ ප්‍රේමය අත්විඳීමට සැලසිය යුතු බව කාදිනල් හිමිපාණන් අඩසියවසක් සපිරූ සිය සසුන් මෙහෙවර මඟින් සනාථ කර ඇත.