
ශ්‍රී ලංකාවේ භික්ෂු සාසනයේ ‘පුරුෂාධිපත්‍යයට’ එරෙහිව බෞද්ධ භික්ෂුණියන්ගේ සටන ජයග්‍රහණය කරවූ ඓතිහාසික තීන්දුව
බීබීසී සිංහල
17 ජූනි 2025
“පෙත්සම්කාරිය කාන්තාවක් වීම නිසා මෙවැනි නීතිමය බාධකවලට මුහුණ දීමට සිදුව ඇති බව හා එය නීතිය ඉදිරියේ “වෙනස් කොට” සැලකීමක් බවත් තීන්දුවේ සඳහන් කර ඇත”
‘කාන්තාවක වීම නිසා මෙවැනි නීතිමය බාධකවලට මුහුණ දීමට සිදුවීම යනු නීතිය ඉදිරියේ වෙනස් කොට සැලකීමක්’
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දුගේ එකඟත්වය ඇතිව තීන්දුව ප්‍රකාශයට පත්කළ
විනිසුරු ගාමිණී අමරසේකර සඳහන් කළේ,
“පෙත්සම්කාරියට “භික්ෂුණී පදනම” යටතේ ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කිරීම තුළින් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති බව ය.”
පෙත්සම්කාරියට භික්ෂුණී පදනම යටතේ ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කිරීමට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල්වරයා ගනු ලැබූ තීරණය යුක්තිසහගත නොවන බව අධිකරණයේ මතය විය.
“පාන්දර ම කොළඹ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට ගියා. ඒත් හැඳුනුම්පත දුන්නේ නෑ. ඒ වෙලාවේ ලොකු දුකක් ඇති වුණා. විභාගේ ලියන්න බැරි වෙයි ද කියලත් හිතුණා. කොමසාරිස්තුමා කිව්වේ මහ නායක හිමිවරුන්ගේ අනුමැතිය නැතුව අපිට මේ දේ කරන්න බෑ කියල,”
මේ වන විට, 23 හැවිරිදි වියේ පසු වන අමුණුවත්තේ සමන්තභද්‍රිකා භික්ෂුණීන් වහන්සේ බීබීසී සිංහල සේවය සමග ඉහත සඳහන් අදහස් පළ කළේ, 2019 වසරේදී ය.
ඒ කාලයේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය ඉහළින් ම සමත්ව සිටි අමුණුවත්තේ සමන්තභද්‍රිකා මෙහෙණින් වහන්සේ සිය කුටියේ ඉතා උනන්දුවෙන් අධ්‍යාපන කටයුතුවල නිරත වෙමින් උසස් පෙළ විභාගයට පෙනී සිටීම සඳහා මහත් අපේක්ෂාවෙන් පසු වූවා ය.
එහෙත්, එවකට 17 හැවිරිදි වියේ පසුවූ සමන්තභද්‍රිකා භික්ෂුණීන් වහන්සේ උසස් පෙළ විභාගයට මුහුණ දීමට අවස්ථාවක් ලැබෙනු ඇත්දැයි අවිනිශ්චිත තත්ත්වයක පසු වූයේ, ඇයට ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කර තිබූ හෙයිනි. (සාමාන්‍ය පෙළ විභාගයට තැපැල් හැඳුනුම්පත භාවිත කළ හැකි වුව ද, උසස් පෙළ විභාගය සඳහා ජාතික හැඳුනුම්පත අවශ්‍ය වේ)
“ඊට පස්සේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට ගියා. එතනිනුත් බෑ කීව. ඒ වෙලාවේ මගේ ලොකු භික්ෂුණීන් වහන්සේටත් ඇඬුණ පොඩි භික්ෂුණීන් වහන්සේටත් ඇඬුණ. මටත් දුක හිතුණා.”
Skip වැඩිපුරම කියැවූ and continue reading
වැඩිපුරම කියැවූ
Bhikkhunis in Sri Lanka
ශ්‍රී ලංකාවේ භික්ෂු සාසනයේ ‘පුරුෂාධිපත්‍යයට’ එරෙහිව බෞද්ධ භික්ෂුණියන්ගේ සටන ජයග්‍රහණය කරවූ ඓතිහාසික තීන්දුව
An Iranian woman holds a poster of Iranian Supreme Leader Ayatollah Ali Khamenei during an anti-Israel rally in Tehran, Iran, 14 June 2025
2025 ජුනි 14 වන දින ඉරානයේ ටෙහෙරාන් නුවර පැවති ඊශ්‍රායල විරෝධී රැලියක් අතරතුර ඉරාන කාන්තාවක් ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ පෝස්ටරයක් අතැතිව සිටී.
ඉරානයේ උත්තරීතර නායක අලි කමේනි යනු කවුද? ඔහුගේ පවුල කෙතරම් බලගතුද?
ඉරාන රාජ්‍ය රූපවාහිනී මධ්‍යස්ථානයට පහර දුන් බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා තහවුරු කර තිබේ.
ඉරාන රාජ්‍ය රූපවාහිනී මධ්‍යස්ථානයට ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක්
RISA MOHAMMD ZARUK
කොළඹ නගරාධිපති තේරීමේ රහස් ඡන්දයෙන් ව්‍රායි බල්තසාර්ට පරාද වූ රිසා සාරුක්
End of වැඩිපුරම කියැවූ
මීට වසර 6කට පෙර මෙවැනි දුක්ඛිත අත්දැකීම්වලට මුහුණ දීමට සිදුවූ ශ්‍රී ලංකාවේ භික්ෂුණීන් වහන්සේලාට අස්වැසිල්ලක් වන ආකාරයේ ඓතිහාසික තීන්දුවක් ඊයේ (ජූනි 16) ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රකාශයට පත් කරන ලදී.
Bhikkuni
2013 වසරේ ප්‍රතික්ෂේප කළ ඉල්ලීම
රන්ගිරි දඹුල්ල සංඝ සභාවට සම්බන්ධ භික්ෂුණියක වන වැලිමඩ ධම්මදින්නා නම් භික්ෂුණිය 2013 වසරේ මැයි මස 31 වන දා “භික්‍ෂුණී පදනම” යටතේ ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීම සඳහා අයැදුම්පතක් ඉදිරිපත් කළ ද එම අයැදුම්පත පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල්වරයා ප්‍රතික්ෂේප කර තිබිණි.
එම භික්ෂුණිය ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළේ, භික්ෂුණීන් වහන්සේලාට අහිමි වූ අයිතිවාසිකම් දිනා ගැනීමේ අරමුණ ඇතිව ය.
ඊයේ (ජූනි 16) පැවති පෙත්සම් විභාගයේදී ඇය මුහුණ දුන් අත්දැකීම් පැහැදිලි කළා ය.
වැලිමඩ ධම්මදින්නා භික්ෂුණිය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සඳහන් කළේ, භික්ෂුණී පදනම යටතේ ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කළ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල්වරයා අවශ්‍ය නම් “සිල් මාතා” පදනම යටතේ හැඳුනුම්පතක් නිකුත් කළ හැකි බවට ලිඛිතව දැනුම් දී තිබූ බව ය.
මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙසත්, තමන්ට “භික්ෂුණී පදනම” යටතේ ජාතික හැඳුනුම්පතක් නිකුත් කරන ලෙස පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල්වරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලමින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබිණි.
නඩු විභාගයේදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නවීන් මාරපන අධිකරණය හමුවේ කරුණු දක්වමින්, අර්ථකථන නීතියට අනුව “භික්‍ෂූන්” යනුවෙන් සඳහන් කරන විට භික්‍ෂුණියන් ද ඊට ඇතුළත් විය යුතු බව පෙන්වා දුන්නේ ය.
එය පිළිගත් පොදු නීතිමය සිද්ධාන්තයක් බවත් ඔහු අධිකරණය හමුවේ පෙන්වා දී තිබිණි.
ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව
රන්ගිරි දඹුල්ල සංඝ සභාවට සම්බන්ධ භික්ෂුණියක වන වැලිමඩ ධම්මදින්නා නම් භික්‍ෂුණියට “භික්‍ෂුණී පදනම” යටතේ ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කිරීම තුළින් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.
ඒ, අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු, ගාමිණී අමරසේකර සහ මහින්ද සමයවර්ධන යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම ඊයේ දිනයේ [ජූනි 16] විභාගයට ගත් අවස්ථාවේදී ය.
ශ්‍රී ලංකාවේ “පුරුෂාධිපත්‍යයෙන්” පීඩා විඳින බෞද්ධ භික්ෂුණීන් වහන්සේ
ඒ අනුව, වැලිමඩ ධම්මදින්න නමැති භික්‍ෂුණියට “භික්‍ෂුණී පදනම” යටතේ ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයාට නියෝගයක් නිකුත් කරන ලදී.
වැලිමඩ ධම්මදින්නා නමැති භික්ෂුණිය සහ රන්ගිරි දඹුල්ල සංඝ සභාවේ මහ නායක පූජ්‍ය ඉනාමළුවේ සුමංගල හිමියන් විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන් මෙම නියෝගය නිකුත් කර තිබිණි.
එම විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරුවරුන් වන අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු සහ ගාමිණී අමරසේකර යන බහුතර විනිසුරුවරුන් විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත්කරන ලදී.
පෙත්සම්කාර භික්ෂුණිය අධිකරණයට කියා සිටියේ, රංගිරි දඹුල්ල සංඝ සභාව යටතේ 1998 වසරේ පටන් භික්ෂුණී ශාසනයක් ක්‍රියාත්මක වන බවත් තමන් එම සංඝ සභාව යටතේ උපසම්පන්නභාවය ලැබූ භික්ෂුණියක බවත් ය.
Bhikkunis in Sri Lanka
ඡායාරූප ශීර්ෂ වැකිය,
පෙත්සම්කාරිය කාන්තාවක් වීම නිසා මෙවැනි නීතිමය බාධකවලට මුහුණ දීමට සිදුව ඇති බව හා එය නීතිය ඉදිරියේ “වෙනස් කොට” සැලකීමක් බවත් තීන්දුවේ සඳහන් කර ඇත
‘කාන්තාවක වීම නිසා මෙවැනි නීතිමය බාධකවලට මුහුණ දීමට සිදුවීම යනු නීතිය ඉදිරියේ වෙනස් කොට සැලකීමක්’
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දුගේ එකඟත්වය ඇතිව තීන්දුව ප්‍රකාශයට පත්කළ විනිසුරු ගාමිණී අමරසේකර සඳහන් කළේ, පෙත්සම්කාරියට “භික්ෂුණී පදනම” යටතේ ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කිරීම තුළින් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති බව ය.
පෙත්සම්කාරියට භික්ෂුණී පදනම යටතේ ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කිරීමට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල්වරයා ගනු ලැබූ තීරණය යුක්තිසහගත නොවන බව අධිකරණයේ මතය විය.
රංගිරි දඹුල්ල සංඝ සභාව යටතේ 1998 වසරේ සිට භික්ෂුණී ශාසනයක් ස්ථාපිතව ක්‍රියාත්මක වන බව පෙත්සමේ සඳහන් වේ.
එහෙත්, එම ක්‍රියාව සම්බන්ධයෙන් කිසිදු පාර්ශවයක් විරෝධය පළ කර නොමැති අතර, භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමේ පූර්ණ බලය ත්‍රෛනිකායික මහ නායක හිමිවරුන් වෙත පැවරී තිබේ.
නමුත් අදාළ ක්‍රියාව [භික්ෂුණී ශාසනයක් පවත්වාගෙන යාම] බෞද්ධ ක්‍රමවේදයට පටහැනි නම් රංගිරි දඹුල්ල සංඝ සභාවේ මහ නායක හිමි වශයෙන් කටයුතු කරන පූජ්‍ය ඉනාමලුවේ සුමංගල හිමියන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට හැකියාව තිබූ බවත් මේ දක්වා එවැනි ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත් අධිකරණයේදී අනාවරණය විය.
‘භික්ෂුණීන් වහන්සේට හැඳුනුම්පතක් දෙන්න’ – මානව හිමිකම් කොමිසම
ඒ අනුව, නීතිමය වශයෙන් ගත් කල පෙත්සම්කාරියට ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කිරීමට තරම් සාධාරණ නීතිමය පදනමක් අධිකරණයේදී අනාවරණය නොවී ය.
රංගිරි දඹුල්ල සංඝ සභාව රජය විසින් අනුමත කරනු ලැබ නොතිබීම සහ භික්ෂුණීන් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාගේ විෂය පථයට අදාළ නොවීම යන හේතු මත පෙත්සම්කාරියගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.
එම කරුණ පිළිගත නොහැකි බවත් පෙත්සම්කාරිය භික්ෂුවක් වූවා නම් ඇයට මෙවැනි නීතිමය ගැටලු උද්ගත නොවනු ඇති බවත් තීන්දුවේ සඳහන් වේ.
නමුත් ඇය කාන්තාවක වීම නිසා මෙවැනි නීතිමය බාධකවලට මුහුණ දීමට සිදුව ඇති බව හා එය නීතිය ඉදිරියේ “වෙනස් කොට” සැලකීමක් බවත් තීන්දුවේ සඳහන් කර ඇත.
මෙම ප්‍රතික්ෂේප කිරීම තුළින් වගඋත්තරකාර පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල්වරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන “නීතිය ඉදිරියේ සමාන සැලකිලි ලැබීමට ඇති මූලික අයිතිය” උල්ලංඝණය කර ඇතැයි ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුලේ බහුතර විනිසුරුවරුන් විසින් නිකුත් කරන ලද තීන්දුවේ සඳහන් කර තිබේ.
එක් විනිසුරුවරයෙක් වෙනස් මතයක
කෙසේ වෙතත්, ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු මහින්ද සමයවර්ධන විසින් නිකුත් කරන ලද තීන්දුවේ සඳහන් කර තිබෙන්නේ, මෙම ක්‍රියාව තුළින් පෙත්සම්කාරියගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය වීමක් සිදු නොවන බව ය.
ඒ අනුව ඇයගේ පෙත්සම ප්‍රතික්ෂේප කළ යුතු බවත් මහින්ද සමයවර්ධන විනිසුරුවරයා සිය සුළුතර තීන්දුවේ සඳහන් කර තිබිණි.
ඓතිහාසික තීන්දුවක්
ශ්‍රී ලංකාවේ වැඩ වාසය කරන බෞද්ධ භික්ෂුණීන් වහන්සේට මෙතෙක් ජාතික හැඳුනුම්පතක් නිකුත් නොකර තිබීම හේතුවෙන් භික්ෂුණීන් වහන්සේලාට ඡන්දය භාවිත කිරීමට ද අවස්ථාවක් නොතිබිණි.
ශ්‍රී ලංකාවේ සිටින 8000කට ආසන්න බෞද්ධ භික්ෂුණීන් වහන්සේ නිල වශයෙන් පිළිගැනීම බුද්ධශාසන අමාත්‍යාංශය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීම හේතුවෙන් ඔවුන්ට ජාතික හැඳුනුම්පතක් ලබාගත නොහැකිව තිබූ බව මීට ඉහතදී බීබීසී සිංහල සේවය අනාවරණය කළේ ය.
ඒ අනුව, ඉහත තීන්දුව ශ්‍රී ලංකාවේ භික්ෂුණී ප්‍රජාවට සිය අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා ලැබෙන සුවිශේෂී අවස්ථාවක් වනු ඇත.
ලැබුණු ජයග්‍රහණය ගැන පෙත්සම ගොනු කළ භික්ෂුණිය කී කතාව
“ශ්‍රේෂ්ඨාධිකරණය දුන්න තීන්දුව ගැන ගොඩක් සතුටු යි. ඔය හැඳුනුම්පත නැති නිසා මමත් ඇතුළු මේ රටේ භික්ෂුණීන් වහන්සේලා ගොඩක් අසරණ වුණා. ජාතික හැඳුනුම්පත නැති නිසා ගොඩක් භික්ෂුණීන් වහන්සේලා උසස් පෙළ විභාගය කර ගන්න බැරුව එතනින් අධ්‍යාපනය නතර කළා. ඒ නිසා මේ රට වෙනුවෙන් ලොකු සේවයක් කරන්න තිබුණ භික්ෂුණීන් වහන්සේලාට ඉදිරියට යන්න බැරි වුණා,” ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීම අහිමි කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් එම අයිතිය දිනා ගැනීමට මුල් වූ වැලිමඩ ධම්මදින්නා භික්ෂුණිය බීබීසී සිංහල සේවයට පැවසුවා ය.
ඇය ප්‍රකාශ කළේ, තමන්ගේ කාලය අවසන් වී ඇතත් ඉදිරියේදී ශ්‍රී ලංකාවේ භික්ෂුණියන්ට මේ හරහා ලැබෙන අවස්ථා පිළිබඳව බෙහෙවින් සතුටට පත් වන බව ය.
ජාතික හැඳුනුම්පතක් නොමැතිව විදෙස් ගමන් බලපත්‍රයක් නොමැති වීම නිසා අවම වශයෙන් දඹදිව වන්දනා කිරීමට පවා අවස්ථාව අහිමි වී තිබූ බව ඇය පැවසුවා ය.
“මම දඹදිව යන්න ආශාවකින් ඉන්නේ. ඉතිරි ජීවිත කාලය ඇතුළත දඹදිව යන්න බලාපොරොත්තු වෙනවා.”
ඇය සඳහන් කළේ, රන්ගිරි දඹුල්ල සංඝ සභාවේ මහ නායක පූජ්‍ය ඉනාමලුවේ සුමංගල හිමියන් කළ ඉල්ලීමක් අනුව තමන් අදාළ පෙත්සම ඉදිරිපත් කිරීම සඳහා දායක වූ බව ය.
ශ්‍රී ලංකාවේ භික්ෂුණී සාසනය ගොඩනැගුණු හැටි
ජය ශ්‍රී මහා බෝධිය රැගෙන සඟමිත් තෙරණිය ශ්‍රී ලංකාවට වැඩම කිරීමත් සමග සිරිලක මෙහෙණි සසුන ආරම්භ කෙරුණු බව පිළිගැනේ.
ඒ, අනුරාධපුර රාජධානි යුගයේදී ය.
සොළී ආක්‍රමණයත් සමග අනුරාධපුර රාජධානිය බිඳ වැටීමෙන් පසු, පොළොන්නරුව රාජධානිය ගොඩනැගුණු අතර, ඒ කාලයේ ඇති වූ බැමිණිටියා සාගතයට මුහුණ දීම මෙහෙණින් වසන්සේට ඉතා දුෂ්කර කටයුත්තක් විය.
එම සාගතයත් සමග ශ්‍රී ලංකාවේ මෙහෙණි සසුන බිඳ වැටුණු අතර, ඉන් අනතුරුව 1998 වසරේදී බුද්ධගයාවේ පැවති ජාත්‍යන්තර භික්ෂුණි උපසම්පදා පුණ්‍ය කර්මයකදී ශ්‍රී ලංකාවේ මෙහෙණින් වහන්සේ උපසම්පදා සිදු කිරීමකින් යළිත් සිරිලක මෙහෙණි සසුන ආරම්භ කර තිබිණි.
ඒ සඳහා ඉනාමළුවේ සුමංගල නා හිමියන්ගේ පූර්ණ මැදිහත්වීම සහ ආශීර්වාදය හිමි විය.
මහ නාහිමිවරුන්ගේ මතයට එරෙහි භික්ෂුණීන්ගේ අරගලය
1998 වසරේදී දෙවන වර මෙහෙණි සසුන පිහිටුවීම මහ නා හිමිවරුන් පිළිගත්තේ නැත.
මහ නා හිමිවරුන්ගේ මතය වූයේ, මේ වන විට ලොව කිසිදු රටක ථේරවාදී භික්ෂුණීන් වහන්සේලා නොමැති බැවින්, යළි බුදුවරයෙකු පහළ වන තුරු අනුරාධපුර යුගයේදී අභාවයට ගිය ශ්‍රී ලංකාවේ භික්ෂුණී ශාසනය, යළි පිහිටුවිය නොහැකි බව ය.
එබැවින් සම්බුද්ධ ශාසනයට ඇතුළු වන කාන්තාවන් මෙහෙණින් වහන්සේ ලෙස නොව දසසිල් මාතාවන් ලෙස හැඳින්විය යුතු බව මහා නා හිමිවරුන්ගේ අදහස විය.
දිස්ත්‍රික්කයේ දසසිල් මාතා සංගමයේ අනුමැතිය නොලැබෙන්නේ නම් ‘සිල් මාතාවක’ ලෙසින් පවා හැඳුනුම්පතක් ලබා ගැනීමට හැකියාවක් තිබුණේ නැත.
කෙසේ වෙතත්, පූජ්‍ය ඉනාමළුවේ සුමංගල හිමියන් සහ කිරම විමලජෝති නාහිමියන් භික්ෂුණි ශාසනය පිළිගෙන මෙහෙණින් වහන්සේලාගේ අධ්‍යාපන කටයුතු සහ අයිතිවාසිකම් දිනා දීම වෙනුවෙන් පසුගිය කාලය තුළ කටයුතු කළහ.
1998 සිට 2004 දක්වා මෙහෙණින් වන්සේලාට ‘භික්ෂුණි’ ලෙස සඳහන් කරමින් ජාතික හැඳුනුම්පත් පවා නිකුත් කෙරිණි. එහෙත් මහා නා හිමිවරුන්ගේ බලපෑම මත එය අත්හිටුවීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන සමයේ පියවර ගත්තේ ය.
ඒ අවස්ථාවදී ජාතික හැඳුනුම්පතේ ‘සිල්මතා’ ලෙස සඳහන් කිරීමට මෙහෙණින් වහන්සේලා එකඟ නොවූහ.
එබැවින් ජාතික හැඳුනුම්පත නොමැතිකම නිසා මෙහෙණින් වහන්සේලාට බැංකු ගිණුමක් හෝ විවෘත කර ගත නොහැකි තත්ත්වයක් උදා වී තිබිණි. එමෙන් ම, දඹදිව වන්දනාවේ යාමට හෝ ගුවන් ගමන් බලපත්‍රයක් නොලැබුණු අතර මෙහෙණින් වහන්සේලාට විභාගවලට මුහුණ දීමේ අවස්ථා ද අහිමි වී තිබිණි. පිරිවෙන් සඳහා ලැබුණු අනුග්‍රහය මෙහෙණින් වහන්සේලා අධ්‍යාපනය ලබන මධ්‍යස්ථානවලට හිමිවුණේ නැත. ඒ ගැන BBC සිංහල සේවය 2019 වසරේදී විශේෂ අනාවරණයක් ද සිදු කළේ ය.
භික්ෂුණීන් වහන්සේලාට රජයේ රැකියා ලබා නොදුන් අතර ගිහි නම්වලින් ගුරු පත්වීම් ලබා අදටත් රජයේ පාසල්වල ඉගැන්වීම් කටයුතු සිදු කරන මෙහෙණින් වහන්සේලා සිටිති.
භික්ෂුණීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් රන්ගිරි දඹුලු රජ මහා විහාර සංඝ සභාව විසින් 2009 දී මානව හිමිකම් කොමිසමට ද පැමිණිලි කරන ලදී. 2015 අගෝස්තු මාසයේදී එහි තීන්දුවක් ප්‍රකාශයට පත්කළ ශ්‍රී ලංකා ජාතික මානව හිමිකම් කොමිෂන් සභාව, භික්ෂූණී ශාසනය පුනර්ජීවනය කිරීමට පියවර නොගැනීම මගින් බුද්ධ ශාසන අමාත්‍යංශයේ ලේකම්වරයා සහ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කර ඇතැයි තීන්දු කර තිබිණි.
නමුත් මෙහෙණින් වහන්සේලාට නිසි පරිදි අයිතිවාසිකම් හිමි වූයේ නැත.
සඳුදා (ජූනි 16) ශ්‍රේෂ්ඨාධිකරණය ඉහත කී ඓතිහාසික තීන්දුව ලබා දුන්නේ, එවන් තත්ත්වයක් පැවතියදී ය.