
RMV යෙන් තානාපති වාහනවල අංක වෙන වාහනවලට දීලා’- කෝපා කමිටුවේදී හෙළි වෙයි
By Mawbima -මාර්තු 25, 2025
භාවිතයට නොගත් හිස් අංක සඳහා මෝටර් රථ ලියාපදිංචි කිරීමේ සහතික මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් වංචනිකව නිකුත් කරන ලැබ ඇති බව ත් මේ පිළිබඳව මහ ජනතාව දැනුවත් වියයුතු බව ත් විගණකාධිපතිවරයා අවධාරණය කරයි.
එම හේතුවෙන් රජයට රුපියල් මිලියන 6.2ක් හා විදේශ රාජතාන්ත්‍රික වාහන අංක සඳහා වෙනත් වාහන ලියාපදිංචි කිරීම හේතුවෙන් රුපියල් මිලියන 122ක පාඩුවක් ද සිදුව ඇති බව විගණකාධිපතිවරයා අනාවරණය කළේ, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (කෝපා කමිටුව) රැස්වූ අවස්ථාවේදීය.
එමෙන් ම, එන්ජින් ධාරිතාව 201 සිට 450 කාණ්ඩයේ යතුරුපැදි 296ක් සඳහා අය කළ යුතු නියමිත ගාස්තු අය නොකර ලියාපදිංචි කිරීමෙන් රජයට රුපියල් මිලියන 78.15ක අලාභයක් සිදුව ඇතැයි ද කෝපා කමිටුවේදී අනාවරණය විය.
කැබිනට් අනුමතියකින් තොරව හා ලියාපදිංචි කිරීමට අවශ්‍ය නීතිමය ලිපිලේඛන නොමැතිව යතුරුපැදි 3,088ක් ලියාපදිංචි කර ඇති බව එම කමිටුවේදී අනාවරණය විය.
කමිටුවේදී තවදුරට ත් හෙළි වූයේ, පූර්ව වාහන ලියාපදිංචි අංක යටතේ පද්ධති ගතවූ චැසි අංක හා එන්ජින් අංක වෙනස් කර වංචනිකව ආනයනය කරන ලද වාහනවල එන්ජින් අංක හා චැසි අංක ඇතුළත් කර වංචනික මෝටර් වාහන ලියාපදිංචි සහතික නිකුත් කර තිබීම හේතුවෙන් ද රුපියල් බිලියන 1.2ක මුදලක් රජයට පාඩු වී තිබෙන බව ය.
මේ පිළිබඳ සාකච්ඡා කරනු ලැබුවේ, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව 2020, 2021, 2022 හා 2023 වර්ෂවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පිළිබඳ සාකච්ඡා කිරීමට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත්ගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කාරක සභාව හමුවට කැඳවා තිබුණ ද අදාළ නිලධාරීන් නිසි සූදානමකින් නොපැමිණීම හේතුවෙන් නැවත හරවා යවනු ලැබ තිබිණි.
තවද, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් 2019 වසරේ පැවැති කෝපා කමිටු රැස්වීම්වලදී ලබා දුන් නියෝග ඉටුකිරීම සම්බන්ධයෙන් විමසා සිටින ලදී.
මෙහිදී රේගු පරිගණක පද්ධතිය සමඟ සම්බන්ධ වීමට ප්‍රථම සිදු වූ අනීතික වාහන ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා ඉදිරිපත් කළ කරුණු 25ක් පිළිබඳ සිදුකළ පරීක්ෂණ හා එම කටයුතුවලට වගකිවයුතු නිලධාරීන්ට විරුද්ධව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ගත් විනය ක්‍රියාමාර්ග ඇතුළු වර්තමාන තත්ත්වය සඳහන් වාර්තාව දීර්ඝ වශයෙන් සකච්ඡාවට ගනු ලැබීය.
මෙහිදී දෙපාර්තමේන්තුව විසින් අදාළ නිලධාරීන්ට එරෙහිව කිසිදු විනය පියවරක් නොගැනීම සම්බන්ධයෙන් කාරක සභාව දැඩි අප්‍රසාදය පළ කළ අතර ඉදිරිපත් කර ඇති වාර්තා සම්බන්ධයෙන්ද කිසිසේත්ම සෑහීමකට පත්විය නොහැකි බව අවධාරණය කරන ලදී.
ඒ අනුව, මේ සම්බන්ධයෙන් නොපමාව විනය ක්‍රියාමාර්ග ගත යුතු බවත් ඊට අදාළ විමර්ශනය ස්වාධීන නිලධාරීන් කණ්ඩායමක් මඟින් පැවැත්වීමට පියවර ගන්නා ලෙසත් සභාපතිවරයා නිර්දේශ කළේ ය.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සිදුව ඇති දූෂණ, වංචා සහ අක්‍රමිකතා විමසා බැලීමෙන් අනතුරුව මීට සම්බන්ධ සියලු නිලධාරීන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගත යුතු බවටත් එහි ප්‍රගතිය සම්බන්ධයෙන් මෙම දෙපාර්තමේන්තුව මාසිකව කාරක සභාව හමුවට කැඳවා විමසීම් සිදුකිරීමටත් කාරක සභාව විසින් නිර්දේශ කරන ලදී.
තව ද, මෙහිදී සිදුව තිබෙන අපරාධමය ක්‍රියාවන් සම්බන්ධයෙන් අදාළ නීතිය බලාත්මක කරන ආයතන හරහා නීතිය ක්‍රියාත්මක කිරීමටද කාරක සභාව විසින් නිර්දේශ කරන ලදී. (MAWBIMA LK NEWS)