දැයෙන් සමුගත් අමිතා වැදිසිංහ ගායනවේදිනිය

0
60

දැයෙන් සමුගත් අමිතා වැදිසිංහ ගායනවේදිනිය

ජානක ඉලුක්කුඹුර

දිවයින

22/02/2025

සුපිපුණු මලකින් රොන් රස බී මත්වීලා..

ආදරයෙන් බිඟු යාද එ මල හැරදාලා…..

ගලන දොලේ පෙන බුබුලයි ආදරේ…

මිලින මලේ පැණි කඳුළයි ආදරේ….

සෙන්කඩගල පුර දළදා බුදු රැස්

විහිදෙන තුරු නැහැ වරදින්නේ…..

මේ උදාර ලංකා භූමියයි….

වීරෝදාර මා උපන් බිමයි…..

රන් දොරින් එන්න ආදරේ

කැඳවලා මල්සරා….

නිල් නුවන් ඔබ මා කෙරේ

දෙන්න සතුටින් පුරා..

කන්ද උඩින් හඳ පායන ලීලා…

ලන්ද වෙළේ රුක් අත්තන පිපීලා…

නොපිපි කැකුළු හෙටයි පිපෙන්නේ…

ලාංකීය ගීත ඉතිහාසයේ අපට ඇසුණු මියුරුතම හෙළ ගී හඬක් ඇති ගායන ශිල්පිනියක් පිළිබඳව විමසුමක් කරන්නට සිතුණා. මා ඉහත දක්වා ඇති ගීත කිහිපය තුළින් ඔබට ඇය කවුරුන්ද යන බව රහසක් නොවනු ඇත. අද මේ තොරතුරු ගොනු කරන්නේ එම විශිෂ්ට ශිල්පිනිය, විශාරදවරිය, ගුරුවරිය පිළිබඳවයි. ඇය සංගීතවේදිනිය අමිතා වැදිසිංහයි. අද ඇය දැයෙන් සමුගෙනය.

එය 1954 වර්ෂයයි. එවකට ‘රේඩියෝ සිලෝන්’ වශයෙන් හැඳින්වුණ එම ස්ථානය වෙත කුඩා දැරියක් සංගීත වැඩසටහනක් සඳහා පියනැගුවා.

අමිතානම් මේ දැරිය හට ඊට අඩිතාලම සෑදෙනුයේ ඇයගේ මව් පාර්ශ්වය තුළිනි. ඇයගේ පැත්තෙන් ජාතික ගීයේ නිර්මාතෘ ආනන්ද සමරකෝන් මහතා හා ඥාතිත්වයක් පැවතීම ඊට හේතුවයි. අමිතාගේ මවට ද කවි ගායනය කිරීමේ හැකියාවක් තිබූ අතර බොහෝ විට සමරකෝන් මහතාගේ වැඩසටහන්වල කවි ගායනයේ යෙදුණේය.

මා ඉහත සඳහන් කළ ‘රේඩියෝ සිලෝන්’ වෙත අමිතා කැඳවාගෙන යන්නේ සමරකෝන් මහතාගේ සොහොයුරු බර්ටි සමරකෝන් විසිනි. ආරම්භක ඒ යුගයේ වැඩසටහන් පටිගත කිරීමක් සිදු නොවූ අතර බොහෝවිට සිදු වූයේ එවලේම සජීවී ලෙස ඉදිරිපත් කිරීමකි. මෙම වැඩසටහන ද එවන් එකක් වූ අතර එය මෙහෙය වූයේ ලැඩී රණසිංහ මහතා විසිනි. ‘ඉටිපන්දම තනිවී’ නම් සිය මුල්ම ගායනය මයික්‍රපෝනයක් ඉදිරියේ ගයන විට ඇය වයස අවුරුදු 8ක දැරියකි. මේ සිදුවීමෙන් අනතුරුව සරත් විමලවීරයන් ඇයව ‘ළමා පිටිය’ සඳහා තෝරා ගත්තේය.

අමිතා පාසල් අධ්‍යාපනය සඳහා මුලින් කිරුළපන සද්ධර්මයෝදයටත්, අනතුරුව නුගේගොඩ අනුලා විදුහලටත් ඇතුළත් කෙරුණි. ඇයට සංගීතය සහ ගායනය පිළිබඳව ලොකු උනන්දුවක් ඇතිවී තිබිණ. පාසල් නිල ඇඳුම පිටින්ම පී. වැලිකල මහතාගේ වැඩසටහන් වෙත ඇය යොමු විය. මීට අමතරව ගායනය හැදෑරිය යුතු යැයි ඇයට හැඟිණ.

පාසල් අධ්‍යාපනයේ අවසන් කාලයත් සමග ගායනය තුළින් ඇය විශාරදවරියක් වීම සුවිශේෂී සිදුවීමකි. පසුකාලයේ ඇයගේ සැමියා බවට පත්වන වික්ටර් දළුගම මහතා ඇයට මුලින්ම හඳුනාගන්නට ලැබෙන්නේත් ඔවුන් පෙම්වතුන් බවට පත්වන්නේ ද මේ අවදියේදීය.

ගුරු පත්වීමක් ලැබ රාගම තේවත්ත ප්‍රදේශයේ විදුහලක සහ තවත් විද්‍යාල කිහිපයකම සංගීත ආචාර්යවරියක් ලෙස ඇය සේවයෙහි නිරත වූවාය. 1965 වර්ෂයේදී ආනන්ද ජයරත්න අධ්‍යක්ෂණය කළ ‘ආදරයයි කරුණාවයි’ චිත්‍රපටය ඇයගේ ගායන ජීවිතයේ සන්ධිස්ථානයක් ලෙස දැක්විය හැක. එය ඇයට වාසනාව ගෙන ආවේය. මෙහිදී ඩබ්ලිව්. ඩී. අමරදේවයන්ගේ සංගීතයට ගලන දොලේ පෙන බුබුලයි, අම්බිලියෝ, හිරු කුමරුයි, ඔන්න බබෝ ඇතින්නියා යන මියුරුතම ගීත කිහිපය ඇය ගැයුවේය. එකල චිත්‍රපටයක් ප්‍රදර්ශනය වීමට පෙරාතුව ගීත ගුවන් විදුලිය මගින් ප්‍රචාරය වන සිරිතක් පැවතුනි. කොහොමින් හෝ මේ ගීත නොයෙක් විට ගුවන් විදුලිය මගින් අසන්නට ලැබුණු අතර චිත්‍රපටය මුදාහැරීමත් සමග එම ගීතවල ජනප්‍රියත්වය දෙගුණ තෙගුණ විය.

එමෙන්ම කාගෙත් මුවඟ රැඳුණු ගීත බවට පත් වූහ.

දයානන්ද ගුණවර්ධනයන් අධ්‍යක්ෂණය කළ ‘බක්මහ දීගේ’ චිත්‍රපටයේ එන ‘කන්ද උඩින් හඳපායන ලීලා..’ යන ගීතය ද එවැන්නකි. ඊට අනුලා එක්කරන විසිතුරු රඟපෑම ගීතය හා හොඳින් සැසැඳුණි.

මේ අවදිය වනවිට ගුවන් විදුලි සරල ගී ගායිකාවක් ලෙසින් ද ඇය ඉතාමත් ජනප්‍රිය ගායිකාවක් බවට පත්ව සිටියේය. අනෝතත්ත විල (අමරදේවයන් සමග), ආදර චාරිකා (ඒ. එල්. බී. කන්දෙපොළ), බැද්ද පුරා (පියසිරි විජේරත්න), විලක නෙළුම් (ටියුඩර් ජයශාන්ත), පෝය දාට පායන සඳ (නිමල් ගුණසේකර), එක මොහොතක් ඔබ සෙවණේ (මර්වින් පෙරේරා) ඇය ගැයූ ඉතාමත් සුන්දර යුග ගීත කිහිපයකි. මීට අමතරව සෙන්කඩගල පුර, තාරකාවලින්, සුපිපෙන මලකින්, මේ උදාර ලංකා භූමියයි, පින්න මල් පිපී වැනි ගීත ගණනාවක් තුළින් ඇය අපගේ සිත සුවපත් කළේය. දෙසවන් පිනවීමට සමත් විය.

වරක් රූපවාහිනි වැඩසටහනකට සහභාගි වෙමින් වර්තමානයේ ජනප්‍රිය ගායක, සංගීතවේදී රූකාන්ත ගුණතිලකයන් ඇය ගැයූ ‘මේ උදාර ලංකා භූමියයි’ ගීතය අගයමින් එය ඔහු ඇසූ සුන්දරතම ‘දේශාභිමානී ගීතයක් බව පැවසුවා මගේ මතකයේ පවතී.

1970 දශකයේ කලකට පසු සුනිල් ශාන්තයන් ඉදිරිපත් කළ ‘පංච මධුර’ සංගීතමය වැඩසටහනකදී එතුමා සමගින් ‘එම්බා ගංගා නවතිනු නවතිනු..’ යන සුවිශේෂී ගීතය ඇයට ගයන්නට අවස්ථාව උදාවුණි. එය අරිසෙන් අහුබුදු සූරීන්ගේ ගේය පද රචනයකි. නැවතත් අප ඇයගේ චිත්‍රපට ගීත ගායනයක් වෙත යොමු වෙමු. ටයිටස් තොටවත්ත අධ්‍යක්ෂණය කළ ‘මංගලා’ චිත්‍රපටය සඳහා ඇය ඉතාමත් මියුරු ගීත දෙකක් ගැයුවේය. සෝමදාස ඇල්විටිගලයන්ගේ සංගීතයට මේ ගී තනු නිර්මාණය කළේ ක්ලැරන්ස් විජේවර්ධන වීම විශේෂයකි.

මෙහි එන ‘නොපිපි කැකුළු හෙටයි පිපෙන්නේ..’ යන ගීතය එතෙක් මෙතෙක් මා ඇසූ චිත්‍රපට ගීත අතුරෙන් ඉතාමත් අලංකාර ගීතයක් බව පැවසිය යුතුමය. එහි එන අනෙක් ගීතය ද එලෙසින්ම විසිතුරු එකකි.

මේ සිනමාපටය අද දිනයේ සංරක්ෂණය වී ඇති බවක් දැනගන්නට නොමැත. මෙම ගීතමය දර්ශනයේදී නීටා ප්‍රනාන්දු අපූරු රඟපෑමක යෙදුනා හොඳින් මතකය. එදා දවසින් පසු මේ සුන්දර ගීත දෙක අසන්නට නොලැබීම කනගාටුවට කරුණකි.

මීට අමතරව ‘හරියනකොට ඔහොම තමයි’ සහ ‘ඩොක්ටර් සුසන්තා’ යන චිත්‍රපටවලට ඇය ගීත ගැයුවේය.

ඇයගේ සංගීත දිවියට සිය සැමියා වෙතින් ලැබුණු සහයෝගය අතිමහත් එකක් බැව් ඇය පවසා සිටී. ඇය ගැයූ බොහෝ ගීතවල තනුව සහ සංගීතය ඔහු විසින් සැපයීම විශේෂත්වයකි.

මීට අමතරව බර්ටි සමරකෝන්, සෞන්දර්යයේ ගුරු පියකු වූ ශාන්ති ගීතදේව, ඩබ්ලිව්. ඩී. අමරදේව, අරිසෙන් අහුබුදු, සෝමදාස ඇල්විටිගල, කරුණාරත්න අබේසේකර, සරත් විමලවීර, මහගම සේකර, දයානන්ද ගුණවර්ධන, සුනිල් සරත් පෙරේරා, සරත් දසනායක, ප්‍රේමකීර්ති ද අල්විස්, ධර්මසිරී ගමගේ, හෙන්රි තෙන්නකෝන්, දෙල්තොට චන්ද්‍රපාල, කුමාරදාස සපුතන්ත්‍රි, විල්සන් ගුණරත්න, හඩ්සන් සමරසිංහ වැන්නවුන් ඇය භක්ති පූර්වකව සිහිපත් කරන්නීය.

1983 වසරේදී ‘අමිතා ගී සරණිය’ නමින් ඒක පුද්ගල ප්‍රසංගයකින් ඇය සජීවී ලෙසින් ශ්‍රාවකයා හමුවට පැමිණියාය. එය 1995 වසර දක්වා සාර්ථකව පවත්වාගෙන යෑමට ඇයට හැකි වූවාය.

2600 සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන් ඇය ‘රන් සඳ මඩලක්’ නම් සී.ඩී. තැටිය එළිදැක් වූවාය. එය තරංගා අධිපති අපෙන් සමුගත් විජය රාමනායකගේ නිෂ්පාදනයකි.

කලකට ඉහතදී ඇයගේ ආදරණීය සැමියා සංගීතවේදී වික්ටර් දළුගම මහතා ජීවිතයෙන් සමුගත්තේය. ඔහුගේ වියෝවෙන් පසු ඇය දරුවන්ද රැකබලා ගනිමින් සිය සංගීත වැඩකටයුතු ඉදිරියට රැගෙන යෑමට ධෛර්යයෙන් යුක්තව කටයුතු කළාය. දිරිය මවක් වූවාය. ඇය දරුවන් තිදෙනකුගේ මවකි.

එක් දියණියක් සහ පුතුන් දෙදෙනෙකි. ඔවුන් හටද ගායනය හා සංගීතය හොඳින් හදාරන්නට ඇය පසුබිම සකස්කර දුන්නාය.

වෙනත් අයගේ ගීත ගායනයෙන් මිදී ඔවුන් තමන්ගේම නිර්මාණ තුළින් ඉදිරියට එනු දැකීම ඇය බලාපොරොත්තු වූවාය.

ඇය කිසිවිටෙක යසස කීර්තිය පසුපස හඹා නොගිය ගායිකාවකි. ඇයට දුන් වැඩ කොටස මැනවින් ඉට ුකළාය. එහි ප්‍රතිඵලයක් ලෙසින් දෙස් විදෙස් අතිමහත් ගීත ශ්‍රාවක පිරිසක් ඇය වටා රොඳ බැඳ සිටින්නේය.

නමුත් ජාතික මට්ටමෙන් ඇය කළ උදාර මෙහෙවර නිසි ඇගයුමට ලක්වූවාද යන්න ප්‍රශ්නයකි.

ඇය පෞද්ගලිකව මා කැමැති ගායිකාවන් අතරින් එක් සුවිශේෂී ගායිකාවකි. ඇය සතු හෙළ ගී හඬට මා අසීමිත කැමැත්තක් දක්වමි. ඔබ සැමද එලෙසම බව මා හොඳින්ම දනිමි.

එතුමියට නිවන් සුව ප්‍රාර්ථනා කරමි.

මුහුණු පොතේ තැබූ සටහනකිනි

ජානක ඉලුක්කුඹුර (DIVAINA LK NEWS)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here