ජන බලවේග කතුන්ට වතුර ගැසුවාට දේශබන්දුගෙන් වන්දි ඉල්ලයි

0
112

ජන බලවේග කතුන්ට වතුර ගැසුවාට දේශබන්දුගෙන් වන්දි ඉල්ලයි

ARUNA LK NEWS

15 December 2023

ජන බලවේග කතුන්ට වතුර ගැසුවාට දේශබන්දුගෙන් වන්දි ඉල්ලයි

පසුගිය 04 වනදා පොල්දූව මංසන්ධියේ දී ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි හරිනි අමරසූරිය ඇතුළු සාමාජික කාන්තාවන් විසින් පැවැත් වූ සාමකාමී විරෝධතාවට ජල ප්‍රහාර එල්ලකර එම විරෝධතාව කඩාකප්පල් කිරීම තුළින් සිදුවූ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු වග උත්තරකාර පොලිස් නිලධාරීන්ගෙන් රුපියල් මිලියනය බැඟින් වන්දි අයකර දෙන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.

ජාතික ජනවලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හරිනි අමරසූරිය ඇතුළු එහි සාමාජිකාවන් පස් දෙනෙකු විසින් පෙත්සම ඉදිරිපත් කළාය.

එහි වග උත්තරකරුවන් ලෙස වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, වැලිකඩ, තලංගම හා මිරිහාන පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරු, නුගේගොඩ දිශාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා, නීතිපතිවරයා ඇතුළු 09 දෙනෙකු නම් කර ඇත.

පෙත්සම් කාරිනියන් කියා සිටින්නේ පාර්ලිමේන්තුවේ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයට අදාළ වැය ශීර්ෂය පිළිබඳ විවාදය පැවති ඉකුත් 04 වනදා පාර්ලිමේන්තුවට පිවිසෙන පොල්දුව මංසන්ධියේ දී තමන් ඇතුළු කාන්තාවන් පිරිසක් සාමකාමී විරෝධතාවක නිරත වූ බවයි.

2024 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතේ කාන්තා කටයුතු සඳහා වෙන්කර තිබෙන ප්‍රතිපාදන සියයට 51 කින් අඩු කිරීමට රජය ගෙන ඇති තීරණය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සඳහා මෙම විරෝධතාව සංවිධානය කළ බවත් ඔවුන් පෙන්වා දී තිබේ.

සාමකාමී ලෙස පැවති එම විරෝධතාවයට පොලිස් නිලධාරීන් විසින් කිසිඳු සාධාරණ හේතුවක් නොමැතිව ජල ප්‍රහාර එල්ලකර විසුරුවා හැරීමට කටයුතු කළ බවත්, එවැනි බලයක් යෙදවීමට එම අවස්ථාවේ දී පොලිසියට කිසිඳු අවශ්‍යතාවයක් මතු නොවූ බවත් පෙත්සමෙන් චෝදනා කර ඇත.

එම ජල ප්‍රහාර සිදුකරන අතරතුර ඇතැම් කාන්තාවන් අමානුෂික සැලකීම්වලට භාජනය වූ බවත් එහි සඳහන් කර තිබේ.

පොලිසිය විසින් සිදුකළ මෙම අතනෝමතික ක්‍රියා කලාපය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සහතික කර තිබෙන නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ඇතුළු මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් පෙත්සම්කාරිනියන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අයැද සිටී.

ඊට අමතරව එක් එක් පෙත්සම්කාරියට වග උත්තරකරුවන්ගෙන් රුපියල් මිලියනය බැගින් වන්දි අයකර දෙන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් අදාළ පෙත්සමේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here