

විජේදාස ලියනාරච්චි ඝාතනය හා සෙසු නීතිඥන්ගේ ඝාතන රැල්ල පිලිබඳ තොරතුරු බිඳක් ( Part Two )
Lanka News UK- 2nd October 2021 –(35 years Death Anniversary)
Shantha Senadheera -Solicitor- Attorney-at-Law @
Former Secretary of Colombo Law Society
Editor -Lanka News UK
විජේදාස ලියනාරච්චි පිළිබඳ මා විසින් ලියු පළමු කොටස පිළිබඳ 33 වසරකට පසුව ලියු සටහන කියවූ බොහෝ පිරිසක් ඒ පිලිබඳ දැක්වූ ප්‍රතිචාර ගැන ඔවුනට ස්තුතිය මෙයින් පිරි නමමි. තවද මේ පිලිබඳ මුල් ලිපියේ මග හරිගිය ඇතැම් කරුණු රැසක් මේ කොටසින් හෙළිකිරීමට පුළුල් අධ්යනයක් ඒ පිලිබඳ කලබැවින් දෙවන කොටස පළකිරීමට කෙටි කාලයක් වැය වූ බව සඳහන් කරනු කැමැත්තෙමි.
මා ලන්ඩනයේ සිට මේ සඳහා කරුණු සනාථ කර ගැනීමට විජේදාස පවුලේ කිහිප දෙනෙකු සම්බන්ධ කර ගත් අතර ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ එවකට ලේකම්ව සිටි දිවයිනේ සුප්රසිද්ධ අපරාධ නීතිය පිලිබඳ ප්‍රසිද්ධ නීතිඥයෙකුවන ජනාධිපති නීතිඥ උපාලි ගුණරත්නයන් මෙන්ම, කොළඹ නීතීඥ සංගමයේ සභාපතිවරයාවූ පාලිත මැතිව් යන මහතුන්ගෙන් මගේ කරුණු සනාථකර ගැනීම පිණිස සම්බන්ධ කර ගැනීමට කටයුතු කළේය. තවද ලියනාරච්චි පිලිබඳ පුවත්පත්වලට ලිපි සම්පාදනය කල ගත් කතුවරයෙකු වන දැනට මව්බිම පුවත්පතේ විශේෂාංග කතුවරයකුවන කටයුතු කරන උදේනි සමන් කුමාර හා ලියනාරච්චි සමග කලක් තිස්සේ සමීපව කටයුතු කළ ජවිපෙ පාර්ලිමේන්තු මන්තිරීවරයෙකුව සිටි මගේ දිගුකාලීන පාසල් මිතුරෙකු වූ විජිත රණවීරයන් ගෙන් ඇතුළු බොහෝ පිරිසක ගෙන් මේ පිලිබඳ තොරතුරු රැසක් ලබාගැනීම පිණිස කටයුතු කල බව සඳහන් කරනු කැමැත්තෙමි.
අද වන විට එකළ මේ කාර්ය සඳහා නීති සංගමයේ කටයුතුවලට සක්‍රියවදායකවූ එකල ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති වූ එච්.එල්. ද සිල්වා , උප ලේකම් වරයෙකුවූ හේමන්ත වර්ණකුලසුරිය ,ප්‍රින්ස් ගුණසේකර , රන්ජිත් අබේසුරිය, නිමල් සේනානායක, ආර්කේ.ඩබ්ලියු. ගුණසේකර ,ඩෙස්මන් ප්‍රනාන්දු ඇතුළු බොහෝ පිරිසක් වියෝවී ගොසිනි.මේ නිසා මෙහි සඳහන් ඇතැම් කරුණු ඔවුන්ගේ ලිපි ගොනු ඇසුරෙන් හා අපේ දැනට ජිවත්ව සිටින අයවළුන්ගෙන් ලබාගත් බව දන්වනු කැමැත්තෙමි.
‘පොලිස් භාරයේ සිටින නීතිඥයෙකුගේ මරණය: විජේදාස ලියනාරාච්චි නඩුව’ යන පොත මීට වසර කිහිපයකට පෙර කොළඹදී නිකුත් විය. කොළඹ වෛද්‍ය විද්‍යාලයේ අපරාධ පිලිබඳ මහාචාර්යවරයෙකුවූ රවීන්ද් ප්‍රනාන්දු මහතා විජේදාස ලියනාරච්චි දේහය පිලිබඳ පැවති මරණ පරීක්ෂණයේදී ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනීසිටියේය. ඔහු විසින් රචිත ” ” DEATH OF A LAWYER IN POLICE CUSTODY THE WIJEDASA LIYANARACHCHI CASE” (First Edition – November 2015) ” ඉංග්‍රීසි බසින් ප්‍රථම වරට මේ මරණය පිලිබඳ ප්‍රථමවරට පොතක් ප්‍රකාශනයට පත් කර ඇත. මේ පොත අද වන විට බොහෝ විදේශගත ශ්‍රී ලංකික ප්‍රජාව අතර මහත් ප්‍රසිද්ධියට පත් පොතක් ලෙස සැලකේ. අධිකරණ වෛද්‍ය විශේෂඥ, විජේදාස ලියනආරච්චිගේ බිහිසුණු ඝාතනයෙන් වසර 27 කට පසු ශ්‍රී ලංකාවේදී, කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය විද්‍යාවේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රවීන්ද්‍ර ප්‍රනාන්දු සිය විවේකාගාරයේ තිබූ ද්‍රව්‍ය හාරා පාඨකයින්ට ඉදිරිපත් කර තිබේ.
‘පොලිස් භාරයේ නීතිඥයෙකුගේ මරණය: විජේදාස ලියනආරච්චි නඩුව’ ( Death of a Lawyer in Police Custody නම් වූ පොත විජේදාස ලියනාරච්චි ඝාතනය සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රකාශයට පත්කර ඇති පොත්පත් හා ලිපි අතරින් වඩාත්ම නිවැරදි කරුණු ඇතුළත් පොතක් බව මගේ මතයයි. මෙම පොත අද වනවිට විදේශයන්හි ජාත්‍යන්තර නඩු කටයුතු රැසක විවිධ අවස්ථාවන්හිදී යොදාගෙන ඇති බවත් සඳහන් කල යුතුය.ලියනාරච්චි ඝාතනය පිලිබඳ කරුණු රැසක් දැන සිටි අයෙකු වශයෙන් මා බොහෝ ගත් කතුවරුන් මේ සිදුවීම පිලිබඳ සදහන් කර තිබු පොත්පත් මෙන්ම පුවත්පත් ,බ්ලොග් අඩවි වල .මුහුණු පොත හා සමාජ මාධ්‍යවල පළවූ කරුණු මා විසින් කියවා තිබු අතර බොහෝ දෑ රැස්කර ගෙන තිබුනේ දිගු කළක් පටන්ය. එකකට එකක් වෙනස් පර්ස්පර විරෝධී කරුණු රැසක් ඒවායේ අන්ත්ර්ගතව තිබු බව වැටහී ගිය බැවින් මෙවැන්නක් ලිවීමට මාපෙළඹ වූයේය.
මෙම ලිපියේ මුල් කොටසින් සඳහන් කර ඇති පරිදි ඔවුන් විසින් විවිධ පුද්ගලයින් ගෙන් විමසා බලා ලියු බවක් පෙනී යයි. මෙය බොහෝ කරුණු ගැන දැනුවත් නොවූ බවක් මේවා කියවන ඒ පිලිබඳ හොඳින් අධයනය කර තිබු ඕනෑම කෙනෙකුට පහලි වන බව කිව යුතුය. එහෙත් වගකිවයුත්තන්ගේ උකුසු ඇස තවමත් මේ පිලිබඳ යොමුව ඇති පසුබිමෙක ලක්බිමේ සිට ඒ කරුණු හැකිතාක් අපේ ඒ ගැන උනන්දුවක් ඇති නීති ගරුක සමාජයට හෙළි කිරීම පිලිබඳ අපි ඒ හැමටම අපේ ගෞරවය පිරිනැමිය යුතුය.
විජේදාස පිලිබඳ බොහෝ කරුණු දැනට සිළුමිණ කතුවර මෙන්ම ජවිපෙ දෙවන කැරැල්ල පිලිබඳ ගවේෂණාත්මක මාහැඟි පොත් දෙකක් ප්‍රකාශයට පත් කළ ධර්මන් වික්‍රමරත්නයන් සිය පොත් හා වරින්වර පුවත් පත්වලට ලියු ලිපි මගින් ප්‍රකාශයට පත්කර තිබුණි. ඔහු විජේදාස ලියනාරච්චියන්ගේ මුල්කාලීන ජිවිත තොරතුරු රැසක්ම ඒ සටහන්වල සඳහන් කර ඇත..
මා මේ කරුණු වැඩිදුරටත් ඔහුගේ සහෝදරයා වූ දැනට වීරකැටියේ ඔහුගේ මහගෙදර පදිංචි චන්ද්‍රදාස ලියනාරච්චි ගෙන් ද, එමෙන්ම ඔහු පිලිබඳ තොරතුරු දන්නා ඔහු මුල් කාලයේ සිටම දන්නා හඳුනන කළක් ජිවිපෙ නියෝජනයකළ පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙකු වූ මගේ පාසල් මිතුරෙකුවූ විජිත රණවීරයන්ගෙන් ද මේ කරුණු තහවුරු කිරීම සඳහා මාවිසින් සම්බන්ද කර ගත්තේය. විජේදාස වාමාංශික දේශපාලනයට ප්‍රවේශ වූයේ 1968 දී ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ශිෂ්‍ය සංගමය වන ලංකා ජාතික ශිෂ්‍ය සංගමය හරහාය. කලක් ඔහු එහි වීරකැටිය ශාඛාවේ ලේකම් තනතුරද විය. විජේදාසව කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනයට එක්කර ගනු ලැබුවේ එවකට කොමියුනිස්ට් පක්ෂ ශිෂ්‍ය සංවිධානයේ හම්බන්තොට දිසා ලේකම් මද්දුම පටබැදිගේ චන්ද්‍රපාල හා විජිත රණවීරගේ මග පෙන්වීම හේතු කොට ගෙනය.
ජවිපෙ දේශපාලනයට විජේදාස ලියනාරච්චි 1970 යොමු වූයේ රිච්මන්ඩ් විදුහලේ ඉගෙන ගන්නා කාලයේදී මිතුරෙකුගේ මග පෙන්වීමෙන් මේ කාර්ය සිදු කෙරිණි. ධර්මන් වික්‍රමරත්නයන් ට අනුව ජවිපෙ බද්දේගම පල්ලියගුරුගේ ගුණපාල විසින් දංගෙදර විහාරයේ දී පවත්වන ලද ජවිපෙ පන්ති හරහා ඔහු එයට සම්බන්ධවී තිබු බව සඳහන්වේ.
ඔහුගේ සහෝදරියක් වූ සෝමා ලියනාරච්චි හා ඇයගේ සැමියාවූ හුංගම සැම්සන් ද 1971 ජවිපෙ දේශපාලනයට සම්බන්ධවී සිටි අතර ඇය 71 කැරැල්ලේ දී අත්අඩංගුවටද පත්වූවාය. 1976දී විජේදාස , විජිත රණවීර ගේ මග පෙන්වීමෙන් ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වී තිබුණි.
වසර 1977 මහ මැතිවරණයේ දී ජවිපෙ තරංග කළේ ස්වාදීන අපේෂ්කයන් ලෙසය. ශ්‍රීලනිපයට සහ එජාපයට එරෙහිව තංගල්ල ඇතුළු රටපුරා ආසන 4කට ස්වාධීන අපේක්ෂකයන් වශයෙන් ඔවුන් මැතිවරණයට තරඟ වැදුනේය. එහි ජනප්‍රිය කැපී පෙනෙන දක්ෂ කථිකයෙක් වූයේ විජේදාසයන් ය.මේ සංවර්ධන සභා මැතිවරණය 1981 ජූලි 04 පැවැති අවස්ථාවේ දී හම්බන්තොට දිස්ත්‍රික්කයට තරග කරන ලද්දේ පියසේන රාමනායක, විජේදාස ලියනාරච්චි, ගුණපාල සතරසිංහ ආරච්චිගේ සහ ජේ. ආර්. ඩී. සිරිපාලය. ලියනාරච්චි මින් පරාජයට පත්වූ අතර පියසේන රාමනායක පමණක් සංවර්ධන සභා මන්ත්‍රීවරයකු වශයෙන් තේරීපත්ව තිබුණි.
විජේදාස ගුරු වෘත්තිය ආරම්භ කළේ හම්බන්තොට අලුත්වෙල මහා විද්‍යාලයෙනි. පසුව දෙනිය පිංගම මහා විද්‍යාලයටද අනතුරුව මන්නාරමටද මාරුවක් ලැබීය. ගුරු වෘත්තීය ජීවිතයේ වැඩ වර්ජන වලට සහභාගීවීමේ වරදට මාස 6කින් පසු වැඩ තහනමකට ද ඔහු ලක්විය. විජේදාස පසුව ගුරු වෘත්තියට සමු දී කටුබැද්ද තාක්ෂණික විද්‍යාලයේ සිවිල් ඉංජිනේරු ඩිප්ලෝමා පාඨමාලාවක්ද හැදෑරනට අවස්ථාව සලසුනේය..අනතුරුව ඔහුට මහවැලි ව්‍යාපාරයේ රත්කිඳ ව්‍යාපෘතියේ බැල්ෆර් ඇන්ඩ් බෙටි සමාගමේ කාර්මික සහකාරවරයකු ලෙස රැකියාව කර ගෙන යාමට ඉඩකඩ සලසුනේය.
උපන් ගමේ තරුණයන් සමඟ එක්ව ඔහු ‘තරුණ මිතුරු හවුල’ සංවිධානය මගින් බොහෝ ක්‍රියාකාරකම් කළේය. වීරකැටියේ කලා සහ ක්‍රීඩා සමාජය බිහිවූයේද ඔහුගේ පුරෝගාමිත්වයෙනි. වික්ටර් රත්නායක සහ සනත් නන්දසිරි කලාකරුවන්ද ගෙන්වා ප්‍රසංගයක් පැවැත්වීමට විජේදාස සමත්විය. කලා සංගමය මගින් සමාජ අසාධාරණයට එරෙහිව නිපදවූ ‘නින්දගමක රුසියෝ’නම් නාට්‍යය රාජ්‍ය නාට්‍ය උලෙළේ දෙවන ස්ථානය ලබා ගත්තේය. ඔහු ජවිපෙ වෘත්තිය සමිති සහ අධ්‍යාපන අංශයන්හි ඉහළ තලයේ භූමිකාවක්ද ඉටු කළේය
රැකියාවේ නිරතව සිටියදීම උසස් පෙළ විභාගයට කලා අංශයෙන් පෞද්ගලිකව පෙනී සිටීමට තීරණය කළ ඔහු ඉන් සමත්වන්නේ අධි සාමාර්ථ 3ක් සමඟය. වසර 1984 දී නීති විද්‍යාලයට ඇතුළු වූ හෙතෙම නීතිඥයකු ලෙස දිවුරුම් දුන්නේ 1987දීය. විජේදාස ජනාධිපති නිතිඥ රංජිත් අබේසූරිය ගේ කණිටු නීිතිඥයෙකි.
පසුගිය කොටසින් අප විජේදාස ලියනාරච්චිගේ ඝාතනය පිළිබද සැළවීමත් සමග මුළු මහත් නීතිඥ ප්‍රජාව මහත් කැළඹී මට පත්වුහ.ශ්‍රීලංකා නීතිඥ සංගමය කොටස් කිහිපයකට කැඩී ගියේ අප නොදැනුවත්වමය.මතු පිටින් දැක ගත නොහැකි වුවත් ඒ පිළිබද ඉතා දැඩි ලෙස කටයුතු කළ පිරිසට අපට මෙය පැහැදිලිවම ඒ වෙනස හඳුනාගෙන කටයුතු කිරීමට සිදුවිය. රජයට පක්ෂපාතවූ අය බොහෝ විට නිහඬ ප්‍රතිපත්තියක් අනුගමය කළ අතර ඇතැම් පිරිස් මෙහිදී නිහඬව සිටිනු දැකගත හැකිවිය.
එහෙත් විශාල පිරිසක් සිය වුර්තිය සගයකු රජයේ ආධාර අනුබල ඇතිව සිදුකර තිබු මේ මෙලේච්ච ක්‍රියාව හමුවේ ඉතා නිර්ධය ලෙස විවේචනය කරමින් සිය විරෝධය එළිපිටම ප්‍රකාශ කර සිටියේය.අප සංගම් කටයුතු කළේ ඒ පිලිබඳ දැඩි අවධානමකින් යුතුව බව කිවයුතුය.
විජේදාස පැහැර ගෙන තිබුනේ 1988 අගෝස්තු මස 25 වනදා අලුත්කඩේ උසාවියේ සිට ඔහු සිය නැවතී සිටි නුගේගොඩ නිවස බලා යමින් සිටියදී බව කියවේ.මෙය ඇතැම් අය පවසන්නේ නුගේගොඩදී සිදුවූ බවකි. මේ පැහැර ගෙනයන්නට පෙර විජේදාස සැලසුම් කර ඇත්තේ ඒ සතිය අවසානයේ පොහෝදින නිවාඩුව ද දී තිබු බැවින් සිය ගම්පියසවූ වීර කැටිය බලා යාමටය. ඔහු එදින ආපසු උසාවියේ සිට සුපුරුදු පරිදි නවාතැනට නොපැමිණි නිසා ඔවුන් කෙසේ හෝ මේ බව සිය නිවසේ අයටද දැනුම් දී තිබුණි.මේ අතරතුර විජේදාස අතුරුදහන් වූ පුවත ඔහු සමග ඒ වාහනයේම රැගෙන ගිය කොළඹ රාජකීය විදුහලේ සිසුවෙකු වූ සමන් ගෙන් දැනගැනීමට හැකිව තිබුණි.
ඔහු අතුරුදහන්වූ බැවින් ඔහුගේ දෙමව්පියන් සිය හිතවතෙකුවූ එකළ රජයේ වගකිවයුත්තන් හොඳින් දන්නා හඳුනන නීතිඥ මයිත්‍රී ගුණරත්නයන්ගේ පියාණන් වූ හර්මන් ගුණරත්න මහතා දැනුවත් කර ඇත. ඔහු ඒ වනවිට ජේෂ්ඨ නීතිඥයෙකු ,පුවත්පත් කතුවරයෙකු ,හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුව සිටි ඩී .එස්. ගුණසේකර මහතාගේ .එස්.ගුණසේකරයන්ගේ කාර්යාලයේ යම් නීති කටයුත්තකට පැමිණි සිට බව කියවේ. හර්මන් ගුණරත්න මහතා වහා ඒ බව එවකට ජනාධිපති ලේකම් වරයා වූ වීරතුංග මහතා දැනුවත්කර කෙසේ හෝ ඔහුගේ ඉල්ලීම අනුව පහර ගෙන ගිය රාජකීය සිසුවා නිදහස් කර ගැන තිබු බව ප්‍රින්ස් ගුණසේකර මහතා දැනුවත් කර තිබුණි.ඔහු මේ බව දැනුවත්වීමත් සමග ලියනාරච්චි රඳවා ඉන්නා තැන ගැන හෝඩුවාවක් දැනගන්නට යෙදුනි.
මේ අතරතුර එවකට නීතිඥවරයෙකු ලෙස කටයුතු කරමින් සිටි වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඔහු තංගල්ලේ පොලිස් අධිකාරි කාර්යාලයට නීති කටයුත්තකට ගිය අවස්ථාවේ සිටිනු දැක තිබේ.මේ රඳවා ගැනීම සිදු කර තිබුණේ එවකට දකුණු පළාත් භාරව සිටි නියෝජ්‍ය පොලිස් පති වරයෙකුවූ ප්‍රේමදාස උඩුගම්පොල මහතාගේ උපදෙස් පිට තංගල්ලේ පොලිස් අධිකාරිවරයෙකු වූ ධර්මදාස කරවිට විසිනි.
ලියනාරච්චි සියසින් දුටුබව කියන මේ ආරංචිය ඔහු විසින් ලියනාරච්චි මුල් අවදියෙහි පුහුණුව ලැබූ ජනාධිපති නීතිඥ රංජිත් අබේසුරිය මහතාට හා ශ්‍රීලංකා නීතිඥ සංගමයේ සහකාර ලේකම්වරයෙකු ලෙස එවකට කටයුතුකළ හේමන්ත වර්ණකුලසුරියට වහා දැනුවත් කර තිබුණි.මේ ආරංචිය අපවෙත ගෙනාවේ එවකට ශ්‍රීලංකා නීතිඥ සංගමයේ ලේකම් වූ ජනාධිපති නීතිඥ උපාලි ගුණරත්න මහතා විසිනි. ඔවුන් වහා ක්‍රියාත්මකවී තිබුණි.
රංජිත් අබේසුරිය මහතා එවකට පොලිස් පති වරයා වූ අර්නස්ට් පෙරේරා හා ආරක්ෂක ලේකම්වරයාව සිටි සේපාල ආටිගල මහතුන් වෙත දුරකථනය පණිවිඩයකින් දැනුම්දී ඇත්තේ තංගල්ලේ රඳවාගෙන සිටින ඔහුගේ කනිෂ්ඨ නීතිඥ විජේදාස ලියනාරච්චි ව ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඔහුට කිසිදු කරදරයක් හිරිහැරයක් නොමැතිව නිදහස් කරන ලෙසය.
මේ සමගම විජේදසයන්ගේ සොහොයුරෙකුවූ චන්ද්‍රදාස ලියනාරච්චි මහතා සිය නීතිඥයාවූ දෙව්මි බණ්ඩාර මහතා සමග තංගල්ලේ පොලිසිය වෙත පැමිණ සිය සහෝදරයා අත්අඩංගුවට ගෙන සිටින බව ආරංචි වී ඇති බවත් ඔහු බැලීමට පොලිස් අධිකාරිවරයාගෙන් අවසර ඉල්ලා ඇත. ඔහුට පොලිස් අධිකාරි කරවිට පවසා ඇත්තේ සිය සහෝදරයා තමා භාරයේ සිටින බවත් ඔහු කොළඹ අළුත් කඩේ උසාවිය අසලදී අත් අඩංගුවට ගත් බවත් පසුව ප්‍රශ්න කිරීම සඳහා තංගල්ලට ගෙනආ බව තහවුරු කර තිබුණි.
ඔහු නිදහස් කරනලෙස කළ ඉල්ලීම් සඳහා නිසි පිළිතුරක් නොලද බැවින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය හා ප්‍රින්ස් ගුණසේකර ඇතුළු ජේෂ්ඨ නීතිඥවරුන් ඔහු හමුවට පමුණුවන මෙන් ඉල්ලමින් හබයාස් කොපස් ආඥාවක් නිකුත් කරන මෙන් ඉල්ලා කොළඹ අභියාචනා අධිකරණය වෙත නඩුවක් ගොනු කරනු ලැබුවේය.
මෙහි පෙත්සම්කරු වුයේ විජේදාසයන්ගේ බාප්පාවූ නුගේගොඩ පදිංචි ගැමුණු තිස්ස දහනායක මහතාය.වග උත්තරකරුවන් වුයේ ආරක්ෂක ලේකම් ,සේපාල ආටිගල,පොලිස්පති අර්නස්ට් පෙරේරා ,දකුණු පලාත භාර නියෝජ්‍ය පොලිස්පති පෙරේමදාස උඩුගම්පොල හා තංගල්ලේ පොලිස් අධිකාරිවරයා වූ කරවිටගේ ප්‍රේමදාස යන අයයි..මෙම පෙත්සමින් කියාසිටියේ සිය ඥාති පුත්‍රයා වූ නීතිඥ විජේදාස ලියනආරච්චි ඉහතකී වග උත්තරකරුවන් විසින් කොළඹ අධිකරණ සංකීර්ණය අසලදී පැහැර ගත් බව සඳහන් කරමින් ඔහු අධිකරණය හමුවට ඉදිරි පත් කරනමෙන්ය.
මෙම නඩුව 1988 සැප්තැම්බර් 2දා ටී.එන්.අබේවීර හා සරත් එන් ද සිල්වා අභියාචනා විනිසුරන් ඉදිරියේ ජේෂ්ඨ නීතිඥ ප්‍රින්ස් ගුණසේකර ප්‍රමුඛ නීතිඥ පිරිසක් මේ නඩුවට පෙනී සිටියේය.මෙම නඩුවට නීතිඥ කාංචන අබේපාල,මහින්ද රාජපක්ෂ ,හේමසිරි විතානාච්චි,චරිත ලංකාපුර යන නීතිඥයින් විශාල පිරිසක් පෙනී සිටියේය
. විජේදාස ලියනාරච්චි අධිකරණය ඉදිරියට පමුණුවන ලෙස ඉල්ලා ඉදිරිපත් කර තිබු හබයාස්කොප්‍රස් නඩුවේ පැමිණිල්ලෙන් කියාසිටියේ සිය රාජකාරි නිමවී සිය නිවස බලා යනවිට අලුත් කඩේ උසාවිය අසළදී පොලිසිය විසින් ඔහුබත අඩංගුවට පත්වූ බවය.තවද එමගින් කියාසිටියේ මෑත අවදියෙහිදී දකුණු පළාතේ ඇත අඩංගුවට පත් අය පොලිසිය හා හමුදාව විසින් කෘර ලෙස වැඩ හිංසනයට ලක් කර ති බවත්,ලියනාරච්චි ට එවැනි තත්වයකට පත්වන්නට ඇති බැවින් වහා වෙද්‍ය පරීක්ෂණයකට භාජනය කරණ ලෙසද ඉල්ලා තිබුණි.එනිසා මෙම අධිකරණය විශේෂයෙන් එම කරුණ පිලිබඳ සැලකිල්ලට භාජනය විය යුතුයි සඳහන් කොට තිබුණි.
ඔහුගේ ජිවිතයට අනතුරක් බොහෝ දුරට ඉඩකඩ ඇති හෙයින් වහා ඔහු මෙම අධිකරණය හමුවට පමුණුවන මෙන් ද පෙත්සම්කරු ඔහුගේ ජිවිතයට අනතුරක් බොහෝ දුරට ඉඩකඩ ඇති හෙයින් වහා ඔහු මෙම අධිකරණය හමුවට පමුණුවන මෙන් ද පෙත්සම්කරු වැඩි දුරටත් අධිකරණය හමුවේ ඉල්ලා සිටියේය.අභියාචනා අධිකරණය මගින් දෙනු ලැබ තීන්දුවේ පිටපත් එම අ ධිකරණයේ ලේකම්වරයා ගෙන් ලබාගෙන එහි පිටපත් එදිනම පෙත්සම්කරු වූ දහනායක මහතා විසින් පෞද්ගලිකවම පොලිස්පති හා ආරක්ෂක ලේකම් වරයාවෙත භාරදෙනු ලැබුවේය.එහෙත් එම තීන්දුව ප්‍රකාර කිසිදු පියවරක් ගැනීමට පෙර එදින (සැප්තැම්බර් 2 දා ) ලියනආරච්චි තංගල්ලේ සිට කොළඹට රැගෙනවිත් සපුගස්කන්දේ රඳවාගෙන තිබුණි යයි ඇතැම් වාර්තාවල සඳහන්ව තිබුණි.
ඔහුට ඇති අමානුෂික අන්දමින් පහර දීමේ හේතුව මත ඔහු ඉතා අසාධ්‍ය තත්වයකට පත්ව තිබු හෙයින් එදින රාත්‍රීයේදී ඔහු කොළඹ මහා රෝහලට ඇතුළු කරන ලදුව ඔහු ලද අභ්‍යන්තර තුවාලවල ප්‍රතිපලයක් වශයෙන් ඔහු මියගොස් තිබුණි.තිබුණි.
ඔහු මියගිය පුවත සැලවී තිබුණේ සැප්තැම්බර් මස 3 වනදා ය. නමුදු මේ පිලිබඳ බොහෝ කරුණු පසුව ඔහුගේ මරණ පරික්ෂණයේදී හා මහාධිකරණ නඩුවේදී වැඩිදුරටත් සඳහන් කිරීමට නියමිත බැවින් ඇතැම් කරුණු මෙහිදී කෙටියෙන් වාර්තාකරණ බව සැලකිය යුතුය.බොහෝ දෙනා විසින් අදාල නඩුවේ සාක්ෂි හෝ කරුණු පිළිබඳ වැඩි සැළකිල්ල නොගෙන සිය සටහන් ප්‍රකාශයට පත්කර තිබු හෙයින් එම කරුණු පිලිබඳ අනාවරණය නොවූ බව පෙනීයයි.
ඔහු මියගිය පුවත මුලින්ම සැළකර තිබුණේ සැප්තැම්බර් මස 3 වනදා උදෑසනදීය. ඒ පුවත ශ්‍රිලංකා නීතිඥ සංගමයේ සහකාර ලේකම් වූ හේමන්ත වර්ණකුලසුරිය මහතාට කිසිවකු විසින් දැනුම් දී තිබුණි.ඔහු ගේ නිවස පිහිට තිබුනේ කොළඹ මහරෝහල අසළ නොරිස් කැනල් පාරේ වූ අතර ඔහු හොර රහසේම කොළඹ රෝහලේ මෘත ශරීරාගාරයට ගොස් එහි තැන්පත් කර තිබු විජේදසයන්ගේ නිසළ සිරුර දැකගැනීමට අවස්ථාව සලසාගෙන තිබුණි.
මහාචාර්ය රවීන්ද්‍ර ප්‍රනාන්දු විසින් රචිත විජේදාස ලියනාආරච්චි මරණය පිලිබඳ ලියැවුණු පොතෙහි සඳහන් වන්නේ මේ මරණය පිලිබඳ එම මෘත ශරීරාගාරයේ ප්‍රධානියා හෝ කිසිවෙකු නොදැන සිටි බව වර්ණකුල සුරිය මහතා සඳහන් කල බවකි.ඒ අනුව මේ මෘත ශරීරය කිසිවෙකුට නොදැනෙන පරිදි එහි තැන්පත්කර තිබු අතර එය කිසිවකුට නොදැනෙන පරිදි එය රහසක් ලෙස සඟවා තබන්නට කටයුතු කල සෙයක් මින් පෙනී යන බවත්ය.
විජේදාසයන් මිය ගිය පුවත සැලවීමත් සමග මුළු මහත් නීති ඥ ප්‍රජාවගේ සිත් කම්පා වී ,සසල වූ බව නොකිවමනාය.මුළු මහත් හැමදෙනෙකුගේම මුවග රැඳුනේ මේ ඝාතනය සම්බන්ධ පුවතයි.රාජ්‍ය පාක්ෂිකයන් නිහඬවුවද ඔවුන් එක එල්ලේ ඒ පිලිබඳ හෝ එයට විරුද්ධව කරුණු දැක්විමක් නොකල අතර මෙය අවස්ථාවක් කර ගත් බොහෝ පිරිස් කරලියට පැමිණ විවිධ උද්ඝෝෂණවල සටන් පාඨ කියමින් පෝස්ටර් අළවමින් කටයුතු කරනු දක්නට් ලැබුණි. පොලීසිය මගින් විරෝධතා කොළඹ නගරය පුරා සැරිසැරීම මැඩපැවැත්වීමට කටයුතු කළේය.මේ අතර නීතීඥ සංගම් එකතුව රැස්වීම කිහිපයක්ම සිය විරෝධතාවයන් ප්‍රකාශ නිකුත්කරනු ලැබීය.
ශ්‍රීලංකා නීති ඥ සංගමය මේ අතර එහි විධායක සභාව රැස්වී තීරණ රැසක්ම රැගෙන තිබුණි.ඒ අනුව විජේදාසයන්ගේ මරණ පරීක්ෂණය සඳහා එයට පෙනී සිටීමට කටයුතු සැලසු කළේය. සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ එච්.එල්.ද සිල්වා මහතාගේ උපදෙස් මත මරණ පරීක්ෂණයට සංගමය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ , කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය විද්‍යාවේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජාත්‍යාන්තර කීර්තියට පත් රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතාට පෙනී සිටීමට යෝජනාකළ අතර ඒ සඳහා මහේස්ත්‍රාත් වරයාගෙන් අවසර ඉල්ලා ඉල්ලුම්පතක් ඉදිරිපත් කළේය. එම අවසරය ලැබීමෙන් අනතුරුව මහාචාර්යවරයා එහි මරණ පරීක්ෂණයට ඉදිරිපත්වී කටයුතු කරනු ලැබුවේය.
ජනතා විමුක්ති පෙරමුණ දකුණේ හා කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක රැසක මේසඳහා ශෝකය පලකිරිම පිණිස ,ඇඳිරි නිතිය ප්‍රකාශයට පත්කර තිබුණු අතර බොහෝ කඩ සාප්පු වසා තිබු බව පුවත්පත් වාර්තා වල සඳහන් විය. ලේක්හවුස් පුවත් පත්වල පළවුයේ මිට ඉඳුරාම වෙනස් පුවත් රැසක් වාර්තාකර තිබුණි.
තවත් කොටසක් මීළඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න.
නීතිඥ ශාන්ත සේනාධීර -කතෘ -ලංකා නිවුස් යුකේ.@
(එවකට කොළඹ නීතිඥ සංගමයේ ලේකම්)
කොටස් 4 කින් සමන්විත මෙම ලිපි පෙළ මා විසින් මෙහි පලකරනු ලැබුවේ 2021 ඔක්තෝබර් මස පටන්ගෙනය. මේ ලිපි හා සේයාරූප දැනට යු ටියුබ් හි මගේ කිසිදු අවසරයකින් තොරව ලබාගෙන පල කර ඇත .සත්‍ය කරුණු දැනගැනීමට කරුණාකර මේ ලිපි පෙළ කියවන්න.@