ළඟදී ම රියැදුරු බලපත්‍රයට ජාත්‍යන්තර පිළිගැනීමක්

0
29

ළඟදී ම රියැදුරු බලපත්‍රයට ජාත්‍යන්තර පිළිගැනීමක්
MAWBIMA LK NEWS
By Anura Balasooriya -ජූලි 19, 2025

ඉදිරියේදී විදෙස් රටවල් සියයකට ආසන්න සංඛ්‍යාවකට වලංගු වන ආකාරයේ රියැදුරු බලපත්‍රයක් හඳුන්වා දීමට කටයුතු කරමින් සිටින බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ ‘ඉරිදා මව්බිම’ට පැවසීය.

ඉදිරියේදී හඳුන්වා දීමට නියමිත “ඩිජිටල් රියැදුරු බලපත්‍රයත්” සමග ඊට ජාත්‍යන්තර වලංගුභාවයක් ලබාගත හැකි අයුරින් “වියානා සම්මුතියට” අත්සන් කිරීමට සාකච්ඡා කරගෙන යන බව ද ඔහු සඳහන් කළේ ය.

ඒ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය, ප්‍රවාහන අමාත්‍යාංශය අදාළ ආයතන සමඟ සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇති බවත් මේ දිනවල එහි ඉදිරි කටයුතු සිදුවන බවත් කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.

“ඩිජිටල් රියැදුරු බලපත්‍රය හඳුන්වා දීමත් සමග ඊට ජාත්‍යන්තර වලංගුභාවයක් ලබා දීම සඳහා එය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සකස් කිරීමට අවශ්‍ය නීතිරීති සම්පාදනය කිරීම, තාක්ෂණික පහසුකම් සැලසීම, මහජනතාව දැනුවත් කිරීම ඇතුළු සියලු කටයුතු ඉතා කෙටි කාලයක් තුළ කර අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා”

මේ සඳහා ප්‍රවාහන අමාත්‍යාංශය මඟින් ක්‍රියාකාරී සැලැස්මක් සකස් කර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත ලබා දී ඇති බව ද ඔහු පැවැසීය.

මේ සඳහා පාර්ලිමේන්තු අනුමැතිය හා ඉන්පසු කැබිනට් අනුමැතිය ගෙන විදේශ කටයුතු අමාත්‍යාංශය, නීතිපතිවරයා, නීති කෙටුම්පත් අංශය ඇතුළු අදාළ අනෙක් අංශවල අනුමැතිය ලැබීමෙන් පසු මේ සඳහා වන වියානා සම්මුතියට අස්සන් කෙරෙන බවත් ඒ සඳහා යම් කාලයක් ගත වන බවත් කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here