
Silumina lk Features
February 15, 2025
චන්දරේ අද අමෙරිකානුවන්ට සේවය සපයන්නකු පමණක් නොව, අමෙරිකානුවන්ට රැකියා සපයන ව්‍යවසායකයකු බවට පත් වී තිබේ. දිනකට ඔහුගේ සේවා ස්ථානයේ අලුත්වැඩියා වන වාහන ප්‍රමාණය සියය ඉක්මවා තිබේ. චන්දරේ පවසන්නේ තමා පැමිණි මේ ගමන මල් අතුරා, පාවඩ එළා, රතු පලස් මතින් ආ ගමනක් නොවන බසිය ජීවිතයේ මුහුණ දෙන අභියෝග පරදුවට තබමින් ධෛර්යය හා කුසලතාව පමණක්ම නොව, මනුෂ්‍යත්වය පෙරදැරිව ලෝකය ජය ගත් සුවිශේෂ චරිත කොතෙකුත් නම් මේ සමාජයේ අපට හමු වී ඇත. එවැනි චරිත ලෝකෙ කොහේ සිටියද, කුමන තැනක සිටියද, උපන් භූමියට අත් කර දී ඇත්තේ ඉමහත් ගෞරවයක් සහ අබිමානයකි.
ලොව බලවත්ම රාජ්‍යය වන අමෙරිකා එක්සත් ජනපදයේ වෙසෙමින් ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙන දුන් සුවිශේෂ චරිතයක් පසුගියදා අපට මුණගැසිණි. ඒ, උතුරු අමෙරිකාවේ මේරිලන්ඩ් ප්‍රාන්තයේ වෙසෙන ‘චන්ද්‍රසේකර බණ්ඩාර’ නම් වූ සුපිරි මෝටර් රථ කාර්මික ශිල්පියාය. මේරිලන්ඩ් ප්‍රාන්තයේ ශ්‍රී ලාංකිකයන් මෙන්ම අමෙරිකානුවන්ද ඔහු හඳුන්වන්නේ ‘චන්දරේ’ යනුවෙනි.
චන්දරේගේ උපන් ගම කුරුණෑගල පොල්ගහවෙලය. ඔහු පාසල් ගියේ පොල්ගහවෙල මධ්‍ය මහා විද්‍යාලයට සහ පොල්ගහවෙල බර්නාඩ් විද්‍යාලයටයි. පාසල් ගමන නිමා කර, අනෙකුත් ළමයින් මෙන් ඔහු වැඩි කාලයක් නිවෙසේගත කළේ නැත. තමන්ගේ මිතුරන් රජයේ රැකියා අපේක්ෂාවෙන් අධ්‍යාපනයේ නිරත වුවද චන්ද්‍රසේකරට අවශ්‍ය වුණේ පාසල් කාලය නිමා කළ විගස වෘත්තීය අධ්‍යාපනයට යොමු වීමටය.
“මම කුරුණෑගල තාක්ෂණ විද්‍යාලයට ඇතුළත් වෙනවා. මට ඒ සඳහා උදවු කරන්නෙ, කුරුණෑගල හිටපු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රන්ජන් ජයකොඩි මහතා. එහිදී මම මෝටර් කාර්මික විෂයය ඉගෙන ගන්නවා. අවුරුදු දෙකක් එහෙම රථවාහන කාර්මික වැඩ ඉගෙන ගන්නා විට කාර්මික විද්‍යාලයේ කැපීපෙනෙන චරිතයක් වෙන්න මට පුළුවන් වෙනව. විද්‍යාලයේ ගුරුවරුන්ගෙන් ලැබුණේ නොමඳ සහයක්.”
කුරුණෑගල කාර්මික විද්‍යාලයේ සාර්ථකව අධ්‍යාපනය නිමා කළ චන්ද්‍රසේකර ගෙදර ආර්ථික ප්‍රශ්නවලින් නිදහස් වීම සඳහා තමා උගත් දෙයින් ප්‍රයෝජනයක් ගන්නට කල්පනා කළේය. ඒ අනුව, මැදපෙරදිග රැකියාවකට යෑමට සූදානම් වන ඔහු මුලින්ම රැකියාවක් හොයාගෙන විදෙස්ගත විය.
“මම මුලින්ම ගියේ බහරේන්වලට. ඉන් පස්සේ ඩුබායි, දෝහ කටාර්, වගේ රටවලට යනවා. අනතුරුව ජෝඩානයට යනවා. එහිදී තවදුරටත් රථවාහන කාර්මික ශිල්පය ගැඹුරින් ඉගෙන ගන්නවා. වසර කිහිපයක් මැදපෙරදිග සේවය කිරීමෙන් පසුව මම මෙක්සිකෝවට යනවා. මෙක්සිකෝවේදී ඉගෙන ගන්නෙ වෙනම ක්ෂේත්‍රයක්. ඒ ජුකී මැෂින් කාර්මික ශිල්පය. අවුරුදු දෙයක් ජුකී මැෂින් වැඩ ඉගෙනගන්නවා. ඊට අදාළව රැකියාවකුත් මම හොයාගන්නවා. එහෙම හිටියට මට හැම වෙලේම හිතුණේ
මට උපරිම දක්ෂතාව තියෙන්නේ මෝටර් කාර්මික විෂයයට කියලා. ඔය අතරෙ තමයි මට මගේ ජීවන සහකාරිය හමු වන්නේ.”
ඇය මෙක්සිකන් ජාතික යුවතියකි. Maria Luz Vazquez නම් වූ තරුණිය සමඟ විවාහ වන චන්ද්‍රසේකර අලුත් ගමනක් ආරම්භ කරන්නේ ඉන් අනතුරුවය.
මෙක්සිකෝවේදිත් චන්දරේ නව තාක්ෂණය යොදාගෙන වාහන අලුත්වැඩියා කිරීමට ඉගෙනුම ලබයි. එහිදීත් චන්දරේ වාහන අලුත්වැඩියාවටට දක්ෂයකු බව එරට ජනතාව අතර ප්‍රසිද්ධ වෙයි. චන්දරේගේ දස්කම් දුටු මෙක්සිකෝවේ බොහෝ දෙනකු අමෙරිකාවට යෑමට චන්දරේට මඟ පෙන්වූහ. ඒ අනුව 1998දී අමෙරිකාවට පැමිණෙන චන්දරේ වාහන අලුත්වැඩියා කිරීමේ තමාගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සිහින මවයි. ඒ සිහිනය සැබෑ කරගැනීම පහසු නැති බවත්, දුෂ්කර ගමනක් බවත් අවබෝධ කරගත් චන්දරේ අමෙරිකාවේ විවිධ රැකියාවල යෙදෙයි. ඒ අනුව, කඩවල සේවය කිරීමෙන්ද, ගෑස් පිරවුම්හල්වල වැඩ කිරීමෙන්ද අතට සල්ලි ටිකක් හොයා ගන්නා චන්දරේ තම මිතුරකු සමඟ පොඩියට වාහන වැඩපොළක් පටන් ගනී. ඒ, මේරිලන්ඩ් ප්‍රාන්තයේ හයිට්ස්විල් ප්‍රදේශයේය.
අවුරුද්දක් දෙකක් ගත වන විට ව්‍යාපාරය සාර්ථක බව චන්දරේට දැනෙයි. ඔහුගේ සේවය පතා අමෙරිකාවේ සිටින ශ්‍රී ලාංකිකයන් මෙන්ම අමෙරිකානුවෝද චන්දරේ හොයා ගෙන එන්නට වූහ. චන්දරේට එන්න එන්නම වැඩ එන්න පටන් ගත්තේය. මෙසේ වැඩ ලැබෙන්නේ චන්දරේ වැඩක් කරන විට ඒක අවංකව සාධාරණ මිලකට කරන නිසා බවයි ඔහු කියන්නේ. මෙසේ වැඩ කරන අතරතුර චන්දරේ වාහන කාර්මික කටයුතු තනිවම පටන් ගැනීමට සැලසුම් කළේය. මුලින්ම සේවකයන් කිහිප දෙනකු ඔහු වැඩවලට යොදාගත්තේය. ඒ අනුව මේරිලන්ඩ්, හයිට්ස්ටිල් යන ප්‍රදේශයේ සේවකයන් කිහිප දෙනකු යොදාගෙන වැඩ පටන් ගන්නට ඔහු සමත් වේ. මෙසේ පටන් ගත් කටයුත්ත ටික දවසක් යන විට සාර්ථක බව හඳුනාගත් චන්දරේ, තවත් සේවකයන් කිහිප දෙනකු යොදවාගෙන සේවය පුළුල් කළේය. මේ වන විට ඔහු ළඟ සේවකයන් විසිපහක් තිහක් වැඩ කරති. විශේෂත්වය වන්නේ ඒ සියලු දෙනා අමෙරිකානුවන් වීමය.
එලෙස චන්දරේ අද අමෙරිකානුවන්ට සේවය සපයන්නකු පමණක් නොව, අමෙරිකානුවන්ටද රැකියා සපයන ව්‍යවසායකයකු බවට පත් වී තිබේ. දිනකට ඔහුගේ සේවාස්ථානයේ අලුත් වැඩියා වන වාහන ප්‍රමාණය සියය ඉක්මවා තිබේ. චන්දරේ පවසන්නේ තමා පැමිණි මේ ගමන මල් අතුරා, පාවඩ එළා, රතු පලස් මතින් ආ ගමනක් නොවන බවයි. එය ප්‍රතික්ෂේප වීම්, විවේචන, දෝෂාරෝපණ, ගැරහීම්, කකුලෙන් ඇදීම් ඇතුළු විවිධ දුෂ්කරතා, බාධක පසු කර ආ ගමනක් බව ඔහු පවසයි. ඔහු කියන්නේ තමා උපයන ආදායමෙන් කොටසක් ලංකාවට එවන්න අමතක නොකරන බවයි.
ඔහුට මෙවන් ගමනක් පැමිණීමට උපකාර කළ, ආශීර්වාද කළ බොහෝ දෙනා අතර තවත් සුවිශේෂ චරිතයක් සඳහන් කිරීමටද චන්දරේ අමතක කළේ නැත. උතුරු අමෙරිකාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක උපරතන නාහිමියන් දුන් ආශීර්වාදය හා මඟපෙන්වීම අමෙරිකාවේදී ව්‍යවසායකයකු ලෙස ශක්තිමත් වීමට තමාට විශාල පිටිවහලක් වූ බව චන්දරේ පවසයි.
ඔහුගේ මේ සාර්ථකත්වය පිටුපස ආදරණීය බිරිය Maria Luz Vazquez දෙන සහයද චන්දරේ සිහිපත් කළේය. දැන් ඇයද බුදුදහම වැලඳගත්, පිනට දහමට ළැදි කාන්තාවකි. ඔවුන්ට දැන් දියණියක් සහ පුතෙක්ද සිටිති. දරුවන් ඉපදුණේ අමෙරිකාවේ වුවද ඔවුන්ට සිංහල භාෂාව කියා දීමට චන්දරේ අමතක කළේ නැත. අද ඔහුගේ පුතු අමෙරිකාවේ හමුදා නිලධරයෙකි. දියණිය තවම විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබමින් සිටී. ඒ අතරතුරම ඇය පාසල් ගුරුවරියක් වේ.
තමා ආ ගමන ගැන චන්ද්‍රසේකර බණ්ඩාරට ඇත්තේ නිහතමානි සතුටකි. එදා කුරුණෑගල තාක්ෂණ විද්‍යාලයෙන් ආරම්භ කළ ගමන මෙතරම් දුරක් ඒමට හැකි වූයේ චන්දරේගේ අප්‍රතිහත ධෛර්යය නිසාමය. ලොව කොහේ සිටියද ඔහු තම මවුබිම අමතක කළේ නැත. ආර්ථික දුෂ්කරතා ඇති දරුවන්ට උපකාර කිරීමට චන්දරේ සහ ඔහුගේ බිරිය විශාල කැප කිරීමක් කරයි. එමෙන්ම ශ්‍රී ලංකාවේ බෞද්ධ විහාරස්ථානවලට උපකාර කිරීමටද චන්දරේ සහ ඔහුගේ බිරිය නිතැතින්ම උත්සාහයක යෙදෙති.
ඔහු කියන්නේ තමා කුමන ක්ෂේත්‍රයක නිරත වුවද, ඒ විෂයයේ පරතෙර දක්වාම ඉගෙනගැනීම අතිශය වැදගත් බවයි. විශ්වවිද්‍යාල අධ්‍යපනය නොලැබුවද, රජයේ රැකියාවක් අපේක්ෂා නොකළද, චන්ද්‍රසේකර බණ්ඩාර පැමිණි ගමන් මඟ බොහෝ දෙනකුට පරමාදර්ශයකි.(Silumina lk Features)