
ADA DERANA LK NEWS
21/03/25
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක පුහුණු ගුවන් යානයක් අද (21) උදෑසන වාරියපොල, මිනුවන්ගැටේ ප්‍රදේශයට කඩාවැටී ගිනිගැනීමට ලක්විය.
අනතුර සිදුවූ අවස්ථාවේ එහි සිටි නියමුවන් දෙදෙනා ආරක්ෂිතව ඉන් ඉවත් වී තිබූ අතර එක් නියමුවෙකු ගොඩබැසීමේදී සුළු තුවාල ලබා තිබුණි.
ප්‍රධාන පුහුණු උපදේශකවරයා මෙලෙස ගොඩබෑමේදී විදුලි රැහැනක ගැටී ඇති අතර එහිදී ඔහුට තුවාල සිදුවී ඇත.
පසුව ප්‍රදේශවාසීන් එක්ව සුවසැරිය ගිලන් රථයකින් ගුවන් නිලධාරීන් දෙදෙනාව කුරුණෑගල රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබුණි.
ගුවන් යානයෙන් ඉවත්වූ ගුවන් නියමුවන් දෙදෙනා පැරෂුට් ආධාරයෙන් මිනුවන්ගැටේ ප්‍රදේශය ආසන්නයේ පිහිටි අවුලේගම, සුන්දරගම විද්‍යාලය අසලට මෙලෙස ගොඩබැස තිබුණි.
කෙසේවෙතත් යානය අනතුරට ලක්වීමට හේතුව මෙතක් අනාවරණ වී නොමැත.
මෙලෙස අනතුරට ලක්වී ඇත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් K-8 වර්ගයේ උසස් පුහුණුවීම් සඳහා යොදාගන්නා ප්‍රහාරක ගුවන් යානයකි.
යානය පුහුණු පියාසැරියක් සඳහා අද උදෑසන 7:27ට කටුනායක ගුවන්තොටුපොළින් ගුවන්ගත කර තිබුණි.
ඒ ප්‍රධාන පුහුණු උපදේශකවරයෙකු හා පුහුණු ගුවන් නියමුවකු සමගිනි.
යානය අනතුරට ලක්වී ඇත්තේ උදෑසන 7.55ට පමණ වාරියපොල ප්‍රදේශයට ඉහළින් පියාසර කරමින් තිබියදීය.
යානය කඩාවැටීමෙන් සම්පූර්ණයෙන් ගිනිගෙන විනාශයට පත් විය (Hasitha Wijewardena )