විජේදාස ලියනාරච්චි ඝාතකයෝ නිදැල්ලේ.

0
46

විජේදාස ලියනාරච්චි

ඝාතකයෝ නිදැල්ලේ.

*******************

විජේදාස ලියනාරච්චි නම් සැබෑ මානව හිතවාදී නීතිඥයා ඝාතනයකර වසර 36ක් ගතව තිබේ. අපරාධකරුවෝ තවමත් නිදැල්ලේ පසුවෙති. මෙරට නීතිය හමුවේ ඔහුගේ මරණයට සාධාරණය හා යුක්තිය ඉටු වූයේ නැත. අවම වශයෙන් ඔහු ඝාතනය කළේ ඇයි? ඊට හේතුව කුමක්ද? ඝාතනය කළේ කාගේ වුවමනාවටද? විජේදාසගේ ඝාතනය පිටුපස සිටි සැබෑ මිනීමරුවෝ කවරහුද? මේ ප්‍රශ්න සියල්ලටම උත්තර සොයා ගත යුතු කාලය එළඹ තිබේ.

විජේදාස ලියන ආරච්චි 1951 ජනවාරි 14 දින උපන්නේ රුහුණු මාගම්පත්තුවේ වීර කැටියේ බුද්දියගම දීය. විජේදාස පවුලේ හත්වන දරුවාය. ඔහු අධ්‍යාපනය ලැබුවේ වීරකැටිය මධ්‍ය මහා විද්‍යාලයෙනි. අපොස සාමාන්‍ය පෙළ ඉහළින් සමත් විජේදාස ගාල්ලේ රිච්මන්ඩ් විද්‍යාලයට ඇතුළත් විය. අපොස උසස් පෙළ විභාගය සමත් වුවත් සරසවි වරම් නොලද ඔහු 1972 දී ගුරු වෘත්තියට පිවිසියේය. අනතුරුව හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලංකා ගුරු සංගමයේ සංවිධායක ලෙස කටයුතු කළේය.

එවකට ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් වූ දයා වන්නි ආරච්චි, පියදාස රණසිංහ ආදීන් වීරකැටිය මධ්‍ය විද්‍යාලයේ ඔහුගේම පන්තියේ සගයෝවූහ. ජවිපෙ සමග සම්බන්ධ වූ විජේදාස , රෝහණ විජේවීර සමඟ උරෙන් උරගැටෙමින් දකුණුු පළාතේ දේශපාලන රැස්වීම් දහස් ගණනක් ඇමතුවේය. ඔහු අමතන රැස්වීම් බැලීමට තරුණයින් රොද බැඳ ගත්හ. හාස්‍යය පිරි ඔහුගේ ගැමි වදන් දකුණේ ජනතාවට අමා පැන් විය. ඔහු 1980 සංවර්ධන සභා මැතිවරණයට ඉදිරිපත් වූයේ හම්බන්තොටට දිස්ත්‍රික්කයෙනි. ඔහු ප්‍රතිවාදීන්වූ එජාපයේ දොස්තර සිරිල්ලාටත්. පොදු පෙරමුණේ මහින්ද රාජපක්ෂලාටත්. මුහුණ දෙමින් පියසේන රාමනායක, විජිත රණවිර ආදීන් සමග ඡන්දයක් නොව යුද්ධයක් කළේය.

1982 ජනාධිපතිවරණය පැවති සමයේ.

ලියුම්කරු මොනරාගල ජවිපෙ දිසා ලේකම් වශයෙන් කටයුතු කළේය. ජනාධිපති අපේක්ෂක රෝහණ විජේවීරගේ ප්‍රචාරක රැලි තුනක් වැල්ලවාය, මොණරාගල සහ බිබිල නගරවල එකම දිනයක හවස් වරුවේ

පවත්වන්නට සංවිධානය කරන්නට අපට සිදු විය. මොනරාගල සිට බිබිලට සැතපුම් 22කි. විජේදාස මොණරාගල රැලියේ කතා කිරීමෙන් පසු ඔහුත් රැගෙන වහාම බිබිල රැස්වීමට යා යුතු විය. අපට ගමන පිටත් වී වැඩිදුරක් යන්නට නොලැබිණි. කැටපිලර් යන්ත්‍රයකින් මාර්ගය දෙපස ඉලූක් සූරා දැමීම නිසා 18 සැතපුම් කණුවේ සිට මැදගම දක්වා පාර මඩ ගොහොරුවක් වී තිබිණ. 20 කණුවේදී යතුරුපැදිය පෙරළී යාමෙන් අප දෙදෙනා මඩ ගොඩේ ඇද වැටිණ. කානුවට වැටී සිටි විජය දාස හිසඔසවා

“මහත්තයෝ ඔහේට තුවාල දැයි”

මගෙන් ඇසුවේය.

ඒ වන විටත් ඔහුගේ දන හිස ලෙලිගොස් ලේ ගලමින් තිබිණ. ඒ විජේදාසගේ හැටිය. මඩ නාගෙනම රැස්වීමේ කතා කළ විජේදාස තුවාල වලට බෙහෙත් දමා ගත්තේ රැස්වීම අවසන් වී බිබිලේ මදුරු විජේගේ නිවසට ගිය පසුවය.

ජනාධිපති ජේ ආර් ජයවර්ධන විසින්

1983 ජනතා විමුක්ති පෙරමුණ තහනම් කිරීමෙන් අනතුරුව නීති ප්‍රවේශයට පෙනී සිටි විජේදාස එයින් සමත් ව 1984 දී කොළඹ නීති විද්‍යාලයට ඇතුළත් විය. ජනාධිපති ජයවර්ධනගේ ආණ්ඩුව රටම අමු සොහොනක් බවට පත් කරමින් සිය ගණන් තරුණයින් මහ මග මරා දමන

වකවානුවේ විජේදාස ලියනාරච්චි

නීතිඥයෙකු ලෙස අගවිනිසුරු හමුවේ දිවුරුම් දුන්නේය. ඔහු නීතිඥ වෘත්ති යෙහි කටයුතු ආරම්භ කළේ ජේෂ්ඨ නීතිඥ රංජිත් අබේසූරිය යටතේය.

කොළඹ අලුත් කඩේ අධිකරණ සංකීර්ණයට නොදුරින් පිහිටි රජිත් අබේසූරිය මහතාගේ කාර්යාලය දිවයිනේ නොයෙක් පෙදෙස් වලින් පැමිණි ස්වකීය දරුවන් අතුරුදන්වූ දෙමාපියන්ගෙන් පිරී පැවතිණ. අධි නීතිඥ ප්‍රින්ස් ගුණසේකරගේ සභාපතිත්වයෙන් පැවති

මානව හිමිකම් සංවිධානයේ කටයුතු කළ නීතිඥයින් වූයේ කංචන අබේපාල, චරිත ලංකාපුර සහ විජේදාසලියනාරච්චි තිදෙනාය. චරිත සහ කාංචන දෙදෙනාම නොහඳුනන තුවක්කුකරුවන්ගේ ගොදුරු වූහ.

උදේ වරුවේ අධිකරණයේ හබයාස්කෝපුස් නඩු ගොනුකරන විජේදාස සවස් වරුවේ බොහෝ රෑබෝ වනතුරුම රංජිත් අබේසූරිය මහතාගේ උපදෙස් පරිදි නඩු පිළියෙළ කිරීමේ කටයුතුවල නියැලිණි. දක්ෂ නීතිඥවරයකු ලෙස විජේදාස ලියනාරච්චිගේ මතුවීම හම්බන්තොට සාම්ප්‍රදායික දේශපාලන නායකත්වය දුටුවේ ඔවුන්ට එල්ල වන අනාගත අනතුරක් ලෙසිනි. ඔහු සතුරන්ගේ ඉලක්කයක් බවට පත්වන බව විජේදාස දැන සිටියේ නැත.

ඒ අවිචාර සමයේ විවිධ ඉලක්ක ඔස්සේ ප්‍රාදේශීය දේශපාලකයින් විසින් තමන්ට අනාගතයේදී තර්ජනයක් විය හැකි පුද්ගලයින් පැහැරගෙන ගොස් මරා දැමීම සාමාන්‍ය සිදුවීමක් බවට පෙරලෙමින් තිබිණ. විජේදාස පැහැරගෙන තංගල්ලට රැගෙන එන ලෙස ගිරුවාපත්තුවේ දේශපාලන බලධාරියෙකුගෙන් දකුණු පළාත භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රේමදාස උඩුගම්පොළට නියෝග ලැබෙන්නේ ඒ අනුවය. කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණය අසලදී 1988 අගෝස්තු 25 දින සවස නොහඳුනන පිරිසක් විසින් විජේදාස පැහැර ගන්නා ලදී.

පසුව හෙළි වූයේ මෙම පැහැර ගැනීම සිදුකර තිබුණේ තංගල්ල පොලිස් අධිකාරී කරවිටගේ ධර්මදාස මෙහෙයවූ පොලිස් කණ්ඩායමක් විසින් බවය. නුගේගොඩ ප්‍රදේශයේ විජේදාස නතර වීසිටි බෝඩිමට ඔහු සිරිත් පරිදි නොපැමිණීම නිසා නිවැසියෝ අධි නීතිඥ රංජිත් අබේසූරිය මහතාටත්, විජේදාසගේ ගමටත් විජේදාස ගැන තොරතුරක් නැති බව දන්වා ඇත. ඒ වන විටත් නීතිඥයින් කිහිප දෙනෙකු නොහඳුනන තුවක්කු කාරයින්ගේ ගොදුරු බවට පත්ව තිබූ නිසා අබේසූරිය මහතා බෙහෙවින් කලබල විය. ඔහු වහාම සිය කනිෂ්ඨ නීතිඥයාගේ අතුරුදහන් වීම ගැන පොලිස්පති අර්නස්ට් පෙරේරා සහ ජාතික ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් සේපාල ආටිගල දැනුවත් කළේය. පොලිස්පතිවරයා ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් වන්නේ මෙසේය.

“1988 අගෝස්තු 29 උදේ 9.00 ට ආරක්ෂක ලේකම් විසින් නීතිඥ විජේදාස ලියනා රච්චි නමැත්තකු අත්අඩංගුවට ගෙන තිබෙනවාද කියා විමසීය. මහ කොළඹ ප්‍රදේශයේ පොලිස් ස්ථානයකින් එවැනි අත්අඩංගුවට ගැනීමක් සිදුව නැති බව ස්ථිරව දැන ගත හැකි විය. එදින 9.20ට තොරතුරු ලැබුණා, අදාළ තැනැත්තා තංගල්‍ලේ අත්අඩංගුවේ සිටින බව. මම වහාම මේ සම්බන්ධව නියෝජ්‍ය පොලිස්පති ප්‍රේමදාස උඩුගම්පොළගෙන් විමසීමක් කලා එවැනි අත්අඩංගුවට ගැනීමක් සිදුවී නැති බව ඔහු දැන් වූවා.

තංගල්ල පොලිස් අධිකාරී කරවිටගේ ධර්මදාසගෙන් මේ ගැන ප්‍රශ්න කර විට විජේදාස ලියනාරච්චි අත්අඩංගුවට ගත් බව ඔහු නිල නොවන ආකාරයෙන් දැනුම් දුන්නා. 1988 අගෝස්තු 31 බදාදා දින ජාතික ආරක්ෂක ලේකම් සේපාල ආටිගල විසින් නියෝජ්‍ය පොලිස්පති උඩුගම්පොලට දැනුම් දුන්නා නීතිඥ විජේදාස ලියනාරච්චිගේ ආරක්‍ෂාව සහතික කරනලෙස.

එදිනම තංගල්ලට දැනුම්දුන්නා නීතිඥවරයා කොළඹට ගෙනෙන ලෙස ඔහු කැලණියේ සපුගස්කන්දේ පොලිස් අධිකාරී ඩග්ලස් පීරිස් බාරයේ පවතින. විශේෂ පොලිස්‌ ඒකකයට බාර දෙන ලෙස

කර්මාන්ත ඇමති රනිල් වික්‍රමසිංහ 29 බදාදා දවහල් 12.00ට දැනුම්දුන්නා. 1988 අගෝස්තු 31 නියෝජ්‍ය පොලිස්පති උඩුගම්පොළ දැනුම් දුන්නා, සැකකාර නීතිඥවරයා අසනීප තත්ත්වයේ පසුවන නිසා එදින කොළඹ ගෙන එන්නේ නැතිි බව.

නියෝජ්‍ය පොලිස්පති උඩුගම්පොළ බාරයේ පැවැති මාතර විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂක කරුණාරත්න විසින් සැප්තැම්බර් 01 රාත්‍රි 11.00 ට කැලණිය සපුගස්කන්ද සහකාර පොලිස් අධිකාරී ඩග්ලස් පීරිස් බාරයේ පැවැති විශේෂ විමර්ශන අංශයට නීතිඥවරයා භාරදී තිබුණා. “

විජේදාස අතුරුදන් බව දැනගත් ඔහුගේ සහෝදර චන්ද්‍රදාස ලියනාරච්චි කොළඹ පැමිණි අතර ඔහු තංගල්ලට ගෙන ගිය බව කොළඹදී ආරංචිය වූවිට නැවත වීර කැටියට පැමිණ තිබේ. විජේදාසගේ නිවස ඉදිරිපිට තංගල්ලේ ප්‍රකට නීතිඥයකුවූ දැවුමි බණ්ඩාර පදිංචිව සිටී.

විජේදාස ඔහුත් කැටුව තංගල්ල පොලිසියටත් පොලිස් අධිකාරී කාර්යාලයටත්, අනතුරුව පාළු ස්ථානයක පිහිටි පොලිස් අධිකාරී ධර්මදාස කරවිටගේ නිල නිවසටත් ගොස් විජේදාස පිළිබඳව විමසූවේය.

ඒ වන විට විජයදාසත් අඩංගුවට ගෙන දින 6ක් ගත වී තිබුණි.

නීතිඥ දැවුමි බණ්ඩාර තමන් පැමිණි බව දැන්වූ විට පාලු ස්ථානයක පිහිටි එම නිවසේ සිට පොලිස් අධිකාරී ධර්මදාස කරවිට සහ උප පොලිස් පරීක්ෂක

වඩු තන්ත්‍රිගේ හරිසිංහ මෙන්ඩිස් ආලින්දයට පැමිණියහ. ඔවුන් දෙදෙනා අධික ලෙස බීමත්ව සිටින බව පෙනිණ.

” මේ මිනිහා කට හොල්ලන්නේ නැහැ අපි සෑහෙන්න උත්සාහ කළා වචනයක් ගන්න බැරි වුණා.”

යනුවෙන් දෝස්මුරයක ස්වරූපයෙන් කියා ඇත. විජයදාසගේ ජීවිතය දැඩි අවදානම් තත්ත්වයක පවතින බව ඔවුන් දෙදෙනාට වැටහී තිබේ.

විජයදාස අධිකරණයට ඉදිරිපත් කරනවාදැයි නීතිඥ බණ්ඩාර විමසා ඇත.

“නැහැ අයි. ජී. පී. ඕඩර් එකක් දීලා තියෙනවා කොළඹට එවන්න කියලා අපි කොළඹට යවනවා” පොලිස් අධිකාරි කරවිටගේ ප්‍රකාශයෙන් බලාපොරොත්තු සුන් කරගත් ඔවුන් දෙදෙනා ආපසු පැමිණ ඇත. එදින පාර්ලිමේන්තුවේදී ජාතික ආරක්ෂක ඇමති ඇතුළත් මුදලි ප්‍රකාශ කර තිබුණේ විජේදාස ලියනාරච්චි සැප්තැම්බර් 3 කොළඹට ගෙන එන බවය.

එදින විජේදාසගේ පියා සහ අයියා

නැවත කොළඹ පැමිණ තිබෙන්නේ නීතිඥ බණ්ඩාරගේ මෝටර් රථයෙනි. තංගල්ල උසාවියේ නඩු තිබෙන නිසා ඔහු

පැමිණී නැත. විජයදාසගේ ප්‍රශ්නයට උදව් කිරීමේ වරදට දඬුවම් ලෙස කෙටි කලකට පසු නීතිඥ දැවුමි බණ්ඩාරද ඝාතනය කරන ලදී.

කොළඹට පැමිණි ඥාතීන්ට දැනගන්නට ලැබී තිබෙන්නේ විජේදාස ලියනාරච්චිගේ මරණ පරීක්ෂණය පුංචි බොරැල්ලේ පොලිස් මෘත ශරීරාගාරයේ පැවැත්වෙන බැවින් එහි පැමිණ මෘත ශරීරය හඳුනා ගන්නා ලෙසය.

පසු දින එනම් සැප්තැම්බර් 4 වැනිදා උදේ නීතිඥ විජයදාස ලියනාරිච්චිගේ මරණ පරීක්ෂණය පවත්වන ලදී කොළඹ නියෝජ්‍ය අධිකරණ වෛද්‍ය නිලධාරී ලලන්ත ද අල්විස් එය සිදු කළේය.

කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ වාර්තා කර තිබුණේ සැප්තැම්බර් 2 වෙනිදා රාත්‍රී 11ට සපු ගස්කන්ද පොලිසිය මගින් රෝහල් ගත කළ විජේදාස ලියනාරච්චි නැමති අය සැප්තැම්බර් 3 වෙනිදා අලුයම 12.30ට මියගිය බවය.

මරණ පරීක්ෂණය ආරම්භ වූයේ මරණකරුගේ පියා වන ඇල් ඒ ඩී ජුවානිස් අප්පුහාමි සහ සහෝදරයා වූ

චන්ද්‍රදාස ලියනාරච්චි විසින් හඳුනා ගැනීමෙන් පසුවය. මළ සිරුරේ ලේ තැවරුණු දුඹුරුපාට සරමක් පමණක්

තිබී ඇත.

අධිකරණ වෛද්‍ය නිලධාරී ලලන්ත අල්විස්ගේ වාර්තාවේ සඳහන් වන අන්දමට මළ සිරුරේ බාහිර තුවාල 100ක් කි. එම තුවාල පිළිබඳව පැහැදිලි විස්තර වාර්තාවක් ඔහු විසින් ඉදිරිපත් කර තිබුණි. ශරීර අභ්‍යන්තරයේ තුවාල පිළිබඳව වෙනම සටහනක් තබා ඇත. ඉල ඇට 16 ක් කැඩී ඇති බව එහි සඳහන් වේ. පපුවේ වම් කුහරයේ ලේ පැහැයට හුරු දියර අවුන්ස 16 ක් තිබී ඇත. දකුණු පෙනහැල්ල මුළු මණින්ම තැලී ඇති අතර වම් පෙනහැල්ලේ අඩක් තැලී ඇත. මුත්‍රාශයේ ඉදිරි කොටස තැලී ඇත.

වකුගඩු සුදු මැළි වී ඉදිමී තිබූ අතර මැඩැල්ලා නම් පෙදෙසේ ලේ පිරී තිබී ඇත. මරණයට හේතුව ලෙස අධිකරණ වෛද්‍යවරයා සඳහන් කරන්නේ මොට ආයුධයකින් පහරදීමෙන් සිදු කළ බහු විද තුවාල හේතුවෙන් හා අභ්‍යන්තර තුවාල වලින් ලේ ගැලීම සහ කම්පනය නිසා මරණය සිදුවී ඇති බවය.

එදින කටයුතු අවසන් වීමෙන් පසු දේහය අවමංගල්‍ය කටයුතු සිදු සිදු කරන මල් ශාලාවකට භාරදෙන ලද අතර පසුදින උදෑසන දේහය භාර ගැනීම පිණිස අධිකරණය හමුවට පැමිණෙන ලෙස විජයදාසගේ පියාට දැනුම් දෙන ලදී. පසුදින එනම් සැප්තැම්බර් 05 දේහය බාර ගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙත ගෙන යන්නටත් එහිදී නීතිඥවරුන් හා නීති විද්‍යාල ශිෂ්‍යන්ගේ ආචාරය පුද කරන්නටත්, දේහය රැගත් රිය පෙරහර අනතුරුව වීරකැටිය දක්වා ගමන් කරන්නටත්, කටයුතු සංවිධානය කෙරිණ.

සියල්ලන් විසිර ගියේ කළමනා සියල්ල සම්පාදනයෙන් පසුවය. සැප්තැම්බර් 6 වෙනිදා උදෑසන නීතිඥ සංගමයේ නිලධාරීන් මල්ශාලාව වෙත පැමිණි විට අසන්නට ලැබුණේ අලුයම

3.00 ට පමණ පැමිණි පිරිසක් මෘත දේහය රැගෙන ගිය බවය. එසේ පැමිණි පිරිස ආරක්ෂක අංශවල අය බැවින් මල් ශාලාවට කළ හැකි දෙයක් නොතිබූ බව ඔවුන් පවසා තිබුණි. හිස් පෙට්ටියක්

අලුත් කඩේට රැගෙන ගිය නීතිඥයෝ

ඊට අවසන් ගෞරව දැක්වූහ. එය අතිශය හැඟීම්බර අවස්ථාවක් වූයේය.

නීතිඥ විජේදාස ලියනාරච්චි මරා දැමීමට එරෙහිව බුර බුරා නැගෙන ජනතා කෝපයට රජය බිය විය. දේහය රිය පෙරහරකින් වීර කැටියට ගෙන ගියහොත් ආණ්ඩුවට විරුද්ධව ජන රැල්ලක් නිර්මාණය වෙතැයි බිය වූ රජය සාමාන්‍යයෙන් කරන පරිදි දේහය විනාශ කරන්නට තීරණය කළත් එය වැළකී ගියේ පාර්ලිමේන්තු විපක්ෂයේ මැදිහත්වීම සහ නීතිඥ සංගමය මැදිහත්වීම නිසාය.

ආණ්ඩුව පිස්සෙක් ලෙස හැසිරෙන්නේ මන්දැයි අධිනීතිඥ ප්‍රින්ස් ගුණසේකර ජනාධිපතිවරයාගෙන් සෘජුවම ප්‍රශ්න කර තිබුණි. ඒ වන විටත් වීරකැටියේ බුද්ධියගම විජේදාසගේ නිවසට ජනයා රොක් වෙමින් සිටියහ. සැප්තැම්බර් 05 වෙනිදා පස්වරුු 5.00 ට වීර කැටිය මධ්‍ය මහා විද්‍යාලයේ ක්‍රීඩාංගනයකට හෙළිකොප්ටරයක් පැමිණියේය. ඒ වන විටත් පොලිස් වාහන කිහිපයක් එහි ළඟා වී තිබුණි. ගුවනින් ගෙන එන ලැබූ දේහය එදින හැන්දෑවේ පොලිසිය විසින් විජේදාසගේ නිවසට බාරදී තිබුණි. අවසන් කටයුතු පසුදින අති විශාල ජනකායක් මධ්‍යයේ සිදු විය.

පොලිස් අත්අඩංගුවේදී මිය ගිය විජේදාස ලියන ආරච්චිගේ මරණ පරීක්ෂණය සැප්තැම්බර් 15 වැනි දින කොළඹ මහාධිකරණ විනිසුරු එච් ඩබ්ලිව්. සේනානායක හමුවේ පැවැත්විණ.

රජයේ නීතිඥ කාන්තිලාල් කුමාර සිරි නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණයට සහාය විය. නීතිඥ ප්‍රින්ස් ගුණසේකර ප්‍රමුඛ නීතිඥවරුන් කණ්ඩායමක් ලියනාරච්චි මහතාගේ ඥාතීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටියහ.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් ජනාධිපති නීතිඥ රංජිත් අබේසූරිය පෙනී සිටියේය.

පොලිස් පරීක්ෂක රංජිත් වික්‍රමසිංහ මරණ පරීක්ෂණයේදී මෙසේ සාක්ෂි දුන්නේය.

මා පොලිස් අධිකාරි ඩග්ලස් පීරිස් භාරයේ පැවති සපුගස්කන්ද විශේෂ ආරක්ෂක සම්බන්ධීකරණ ඒකකය භාරව සිටියා.

1988 සැප්තැම්බර් 01දා තංගල්ලේ සිට සැකකාර නීතිඥ මහතෙකු ගෙන එන බවත් ඔහු භාරගෙන හොඳින් බලා ගන්නා ලෙසත් පොලිස් අධිකාරි ඩග්ලස් පීරිස් මට නියෝග කළා. රාත්‍රියේ 11.00ට පමණ පොලිස් පරීක්ෂක කරුණාරත්න සැකකරු වාහනයකින් ගෙනාවා. ඔහු පොලිස් වාහනයෙන් බැස සෙමෙන් ගමන් කළා. ඔහු ගමන් වෙහෙස නිසා තෙහෙට්ටුවට පත්ව සිටින

ආකාරයක් මා දුටුවා. ඔහු මගෙන් පැනඩෝල් පෙති දෙකක් ඉල්ලුවා. පසුව සැකකරුගේ ආරක්ෂාව ජයවීර සහ රත්නායක යන පොලිස් කොස්තාපල්වරුන්ට බාර දුන්නා.

පොලිස් කොස්තාපල් ජයවීර.

සැප්තැම්බර් 02 අලුයම 3.20ට මා පළමු සටහන යෙදුවා. 05.20ට දෙවැනි සටහන යෙදුවා. ඒ වන විට සැකකරු ඇඳේ ඉඳගෙන සිටියා. ඔහු නින්දේ සිටියදීත් කෙඳිරි ගානවා ඇසුණා. සැප්තැම්බර් දෙක අලුයම 3.20 ට මා පළමු සටහන යෙදුවා 5.20ට දෙවැනි සටහන යෙදුවා. ඒ වන විට සැකකරු නිදාගෙන සිටියා ඔහු නින්දී සිටියදීත් කෙඳිරි ගානවා ඇසුණා. මොකද අමාරුව මොනවත් ඕනදැයි මා ඇසුවා. මොනවත් බොන්න තිබුනොත් හොඳයයි ඔහුු කිව්වා. අපට බොන්න ගෙනා කෝපි උණු වතුර බෝතලයක තිබුණා. එයින් ටිකක් දුන්නා සැකකරු කෝපි ටිකක් පානය කළා.

කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ වෛද්‍ය සමුද්‍රා තරංගනී කත්‍රි ආරච්චි සාක්ෂි දෙමින් පැවසුවේ පොලිස් පරීක්ෂක වික්‍රමසිංහ විසින් රෝහලට බාර දුන් විජේදාස ලියනාරච්චි නැමති රෝගියා හදිසි අනතුරු අංශයට ඇතුලත් කරන විටත් අසාධ්‍ය තත්ත්වයේ පසුවූබවය.

වෛද්‍ය සමුද්‍රා තරංගනී.

1988 සැප්තැම්බර් 02 රාත්‍රී 11.30 ට රෝහලට ඇතුළු කරන විටත් විජේදාස ලියනරච්චි නැමති රෝගියා සිහි විකල්ව අඩ සිහියෙන් සිටියේ. ශරීරගත රුධිරය ඉතා අඩු මට්ටමක පැවතියා. රුධිර පීඩනය බිංදුවටම බැහැලා තිබුණේ නාඩිගමනය දුර්වල මට්ටමක තිබුණා. පපුවේ වම් පස තැල්මක් දුටුවා. හුස්ම ගැනීම අපහසුවෙන් ඔහු දැඟලුවා. වෙනත් බාහිර තුවාල ගැන පරීක්ෂණ පැවැත්වීමට සුදුසු තත්ත්වයක රෝගියා සිටියේ නැහැ. ඔහුට වහාම ප්‍රතිකාර කළ යුතුව තිබුණා තිබුණා. ඒ නිසා රෝගියාව ලේ දෙනතුරුවත් ප්‍රමාද නොකොට වහාම දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කළා. එහෙත්ම අලුයම 12.55 ට ඔහු මරණයට පත්වුණා.

උදේනි සමන් කුමාර

Like

Comment

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here