
වායු දූෂණය උග්‍ර වී දිල්ලිය ගෑස් කුටියක් වෙයි!
DIVAINA LK NEWS
චතුර පමුණුව
November 7, 2023
වායු දූෂණය ඉතා දැඩිවීම නිසා දිල්ලි නුවර ගෑස් කාමරයක් බවට පත්ව තිබේ.
ඊයේ (6 දා) පෙරවරුවේ දිල්ලියේ වායු දූෂණ දර්ශකය 412 ක් ලෙස සටහන්ව තිබිණි. මෙය ඉතා නරක තත්ත්වයක් ලෙස සලකනු ලබන අතර කිසිවකුට නිවසින් බැහැරව ක්‍රියාකාරකම්වල නොයෙදෙන ලෙස දැනුම් දී ඇත.
ඊයේ පෙරවරුවේ ඇතැම් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ දිල්ලියේ අරුන් ජෙට්ලි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා – බංග්ලාදේශ ලෝක කුසලාන තරගය අවලංගු විය හැකි තත්ත්වයක් මතුව ඇති බවයි. කෙසේ නමුත් දහවල් කාලය වෙද්දී වායු දූෂණ තත්ත්වය තරමක් යහපත් විය.
ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ එරට අගනුවර අඛණ්ඩව හත්වන දිනටත් විෂ සහිත මීදුමකින් වැසී ගොස් තිබුණු බවයි. මේ අයහපත් වායු දූෂණ තත්ත්වය නිසා දිල්ලියේ සියලු පාසල් නැවත දැනුම් දෙනතුරු වසා දමා ඇත.