
වසර 16කට පසු දළදා ප්‍රදර්ශනයක්: ජනපති ඉල්ලීමට මහ නාහිමිවරු එකඟ වෙති
MAWBIMA LK NEWS
By K. L. Suraweera – Kandy -පෙබරවාරි 24, 2025
එළැඹෙන අප්‍රේල් මාසයේදී දළදා ප්‍රදර්ශනයක් පැවැත්වීමට මල්වතු අස්ගිරි උභය මහ විහාරීය මහනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ දෙන ම සහ දියවඩන නිලමේවරයා එකඟතාව පළ කළ බව ජනපති අනුර කුමාර දිසානායක පැවසීය.
සිංහල හා දෙමළ අලුත් අවුරුද්දෙන් පසුව අප්‍රේල් මාසය තුළ දළදා ප්‍රදර්ශනය පැවැත්වීමට අවධානය යොමුව තිබෙන බව ත් ඒ සම්බන්ධ සංවිධාන කටයුතු දියවඩන නිලමේතුමන්, මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා, දිසාපතිවරයා ඇතුළු රාජ්‍ය නිලධාරීන්ගේ මූලිකත්වයෙන් සිදුකිරීමට එකඟතාවකට එළැඹි බව ත් ඒ මහතා කීය.
ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් අනතුරුව ජනපතිවරයා ඊයේ (පෙබ. 23) පෙරවරුවේ මල්වතු මහා විහාරයට ගොස් එම පාර්ශ්වයේ මහ නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේද අස්ගිරි මහා විහාරයට ගොස් එම පාර්ශ්වයේ මහ නායක වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේද බැහැදැක ජනපතිවරයා දළදා ප්‍රදර්ශනයක් පැවැත්වීමට ඉල්ලීම කරනු ලැබූ අතර දළදා ප්‍රදර්ශනයක් මෙවර පැවැත්වෙන්නේ වසර 16කට පසුව යැයිද මෙහිදී ජනපතිවරයා පැවසුවේය.
ජනපතිවරයා මල්වතු මහ නායක හිමියන් බැහැදුටු අවස්ථාවට මල්වතු පාර්ශ්වයේ කාරක සංඝ සභික හිමිවරුන් වන දොරණෑගම රතනපාල, තිබ්බටුවාවේ මේධංකර, මහවෙල රතනපාල යන හිමිවරු සහභාගි වූහ. අස්ගිරි මහ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ බැහැදුටු අවස්ථාවට එම පාර්ශ්වයේ අනුනායක හිමිවරු වන වේඬරුවේ උපාලි, ආණමඩුවේ ධම්මදස්සී අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරි මැදගම ධම්මානන්ද, දළදා තේවාව භාර උරුලෑවත්තේ ධම්මරක්ඛිත, කාරක සංඝ සභික හිමිවරුන් වන ගොඩගම මංගල, මුරුද්දෙණියේ ධම්මරතන යන හිමිවරු සහභාගී වූහ.
මෙම අවස්ථාවට අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන හංසක විජේමුණි, ප්‍රසන්න ගුණසේන යන මහත්වරු ඇතුළු පිරිසක්ද සහභාගී වූ අතර දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල විසින් ජනාධිපතිවරයා ඇතුළු පිරිස ශ්‍රී දළදා මාලිගාවේදී පිළිගනු ලැබීය.

All reactions:
1Terance Jayasingha