
රන් තැටියක කඳුළු
DIVAINA TODAY EDITORIAL
December 11, 2023
(අපගේ ගෞරවයට නිබඳව පාත්‍රවන දිවංගත ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී දයාසේන ගුණසිංහයන් විසින් රචිත කවි පොතක නමයි)
කපු යනු කැලේ හැදෙන ශාකයකි. මෙහි ඇති පුළුන් වලින් නූල් කැටීමටත්, රෙදි විවීමටත්, surgical cotton වැනි සැත්කම්වලට අදාළ නිෂ්පාදන ලබාගත හැකි බැවින් පසුකාලයේදී කපු වාණිජ්‍ය වැවිල්ලක් බවට පත්විය. කපු යනු අහිංසක පැළෑටියකි. එහෙත් ඒ නම මිනිස්සුන්ට ලැබුණු විට තත්ත්වය අවුල් වී හොර කපුවා නමැති සාධකය හටගනී. මෙවැනි හොර කපුවන් රැලක්, පසුගියදා කතරගමට පූජා කෙරුණු පවුම් 39 ක රන් තැටියක් සොරකම් කළහ. මෙහි බර ග්‍රෑම් 294 ට වැඩිය.
විහාර දේවාලගම් පනත යටතේ තිබෙන දේපළවලට අයත් පූජා භාණ්ඩ සොරකම් කිරීම, විකිණීම හෝ සන්තකයෙහි තබා ගැනීම දණ්ඩ නීති සංග්‍රහයේ අංක 386 සහ 399 යටතේ ඇති වරදක් ලෙස අර්ථ නිරූපණය කෙරේ. රන් තැටියේ කතාව මෙසේය. මීට මාස කිහිපයකට පෙර ඩුබායි හි ජීවත්වූ සාපරාධී ගේම් කාරයකු වන අංගොඩ ලොක්කාගේ පුතාට බරපතළ අපලයක් හටගත්තේය. ඒ වනවිට ලොක්කාගේ බිරිය සහ පුතා සිටියේ ලංකාවේය. බිරිය අංගොඩ ලොක්කාට කතාකර පුතාගේ අපලය ගැන කීවාය. එවිට අංගොඩ ලොක්කා රන් තැටියක් සෑදීමට අවශ්‍ය රන් බිස්කට් තොගයක්ද, තැටියේ නිෂ්පාදන ගාස්තු වශයෙන් රුපියල් ලක්ෂ 2ක් ද ඔහු තම ගෝලයකුට එව්වේය. ගෝලයා මේ මුදලින් රන් තැටියක් තනා ලොක්කාගේ බිරියට භාර දුන්නේය. ඇය මෙය කතරගම සිටින කපු රැලට පූජා කළාය. දවස් තුනකට පසු එය සොරකම් කරන ලදැයි විශ්වාස කෙරේ.
මේ පුවත මේ වනවිට අදාළ පොලිසිවල ලියවී අවසන්ය. දැන් ඉතිරිව ඇත්තේ නඩු ඇසීම පමණි. යකුන්, හොල්මන්, අපල වැනි පාරභෞතික දේවල් කෙරෙහි මේ පුවත්පත එතරම් සැලකිල්ලක් නැති වුවද අපට හිතෙන පරිදි පූජනීය ස්ථානයකට පූජා කරන ලද පූජා භාණ්ඩයක් සොරකම් කිරීම හෙණ ගහන අපරාධයකි. මන්ද මෙහි ඇත්තේ බැතිමතාගේ මුදල් ය. ඒ බැතිමතා එක්කෝ අංගොඩ ලොක්කා වැනි ඩැමේජ් වුණු ඩයලයක් විය හැකිය. නැත්නම් ඉතාම දුප්පත් මිනිහකු විය හැකිය. මෙවැනි අය දේවාලවලට යන්නේ අපල උපද්‍රව වැනි ග්‍රහ දෝෂවලට උසාවිය හෝ පොලිසිය මාර්ගයෙන් සාධාරණ විසඳුමක් ලබාගත නොහැකි නිසාය. සමහරවිට ඔවුන් දෙවියන් ඉදිරියට ගෙන යන ප්‍රශ්න ඉතාම sensitive වර්ගයේ ප්‍රශ්න වීමට ඉඩ තිබේ. එවැනි කටයුතු සඳහා බලි තොවිල් කිරීමටත් යන්තර දැමීමටත් දුප්පත් ජනයා මුදල් හොයාගන්නේ ගෙවල් දොරවල් උගස් තැබීමෙනි. අංගොඩ ලොක්කාගේ සල්ලි කෙළින්ම කුඩු සල්ලිය. ඒ නිසා ඔහුගේ රන් තලිය කෙළින්ම කුණු ගෑවුණු රන් තලියකි. කුඩු සල්ලි වලින් මිලට ගත් රන් තලියක් නිසා දෙවියෝ එය ප්‍රතික්ෂේප කළා වත්ද? එසේ ප්‍රතික්ෂේප කළ බැවින් කපු රැළ විසින් එය සොරාගන්නා ලද්දේද. කතරගම රන් තැටි හොරකම සම්බන්ධයෙන් අධිකරණමය ක්‍රියාවලියක් ක්‍රියාත්මක වෙමින් පවතී. සමහරවිට උසාවියට කලින් දෙවියෝ මේ හොරුන්ට ෂොට් එක දෙනවා ඇත.
පන්සල් සහ කෝවිල්වල පින් කැට කැඩීම කවදත් මේ රටේ තිබිණ. එය නිධන් හොරකමේම දිගුවකි. පසුගියදා හැටන් ජුම්මා මුස්ලිම් පල්ලියේ මුරකරුගේ හිසට පහරදී ඔහු මරා පින් කැටය කඩා මුදල් රැගෙන ගොස් තිබේ. අවස්ථා කිහිපයකදීම මේ පල්ලියේ පින් කැටය කඩන ලදී. ඉන්පසු එය රැක ගැනීමට මුරකරුවකු යොදන ලැබීය. අන්තිමට මුරකරුත් මළේය; කැටේ තිබූ සල්ලිත් නැති විය. එළුවකුගේ බෙල්ල මුට්ටියක හිරවූ විට මහදැන මුත්තා මුලින්ම එළුවාගේ බෙල්ල කපා එය වෙන්කර ගත්තේය. ඊට පසු මුට්ටිය බිඳ එළුවාගේ හිස එළියට ගත්තේය. හොර කපුවන් පූජනීය ස්ථානවල බලය අල්ලාගැනීම සඳහා නැගී සිටීම මේ සියලු තත්ත්වයන් අතික්‍රමණය කිරීමකි. පසුගියදා සීනිගම දේවාලයේ කපු රැලක් එහි මකර තොරණට නැගී විරෝධතා පවත්වන්නට වූහ. කටුස්සාට රන් මාලයක් පැලඳ වූ විට මෙවැනි තත්ත්වයන් හටගනී. එවිට ඌ හිතන්නේ තමන් රජුටත් ඉහළින් සිටින කෙනකු බවය. මේ පිළිබඳ කතාව මහෞෂධ පඬිතුමාගේ කතන්දරවල එයි.
ලංකාවේ සෑම ප්‍රසිද්ධ පූජනීය ස්ථානයක්ම මුදල් අච්චු ගහන මැෂින් බවට පත්කර ගැනීමට එම පූජනීය ස්ථානවල භාරකරුවන් කටයුතු යොදා ඇත. පන්සලේ ගේට්ටුව සෑදීම සඳහා දායක සභාව හැමදාමත් සල්ලි එකතු කරන නමුදු හදන ගේට්ටුවක් නැත. ඒ වෙනුවට පන්සලට V 8 වාහනයක් ලැබෙයි. ඒ ගැන ප්‍රශ්න කිරීමේදී දැනගන්නට ලැබෙන්නේ උත්තර ධ්‍රැවයේ හෝ දක්ෂිණ ධ්‍රැවයේ සිටින දායකයකු විසින් V 8 එක පන්සලට පරිත්‍යාග කළ බවය. මේ ගැන වැඩිදුර කතා කිරීම මේ රටේ බහුතර ජනයා අදහන බුද්ධාගමට හොඳ නැත. මහාචාර්ය සෙනරත් පරණවිතානද තමා දත් බොහෝ දේ හෙළිදරව් කිරීමෙන් වැළකී සිටි අතර එයට හේතුව බහුතර ජනතාවගේ සමගියට එමගින් හානියක් වීමට ඉඩ තිබීමය. මේ ගැන දිගන් දිගටම කතා කිරීමෙහි තේරුමක් නැත. තවත් දේවාලයක තවත් හොරකමක් සිදුවන තෙක් අදට අපි නවතිමු.