
රට පුරා ආපදා සහන වෛද්‍ය කණ්ඩායම් 504ක් වැඩ
By Champika Deepani Ranasinghe -දෙසැම්බර් 6, 2025
‘සුරැක්’ ආපදා කළමනාකරණ හා ප්‍රතිචාර දැක්වීමේ ඒකකයේ සම්බන්ධීකරණයෙන් ආපදා සහන වෛද්‍ය කණ්ඩායම් 504ක් රටපුරා ක්‍රියාත්මක වන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, ආපදා කළමනාකරණ සම්බන්ධ ජාතික සම්බන්ධීකාරක විශේෂඥ වෛද්‍ය සමිද්ධි සමරකෝන් පවසයි.
මේ වෛද්‍ය කණ්ඩායම් දිවයින පුරා පිහිටුවා ඇති සුරක්ෂා මධ්‍යස්ථාන 1,041ක් ආශ්‍රිතව සේවා ලබා දෙමින් සිටින අතර දැනටමත් සුරක්ෂා මධ්‍යස්ථානවල වෙසෙන ජනතාවගෙන් 98.3%ක් ම පරීක්ෂාවට ලක් කර ඇති බව වාර්තා වේ.
මීට අමතරව මෙම සේවා අවශ්‍ය වන ස්ථාන සහ ගම්මාන තවත් තිබේ නම් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ හා ප්‍රතිචාර දැක්වීමේ ඒකකයේ ක්ෂණික ඇමතුම් අංකය වන 1926 අංකය ඒ සඳහා විවෘතය.
මේ දුරකතන අංකයට දවසේ පැය 24 පුරා ම ඇමතුම් ලබා දිය හැකි ය.
මේ අතර, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය මගින් මෙරට සියලු ම විශේෂඥ වෛද්‍ය අංශ ආවරණය කරමින් විශේෂඥ වෛද්‍යවරු 76 දෙනෙකු සම්බන්ධ කරගෙන ආපදාවට පත් ජනතාවගේ සෞඛ්‍ය ගැටලු සඳහා විසඳුම් ලබා දීමට 0777 19 99 00 දුරකතන සහන සේවා අංකය ලබා දී තිබේ.
ඩයලොග් සමග අත්වැල් බැඳගෙන නොමිලයේ සැපයෙන මේ සේවාව දිවයින පුරා ක්‍රියාත්මක කෙරේ.
ඉදිරි සති හතර පුරා දුරකතන සහන සේවාව විවෘතව තබන අතර ගංවතුරෙන් පසු උණ, කැස්ස, ෆ්ලූ ලක්ෂණ මතු වුණු, මී උණ (ලෙප්ටොස්පයිරෝසිස්) ගැන සැක ඇති, සමේ ආසාදන සහ තුවාල ඇති, පාචනය වැලඳුණු ඕනෑ ම කෙනෙකුට ඒ අංකයට අමතා අවශ්‍ය උපදෙස් ලබා ගත හැකි ය.
මීට අමතරව ඖෂධ පිළිබඳ ගැටලු සහ නිදන්ගත රෝග ඇති අයට ද අවශ්‍ය උපදෙස් මෙම අංකයෙන් ලබාගත හැකි ය.
ගැබිනි මව්වරුන්, ළදරුවන්, වයෝවෘද්ධ පුද්ගලයන් මේ අවස්ථාවේදී දැඩි සෞඛ්‍ය අභියෝගවලට මුහුණ පා සිටින බව සහන සේවා දුරකතන අංකය හඳුන්වා දෙමින් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති ළමා රෝග විශේෂඥ වෛද්‍ය සුරන්ත කොළඹ විජේරාම මාවතේ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේදී පැවසීය.(MAWBIMA LK NEWS)


