මේ අභිසම්භාවනාව පත්තර ලෝකයේ සංස්කෘතික සිටුවරයාටයි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර

0
288

මේ අභිසම්භාවනාව පත්තර ලෝකයේ සංස්කෘතික සිටුවරයාටයි
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර
DINAMINA FEATURES – අරුණි මුතුමලී
July 28, 2023


ශ්‍රී ලාංකේය සංස්කෘත ක්ෂේත්‍රය සහ ජනමාධ්‍ය කලාව වෙනුවෙන් මහත් මෙහෙවරක් ඉටු කළ පත්තර මහගෙදර අපේ ජ්‍යෙෂ්ඨයකු වූ කවියකු, ලේඛකයකු, ගීත රචකයකු හා පුවත්පත් කතුවරයකු වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර මහතා ඉටු කළ මෙහෙවර අගැයීම වෙනුවෙන් සම්පාදිත “සම්භාවනා” සැමරුම් උත්සවය මේ මස 28 වැනි සිකුරාදා (අද දින) සවස 3.30ට ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ. මෙම උත්සවයේ දී කුරුවිට බණ්ඩාරයන්ගේ යථෝක්ත සේවා සම්පාදානය, ප්‍රතිසේවිත හා විමර්ශිත මෙරට ප්‍රබුද්ධ ලේඛක ලේඛකාවන් විසින් රචිත සමුදාය සමාහාර කරමින් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සමන්ත හේරත් මහතා විසින් සම්පාදිත පත්‍ර කලා කව් සිළුමිණ තිලකරත්න කුරුවිට බණ්ඩාර අභිසම්භාවනා ග්‍රන්ථයද මෙදින සහෘද පාඨකයන් වෙත පිළිගැන්වීමද සිදු කෙරේ. ඒ වෙනුවෙන් මෙම ලියමන ලියා දක්වමු.

මගේ මතකය නිවැරැදි නම් පළමු වරට මා ඔහු දුටුවේ අනූව දශකයේ අග භාගයේ එල්ෆින්ස්ටන්හි චිත්‍රපට උලෙළක් නරඹන අවස්ථාවේදීය. අපේ ආචාර්යවරයකු වූ මහැදුරු සුනිල් ආරියරත්නයන්ගෙන් බොහෝ ඈත අසුනක සිට පැමිණි ඔහු පොදුවේ සැමට සුපුරුදු සිනාවෙන් සංග්‍රහ කළේය. අප බොහෝ දෙනාගේ නම් ගම් සහෝදර සහෝදරියන් හා සමානව ගැනෙන විට තිලකරත්න කුරුවිට බණ්ඩාරයන්ගේ නම ඔහුගේ සහෝදර සුනිලුන්ගෙන් වෙනස් වූයේ කෙසේද යන්න අප සැමට මහත් පැනයක් විය. පසුව එය සරල සිනාවකින් විසැඳුවේ ඔහුමය. “මම වාසගම එහෙම්ම පාවිච්චි කළා.“

ලේක්හවුස් මාධ්‍ය ඇකඩමිය

ඒ නිහතමානී බව මෙන්ම එදා සිට අද දක්වාම වෙනස් නොවූ පෙනුම ඔහුගෙන් කිසි විටෙකත් ගිලිහෙනු මා දුටුවේ නැත. වරෙක ඔහු අපේ කර්තෘවරයා විය. තවත් වරෙක ඔහු වෙනුවෙන් ලිපියක් ලියන මාධ්‍යවේදිනියගේ පැනවලට පිළිතුරු සපයන සම්පත් දායකයා විය. එසේම ලේක්හවුස් මාධ්‍ය ඇකඩමියේ සිසුන් වෙනුවෙන් දේශන පවත්වන ලෙස ආරාධනා ලද දේශකයා විය. ඒ හැම අවස්ථාවකම මේ සිහින් සිරුර තුළ ගැබ් වූ මහා පෞරුෂය මා දුටුවේ ඔහුගේ පෘථුල දැනුම් සම්භාරය ඔස්සේය. ඒ දැනුම ඔහු ලද්දේ ප්‍රායෝගික මාධ්‍යකරණයේ නිරතව කළ සතතාභ්‍යාසයෙන් යැයි කීවොත් නිවැරැදි යැයි සිතමි. එය ඔහු සාංසාරිකව පතාගෙන ආ වෘත්තියේ නියැළීමට ලද වාසනා ගුණයේම කොටසකැයි කීව ද වරදක් නොවේ. එයට හේතුව මා වරක් ඔහු සමඟ “සීහුම් මංසල ශනිදා සල්ලාපය” නම් යූ ටියුබයට කළ සාකච්ඡාවේදී ඔහු කළ අනාවරණයයි. එහි දී ඔහු පැවැසුවේ බොහෝ දෙනකුට ජීවිතයේ බලාපොරොත්තු වන වෘත්තියේ යෙදෙන්නට හැකි වන්නේ නැති වුවත් තමන්ගේ කතාව ඊට වෙනස් වූ බවයි. එයට මූලික වූයේ ඔහුට නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයේදී හමු වූ ‘කාලිදාස‘ නමින් සිසුන් අතර ජනප්‍රිය වූ කේ. ජී. කරුණාතිලක ගුරුවරයාය. මේ ගුරුවරයා නිසා ආචාර්ය අජන්තා රණසිංහ සහ කරුණාරත්න අමරසිංහ වැනි පන්ති සගයන් සමඟ සාහිත්‍ය සංගමයේ කටයුතු කරන්නට ඔහුට අවස්ථාව ලැබුණි. 1965 දක්වා වූ ඔහුගේ පාසල් ජිවිතය නිම වන්නට පෙර තිලකරත්න කුරුවිට බණ්ඩාර සිසුවා සිය අනාගත වෘත්තිය පිළිබඳ දුටු සිහින සැබෑ කර ගත්තේය.

“1957 දී අපේ පවුලේ සාමාජිකයන් සය දෙනාම එක් වී ‘ළමා හඬ‘ ත්‍රෛමාසික සඟරාව අතින් ලියලා පළ කළා. එහි අපි සඟරා ස්වරූපය පවත්වා ගන්න අපේ තාත්තාගේ කුලී රථ සේවාව පිළිබඳ වෙළෙඳ දැන්වීමකුත් ඇතුළත් කළා.“ ඔහු කීවේ අතීතයේ දසුන් වත්මන ඉදිරියේ මවා දෙමිනි. “මම පාසල් සඟරාවක් කළේ අභියෝගයක් හැටියටයි. සාහිත්‍ය සංගමය කළ යුතු සඟරාව විද්‍යා ශිෂ්‍යයන් කළ විට එය අභියෝගයක් හැටියටයි මම හිතුවේ. ඒ නිසා ‘කලා පුබුදුව‘ පාසල් සඟරාව පාරක් ගානේ ඇවිදලා දැන්වීම් එකතු කරලා පාසල වෙනුවෙන් කළා. සුනිල් මල්ලි එතකොට හතේ පන්තියේ. එයත් සීගිරිය ගැන ලීවා ඒ සඟරාවට.
ඉන් පස්සේ පවුලේ අය එකතුව පිටකොටුවෙන් කඩදාසි ගෙනැවිත් අච්චු කන්තෝරුවකින් මුද්‍රණය කරලා ‘අපි ඔක්කොම‘කියලා ගෙදර අයගේ නිර්මාණ පොතක් 1963 කළා. මේ පොත පිළිබඳ ජනතා පුවත්පතේ පිටු භාගයක ලිපියක් පළ වුණා, පොතපත ලියන්න පුළුවන් පවුලක් කියලා. ඒ පිළිබඳ ලියන්න ආවේ සිසිර කුමාර මාණික්කආරච්චි, පින්තූර ගත්තේ ඇල්වින් සමරරත්න ඡායාරූප ශිල්පියා. ඒ විචාර නිසා අපේ
සිළුමිණ හා සරසවියලේඛන කලාවට ලොකු ආලෝකයක් ඇති වුණා.“
ඔහු තවත් යමක් මතකයට නැඟී එය විස්තර කරන්නට විය.


“අර පාසලේ සාහිත්‍ය සංගමයට කළ ‘කලා පුබුදුව‘ සඟරාව අරගෙන මායි, සුනිලුයි දෙන්නා පත්තර කන්තෝරුවලට කොට කලිසම් ඇඳගෙන විචාරයක් ලියා ගන්න ගියා. අපි වැඩි බලාපොරොත්තුවක් තැබුවේ නැතත්, ඊළඟ සුමානෙම පොඩි විචාරයක් ලියා තිබුණා, 1961 ජූනි 30 සිළුමිණ පත්තරේ. එහි කියා තිබුණා මේ සඟරාව සංස්කරණය කළ ශිෂ්‍යයා අනාගතයේ පුවත්පත් සංස්කාරකවරයකු වෙයි කියා තමන් විශ්වාස කරන බව. එහෙම ලියා තිබුණේ ප්‍රවීණ මාධ්‍යවේදී විමලසිරි පෙරේරා මහත්මයා. පසු කාලීනව විමලසිරි පෙරේරා මහත්මයාගේ අනාවැකිය සත්‍ය කරමින් ඔහු කර්තෘ ධුරය දැරූ සිළුමිණ වගේම ඔහු ආරම්භ කළ “සරසවිය” පුවත්පත් ද්විත්වයෙහිම කතුවරයා වීමේ වාසනාව මට ලැබුණේ දෛවෝපගතවයි. “ නිහතමානී ආඩම්බරයක් ඔහුගේ සිත තුළ විදුලියක් මෙන් දිලී ගියේ යැයි මට හැඟිණි.

ඉන් ටික කලකට පසු ලේක්හවුස් ආයතනයට පුහුණුවන පත්‍රකලාවේදීන් බඳවා ගන්නවා කියලාද දැන්වීමක් දැක්කා. එහි සම්මුඛ පරීක්ෂණයට ගිය ඔහුට ජීවිත කාලෙම පුවත්පත් කලාවේ නිරත වන්නට අවස්ථාව සැලසිණ. වරින් වර ආයතනය හා පුවත්පත් වෙනස් වුවද පත්තරකාර ජීවිතයෙන් මිදෙන්නට ඔහු කිසි විටෙකත් දෛවයට ඉඩ දුන්නේ නැත. ඔහුගේ ජීවිතයේ මුණ ගැසී කීර්ති ශේෂභාවෝපගතවූවන්ගේ තොරතුරු එකතුවක් පිළිබඳ මෑතකදී සරසවියට ලිපියක් ලියන්නට මම වාසනාවන්ත වීමි. එහිදී ඔහු උපන් බිමත් සහෝදර ජනයාත් පිළිබඳ දරන මතය පැහැදිලිව හඳුනාගන්නට හැකි විය.

‘ශික්ෂිත- සංවේදී-යුක්තිගරුක- කාරුණික මිනිසුන්ගෙන් යුත් සාධු සමාජයක් බිහි වන්නේ ප්‍රබල සංස්කෘතික මිනිසුන් සිටියොත් පමණි. ‘ඔහුගේ කෘතියේ පසු වදනේ සඳහන් වූ ඒ වැකිය පිළිබඳ වැඩි විස්තර විමසද්දී ඔහු මෙසේ පැවසුවේය. “රටක සංස්කෘතියට පිටුපාලා මුකුත්ම කරන්න බැහැ. තමන්ගේ සංස්කෘතික අනන්‍යතාව නැතිව රටකට විතරක් නෙවෙයි පුද්ගලයකුටවත් පැවැත්මක් නැහැ. ඒ නිසා තමන්ගේ විශේෂයෙන්ම අධිරාජ්‍ය පාලනයට යටත්ව තිබුණු රටකට සංස්කෘතික අනන්‍යතාව සොයා ගන්න සිදු වෙනවා. අපේ රටෙත් සියවස් තුනකට අධික කාලයක් අධිරාජ්‍ය වාදී පාලනය තිබුණා. ඒ නිසා අපට සිදුවෙනවා අවලංගු වී තිබුණු අපේ හැඳුනුම්පත යළි සොයාගන්න.“ එසේ පවසන ඔහු තමන් සොයා ගිය කීර්තිශේෂධරයන් අතරින් තමා තුළ වූ මාධ්‍යවේදියා කතුවරයකු දක්වා ඉහළට නංවාලන්නට පාදක වූ පත්තර මහගෙදර ආරම්භක පතාක යෝධයා හමු වූ අයුරු දැක්වූයේ මෙසේය.
රන් ඔටුන්න

“බටහිර පන්නයට ඉදි වූ ගොඩනැඟිලිවලින් සමන්විත කොළඹ නගර මධ්‍යයේ සුදු අධිරාජ්‍යවාදීන්ගේ යුගයේදීම රන් ඔටුන්නක් මෙන් කැපී පෙනෙන දේශීය මල් ලියකමින් සමලංකෘත එකම එක මන්දිරයක් ඉදිවිය. එදා මෙදාතුර කොළඹ එවන් දේශීය ඌරුවේ මන්දිරයක් තවමත් ඉදි වී නැත. ඒ දේශමාමක ඩී. ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ සැබෑවක් කරගත් මනෝ මන්දීරයයි.

හිරු නොබසින අධිරාජ්‍යයේ දී නීති ශාස්ත්‍රය උගනිද්දී හමු වූ සර් පොන්නම්බලම් අරුණාචලම් – සර් ජේම්ස් පීරිස් – ගෝපාල් කෘෂ්ණ ගෝකලේ – එෆ්.එච්.එම්. කෝබට් – සර් ජෝන් ජාඩින්- මැකලම් ස්කොට් වැනි දේශප්‍රේමී ප්‍රභූන්ගේ සත්ජන ආශ්‍රයෙන් ශ්‍රී ලංකාවේ නිදහස පිළිබඳ උත්තේජනයක් ඇති කරගත් තරුණ ඩී.ආර්. අද්විතීය සංස්කෘතික විඥානයක් තිබූ පුද්ගලයෙක් විය.

කොරවක්ගල් – සඳකඩපහන් – නෙළුම් මල් මෝස්තර – නාරි ලතා – පලාපෙති මෝස්තර – සූර්යයා – අරිම්බුව ඇතුළු සාම්ප්‍රදායික බිතු සිතුවමින් සමලංකෘත කොට ලේක් හවුස් නම් වූ මේ අභිරමණීය මන්දිරය මූර්තිමත් කොට දක්වන්නේ ඩී. ආර්. විජයවර්ධන සංස්කෘතික චින්තනයයි.“ පත්තර ලෝකයේ සංස්කෘතික සිටුවරයා ලෙස ඔහු ලේක්හවුස් නිර්මාතෘ ඩී. ආර්. විජේවර්ධනයන් පිළිබඳ අකුරු රටා මවන්නේ ඔහුගේ කවිකාරීත්වය ගද්‍යකරණයට එක් කොට සිය මතවාදය සංක්ෂිප්ත කොට දක්වමිනි. ඒ පද භාවිතය ඔහුට ලැබුණේ ඔහු විසින් අනරවරතව පරිශීලනය කරන සාහිත්‍ය කෘතිවල ආභාසයෙන් බව කිව යුතු නොවේ. සිළුමිණ පුවත්පතෙන් සරසවියට ඔහු මාරු කිරීමට හේතුව වූයේ ද ‘සාහිත්‍යය‘ වැඩි වීමේ චෝදනාව බව කවුරුත් දන්නා රහසකි. එහෙත් එය ඔහුට ඉබ්බා දියේ දැම්මා සේ විය. සකල කලාව එක් වූ සිනමාව මූලික කර ගත් සරසවිය පුවත්පතට ඔහු කාව්‍ය සරසවිය, සිනමා සරසවිය, සාහිත්‍ය සරසවිය ආදි වශයෙන් කොටස් එක් කළේ සෑම කලා අංශයකටම විශේෂාංගය බැඟින් යොදමිනි. “
පරම්පරා වෙනස

මාධ්‍යවේදියකුට කවි සිතක් ඇති විට එය සිය පුවත්පත්වලින් එළි දකින්නේ නිතැතිනි. තිලක් මහත්තයාගේ කවිකාරීත්වය ගැන කතා කරන්නට බොහෝ දෙනා සිටියද ඔහු බෙහෙවින් ඇලුම් කරන ඔහුගේ කවියක් ලියන්නට අවසර පතමි. නිල්ල දකින්නයි නම් කවි පොතෙන් පසු තවත් කාව්‍ය කෘති හතක් පළ කළ ඔහු අදටත් ආදරය කරන කවියක් ඇත. එහි ඔහු ස්වයං අත්දැකීමක් කවියේ කොටසකට එක් කරන්නේ මවුපියන්ගේ වටිනාකම් සහ පරම්පරා වෙනස පිළිබඳ කුඩා කවියක පදවල අරුතට නඟමිනි. එය ඔහුගේ ජීවිතය බෙහෙවින් ඛේදජනක කාව්‍ය සංග්‍රහයේ ගුණ සපුව මැයෙන් එන්නකි.

අම්මා කෙනෙක් පුතා එක්ක එක මඟ බැහැලා යනකොට
හෙමින් හෙමින් යන අතරෙදි නිකමට මෙන් මෙහෙම කියයි
මෙහෙම දෙයක් එකපාරට උඹෙන් අහන්නත් මට බෑ
මව – ඇත්තද බං උඹ හාද ද පාගොඩ කෙල්ලක් එක්කලා
ආරංචියේ හැටියට නං ඈ සල්ලං වුණ එකියක්
හත් මාසෙන් උපන් උඹව දහදුක් විඳලයි හැදුවේ
පහන් තිරෙන් කිරි පෙව්වේ
බඳින කෙල්ල පබාවතී වුණත් වැඩක් නෑනේ පුතේ
දන සිටු දියණියක් වුණත් ඒක වැඩක් නෙවෙයි පුතේ
ගුණ සපුවෙන් මල්මදගේ දූ තෝරා ගනින් පුතේ
පුතා -අනේ මන්දා

සිය ගීත නිර්මාණ ගයන ලෙස ගායක ගායිකාවන් පසුපස නොගිය මේ ගීත රචකයා තුළ වූයේ රජය පවා විවේචනය කළ මාධ්‍යවේදියාගේ කොඳු නාරටිය යැයි ඔහු පිළිබඳ දන්නෝ පවසති. ඉසුරු දෙවිඳු උමයංගන සේ පෑහෙන්නයි ගීතය ඔහු සිය මලණුවන් වන මහාචාර්ය සුනිලුන්ගේ ඉල්ලීමට සරුංගලය චිත්‍රපටයට ලීවා පමණි. සිනමාවේදී විජය ධර්මශ්‍රීගේ ඉල්ලීමට වැටකොටු බැඳ මලක සුවඳ, මධුර ප්‍රේම කල්පනා වැනි ගීත ආචාර්ය නන්දා මාලිනියට ඔහු ලීවේය.

දූ පුතුනේ අප රටේය දූ පුතුනේ රට අපේය වැනි ගීත ඔහුගේ බව ඔහුවත් කියන්නේ නැත. ආරාධනයෙන් තොරව ඔහු කිසිවක් පිළිනොගන්නා බව මා පෞද්ගලිකව දන්නේ ලේක්හවුස් මාධ්‍ය ඇකඩමියේ පාඨමාලා සමායෝජකවරිය ලෙස ප්‍රවෘත්ති හා විශේෂාංගවල සිරස්තල යෙදීම පිළිබඳවත්, සංස්කරණ ක්‍රම පිළිබඳවත් ඔහුට දේශනයක් කරන්නට ආරාධනා කළ බැවිනි. ඔහු සිය කවීත්වය නිසාම අන් අයගේ කවියට ද ගරු කළේය. එයට හොඳම නිදසුන සිළුමිණ කර්තෘ සමයේ ඔහු යාපනයේ විශ්වවිද්‍යාලයේ සිසුන්ගේ කවි සිංහලට පෙරළා සිරස්තලය සහ නම දෙමළෙන් පළ කිරීමයි. කොටි සංවිධානයේ සංස්කෘතික අංශයේ කවි ද ඔහු ඒ පිටුවේ පළ කළේ කලාවෙන් කළ හැකි සංහිඳියාව පිළිබඳ දැරූ දැඩි විශ්වාසය නිසාය.

ලුම්බිණි රඟහලේ නිත්‍ය ප්‍රේක්ෂකයකු වූ ඔහු නාට්‍ය විචාරකයකු විය. සිනමා ශාලාවල නිත්‍ය රසිකයකු වූ ඔහු සිනමා විචාරකයකු ද විය. ඔහු ලිපියක් ලීව ද, කවියක් ලීවද, ගීතයක් ලීවද එයට අවශ්‍යම වචන එකතු කරන්නට තරම් අලංකාර රමණීය භාෂා දැනුම නිසා ඔහුගේ ලිපිවල සංස්කරණය කිරීමට තරම් දෙයක් නොවූ බව සමකාලීන මාධ්‍ය මිතුරන්ගේ අත්දැකීමයි. මේ සියලු ගුණාංග අතර ඔහුගේ දුර්වලතාවක් සඳහන් නොකළොත් අඩුපාඩුවක් බව සිතමි. එය මවිසින් කියූවක් නොව ඔහු පිළිබඳ සමකාලීන මාධ්‍යවේදීන්, ගීතරචකයන්, නාට්‍යකරුවන්, කවිකිවිඳියන් පළ කළ අදහසක් බව කීම යුතුකමකි.

ඒ නම් ඔහු තරම් ස්වයං අසාධාරණයට තමන් ලක්කරගත් නිර්මාණකරුවකු මෑත කාලීනව බිහි වී නැති බවය. ඔහු සිය සිහසුන සොයුරු සොයුරියන්ට පුදකළ නිර්මාණකරුවකු වන නිසා යන්න ඔවුන්ගේ මතයයි. ඒ කෙසේ වෙතත් තිලකරත්න කුරුවිට බණ්ඩාර නාමය මෙරට මාධ්‍ය ක්ෂේත්‍රයේ මෙන්ම සාහිත්‍ය කලා ක්ෂේත්‍රවල නොමැකෙන අයුරින් රෝපණය වී ඇත්තේ ඔහු සතු ළතෙත් බව හා බැඳුණු මානවීය ගුණය ඔස්සේ අනෙකාගේ හදවතේ ගැස්ම හඳුනාගැනීමට ඇති හැකියාව නිසාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here