
මිහිතලය රත්වීම: අධික උෂ්ණය නිසා බ්‍රිතාන්‍ය වැසියන් දහසකට වැඩි පිරිසක් මියගිහින්!
සරෝජ් පතිරණ
2025 සැප්තැම්බර් 19
——————————————————
මිනිස් ක්‍රියාකාරකම්වල සෘජු ප්‍රතිඵලයක් ලෙසින් මිහිතලය රත්වීම නිසා මේ වසරේ ගිම්හානය තුළ බ්‍රිතාන්‍ය වැසියන් දහසකට වැඩි පිරිසක් මියගොස් ඇති බව විද්‍යාඥයින් පවසනවා.
ලන්ඩනයේ සුප්‍රසිද්ධ ඉම්පීරියල් කොලීජිය (Imperial College) විසින් කරන ලද අධ්‍යයනයක් ප්‍රකාර පසුගිය ජුනි මාසයේ බ්‍රිතාන්‍යය මුහුණ දුන් දරුණු උණුසුම (heatwave) ඇතුළු උණුසුම් කාළගුණය නිසා අඩුම තරමින් 1147 දෙනෙකුටවත් දිවි අහිමි වී තිබෙනවා. ඔවුන් පවසන පරිදි, විශේෂයෙන්ම දැඩි උණුසුම හේතුවෙන් සිදුවන මරණ බොහෝ විට වාර්තා නොවන බැවින් heatwave නිසා සිදු වූ සැබෑ මරණ සංඛ්‍යාව ඊට වඩා බොහෝ ඉහළ විය හැකියි.
මිනිසා විසින්ම ගහ කොල කපා දමා පරිසරය විනාශ කිරීමේ සහ දිනෙන් දින ඉහළ යන පොසිල ඉන්ධන භාවිතයේ ප්‍රතිඵලයක් වශයෙන් ලොව පුරාම කාළගුණයේ දැවැන්ත වෙනස්කම් සිදුවෙමින් පවතින අතර, මේ වසරේ ගිම්හානයේදී බ්‍රිතාන්‍යය එදා, මෙදා තුර ඉතිහාසයේ අත් දුටු දරුණුම උණුසුම් කාළගුණයකට මුහුණ දුන්නා. මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ගතවගිය ගිම්හානයේ පමණක් (ජුනි සහ අගෝස්තු අතර) පරිසර උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 2.2ක් සහ 3.6ක් අතර ප්‍රමාණයකින් ඉහළ ගිය බවත් විද්‍යාඥයින් පෙන්වා දෙනවා.
විශේෂයෙන්ම ලන්ඩන් සහ බර්මින්ග්හැම් නගරවල වයෝවෘද්ධ පුද්ගලයින් අධික උණුසුම හේතුවෙන් මිය යාමේ වැඩි අවදානමක් පවතින බවත් හෙළි වී තිබෙනවා. එමෙන්ම යුරෝපයේ නගර 854ක සිදු වූ මරණ 24,400ක් අතරින් 68%කට හේතුව අධික උණුසුම බවත් අධ්‍යයනය හෙළිදරවු කරනවා.
ලංකාවට සූර්ය බලයත් එපාලු!
————————————
ශ්‍රී ලංකාවේත් බොහෝ දෙනෙකුගේ ප්‍රබල අවධානයට ලක් නොවූවත්, මීට වසර කිහිපයකට ඉහතදීට වඩා සාමාන්‍ය උෂ්ණත්වය ඉහළ ගොස් තිබෙන බව පැහැදිලිව දක්නට ලැබෙන්නක්. පසුගියදා පුතා සමග ලංකාවේ කෙටි සංචාරයක නිරත වූ අවස්ථාවේ අධික උෂ්ණත්වය නිසා දහවල් දවසේ එළිමහනේ ගත කළේ හපුතලේ සහ නුවරඑළියේදී පමණයි. ඉවක් බවක් නැතිව කෙරෙන කැලෑ කැපීමත්, අධික පොසිල ඉන්ධන භාවිතයත් නිසා අප විසින්ම ශ්‍රී ලංකාවත් ක්‍රමයෙන් මැද පෙරදිග රටක තත්වයට ඇද දැමුවහොත් එයත් අරුමයක් විය නොහැකියි.
මිහිතලය රත්වීමේ ආදීනව එතරම් පැහැදිලිව දක්නට තිබියදීත් අනුර කුමාර දිසානායක ජනපතිවරයා ඇතුළු ආණ්ඩුව සූර්ය බලශක්තිය ඇතුළු පුනර්ජනීය බලශක්තිය ප්‍රවර්ධනය කරනු වෙනුවට දිගටම පොසිල ඉන්ධනවලට ප්‍රමුඛත්වය දෙමින් සිටීම ඇත්තෙන්ම කණගාටුවට කරුණක්.
මාලිමාව ආණ්ඩුව සූර්ය බලශක්ති ඒකකයකට ගෙවන මුදල පවා අඩු කළ අතර, පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණි පුනර්ජනීය බලශක්තිය සම්බන්ධ ලොව ඉහළම පෙළේ විද්‍යාඥයෙක් වන සම්මානිත මහාචාර්ය අයි එම් ධර්මදාස ජනාධිපතිවරයා සහ අගමැතිනිය හමුවීමට කළ ඉල්ලීමට ඔවුන් දෙදෙනාගෙන්ම ප්‍රතිචාරයක් නොලැබීමත් පුනර්ජනීය බලශක්තිය පිළිබඳ වත්මන් ආණ්ඩුවේ ආකල්පය පැහැදිලිව ප්‍රදර්ශනය කළ අවස්තාවක්.
– සරෝජ් පතිරණ
2025 සැප්තැම්බර් 19