
MAWBIMA LK NEWS
By Sachithra Perera -අගෝස්තු 16, 2024
මියන්මාර සයිබර් අපරාධ කලාපයෙන් තවත් ශ්‍රී ලාංකිකයන් 20 දෙනෙකු මුදා ගැනීමට හැකි වූ බව විදේශ කටයුතු අමාත්‍යංශය ‘මව්බිම’ට ඊයේ (අගෝ. 15) පැවසීය.
එම ලාංකිකයන් මියන්මාරයේ සිට තායිලන්ත දේශ සීමාව පසු කර තායිලන්තය දෙසට පැමිණ ඇති බව ත් පිරිස මේ වනවිට තායි සංක්‍රමණිකයන්ගේ අධිකාරිය භාරයේ සිටින බව ත් විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ ය.
බේරා ගත් ශ්‍රී ලාංකිකයන් පිරිස යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බව ත් විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ ය.
එම ලාංකිකයන් 20 දෙනා හමුවීමට තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් නිලධාරීන් ගොස් ඇති බව ත් තායි රජයත් සමග එකතු වී මියන්මාර තානාපති කාර්යාලය, ශ්‍රී ලංකා තානාපති කාර්යාලය යන පාර්ශ්ව තුන එම පිරිස ලංකාවට ගෙන්වා ගැනීමේ කටයුතු සිදු කරමින් ඇති බව ත් එම අමාත්‍යංශය කීය.
මේ අතර, තවත් ලාංකිකයන් 34 දෙනෙකු මියන්මාර සයිබර් අපරාධ කලාපයේ සිර වී සිටින බව ද ඔවුන් බේරා ගැනීමට කටයුතු කරමින් සිටින බව ද විදේශ කටයුතු අමාත්‍යංශය පැවසීය.
ශ්‍රී ලංකා රජය මියන්මාරය හා තායිලන්තය සමග කළ රාජ්‍යතාන්ත්‍රික මෙහෙයුම්වල ප්‍රතිඵලයක් ලෙස මෙම පිරිස බේරා ගැනීමට හැකි වූ බව විදේශ කටයුතු අමාත්‍යංශය පැවසීය.
මිනිස් ජාවාරම කළ පිරිසක් විසින් මෙම ලාංකිකයන් පිරිස බලහත්කාරයෙන් මියන්මාරයේ සයිබර් අපරාධ කලාපයකට රැගෙන ගොස් එහි කඳවුරක රඳවා ගෙන බලෙන් සයිබර් අපරාධ කිරීමට යොමු කර තිබූ අතර එහිදී ලාංකිකයන් විවිධ වධ හිංසනවලට මුහුණ දුන් බව වාර්තා වේ.
එම පිරිස අතරින් පළමුව 8 දෙනෙකු පසුගිය මාර්තු මාසයේදී බේරා ගෙන ලංකාවට ගෙන්වා ගැනීමට සමත් විය.