
මාර්තු මාසයේ අපනයන ආදායම ඉහළට
02 May 2025
මේ වසරේ මාර්තු මාසයේදී අපනයන ආදායම ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
මාර්තු මාසයේ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1,242ක් වාර්තාකර ඇති අතර එය පසුගිය වසරේ මාර්තු මාසයට සාපේක්ෂව සියයට 8.1 වර්ධනයකි.
ආනයන වියදම මේ වසරේ මාර්තු මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 1,637ක් වන අතර එය පෙර වසරට සාපේක්ෂව සියයට 8.6ක වර්ධනයක් බව දැක්වෙයි.
මේ වසරේ මාර්තු මාසයේදී මෙරටට ලැබුණු විදේශ සේවා ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 693ක් වන අතර එය ඕනෑම වසරක මාර්තු මාසයකදී වාර්තාවූ ඉහළම මාසික විදේශ සේවා ප්‍රේෂණ ප්‍රමාණය බව මහ බැංකුව පෙන්වා දෙයි.
මේ වසරේ මාර්තු මාසයේදී සංචාරක ඉපැයිම් අමෙරිකානු ඩොලර් මිලියන 354ක් වන අතර මාර්තු මාසය තුළ සංචාරකයින් 229,298 දෙනෙකු මෙරටට පැමිණ තිබේ.
කෙසේවෙතත් මේ වසර ආරම්භයේ සිට අප්‍රේල් මස අවසානය දක්වා කාලය තුළ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය සියයට 2.3කින් අවප්‍රමාණය වී ඇති බව මහ බැංකුව පෙන්වා දෙයි.(Aruna lk News)