මාදිවෙල මන්ත්‍රි නිවාස 42ක පිටස්තර පුද්ගලයින්

0
274

මාදිවෙල මන්ත්‍රි නිවාස 42ක පිටස්තර පුද්ගලයින්

ARUNA LK NEWS
24 July 2023 | නිලන්ත මදුරාවල


පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වෙනුවෙන් මාදිවෙල පිහිටුවා ඇති නිවාස සංකීර්ණයේ නිවාස හතළිස් දෙකක පදිංචිව සිටින්නේ පිටස්තර පුද්ගලයන් බව අනාවරණය වී තිබේ.

මෙම තත්ත්වය මන්ත්‍රිවරුන්ගේ ආරක්ෂාවට තර්ජනයක් හෙයින් එම නිවාසවල පදිංචිකරුවන් සම්බන්ධ වාර්තාවක් කතානායක මහින්ද යාපා අබේවර්ධන විසින් කැඳවනු ලැබ ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග කීවේය. කථානායකවරයා මෙම වාර්තාව කැඳවා ඇත්තේ පිටස්තර පුද්ගලයන් පදිංචිව සිටින බවට වන වාර්තාවක් තමන් අතට පත්වීමෙන් පසුව යැයි ද එම ආරංචි මාර්ග සඳහන් කළේය.

එම පිටස්තර පුද්ගලයන් සම්බන්ධයෙන් අදාළ නිවාස කුලියට ලබා ගෙන ඇති මන්ත්‍රිවරුන් ලිඛිතව දැනුවත් කිරීමටද නියමිතය.

මෙම නිවාස සංකීර්ණයේ නිවසකට පසුගිය 19 වැනිදා පිටස්තර පුද්ගලයෙක් ඇතුළු වූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ආරක්ෂක අංශ ද දැඩි කැළඹිකට පත් වී තිබිණි. එම පුද්ගලයා පැමිණ ඇත්තේ යුද හමුදා සාමාජිකයන් පිරිසක් සිටින නිවාසයකට බව පැවසෙන අතර ඊට යාබද නිවසේ පදිංචි මන්ත්‍රිවරයා කළ ඉල්ලීමකට අනුව මේ වන විට එම නිවාසයෙන් හමුදා සාමාජිකයන් ඉවත් කර ඇති බව පැවසේ.

මෙහි නිවාස එකසිය විස්සක් පවතින අතර ඉන් එකසිය එකොළහක් මන්ත්‍රිවරුන් වෙනුවෙන් සහ ඉතිරි නවය ආරක්ෂක අංශ සාමාජිකයන්ට මෙන්ම නිවාස සංකීර්ණයේ සේවා කටයුතු කරන පිරිස් වෙනුවෙන් වෙන් කර තිබේ. රුපියල් දහසක මාසික කුලියක් මත මන්ත්‍රිවරුන්ට මෙම නිවාස වෙන්කර ගැනීමට පහසුකම් සලසා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here