
පැය 36ක් තුළ යකඩ යකාට අලි 6ක් බිලි
MAWBIMA LK NEWS
By Mawbima -සැප්තැම්බර් 29, 2023
ඊයේ (සැප්. 28) උදෑසනින් අවසන් වූ පැය තිස් හය තුළ ධාවනය වූ දුම්රිය දෙකක ගැටී සිදු වූ අනතුරු හේතුවෙන් වන අලි මරණ 6ක් සිදුව ඇත.
දුම්රිය අනතුරු හේතුවෙන් මවු අලි දෙදෙනෙකු හා වයස අවුරුදු පහට අඩු අලි පැටවුන් හතර දෙනෙකු මේ අයුරින් මිය ගොස් ඇත.
මේ මරණවලට අමතරව තවත් කෙණෙරකගේ මළ සිරුරක් හම්බෙගමුව රොටවැව ප්‍රදේශයේ තිබී සොයා ගෙන ඇත. ඒ අනුව ගත වූ පැය තිස් හය තුළ සමස්තයක් ලෙස ගත් කල වන අලි මරණ හතක් වාර්තා වේ.
මඩකළපුව සිට කොළඹ බලා ඊයේ අලුයම ධාවනය වූ මීනගයා දුම්රියට හබරණ – පළුගස්වැව ප්‍රදේශයේ දී වන අලි දෙදෙනෙකු ගැටී තිබේ.
එදින අලුයම 12.30ට පමණ සිදු වූ මේ අනතුරින් ඇතින්නක සහ අලි පැටවෙකු මියගොස් ඇත. වයස මාසයක් පමණ වන අලි පැටවා එම ස්ථානයේදීම මියගොස් ඇති අතර දුම්රියේ ගැටී උගේ එක් පාදයක් වෙන්ව ගොස් ඇත. හොඬවැල කැපී වෙන් වී බරපතළ තුවාල ලැබූ ඇතින්න ද ඊයේ දහවල් මියගොස් තිබේ.
අවුරුදු 25-30ත් අතර වයසක පසුවෙතැයි සැක කෙරෙන මේ ඇතින්න ගනේවල්පොළ වනජීවී කාර්යාල නිලධාරීන් හා පශු වෛද්‍ය උදේශිකා මධුවන්ති ඇතුළු පිරිසකගේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇත. දුම්රියේ ගැටී ඇතින්නගේ හොඬවැල වෙන්වන අයුරින් කැපී ගොස් බරපතළ තුවාල ලබා ඇතැයි පැවසේ.
උතුරු දුම්රිය මාර්ගයේ ගල්ගමුව හා අඹන්පොළ දුම්රිය ස්ථාන අතර 98 වන කිලෝමීටර් කණුව අසලදී පෙරේදා (සැප්. 27) රාත්‍රියේදී වන අලි සිවු දෙනෙකු මඩකළපුව සිට කොළඹ බලා ධාවනය වූ මීනගයා දුම්රියේ ගැටීමෙන් මිය ගොස් ඇත.
දේවගිරිපුර සිට මී ඔය රක්ෂිතය දෙසට දුම්රිය මාර්ගය හරහා මාරුවෙමින් සිටියදී මේ අලි සිවු දෙනා දුම්රියේ ගැටී ඇත.
වයස අවුරුදු පහට අඩු අලි පැටවුන් තිදෙනෙක් සහ අවුරුදු තිහක පමණ වයසක පසුවන කෙණෙරක් මේ අනතුර හේතුවෙන් මිය ගොස් ඇති බවට සැක කෙරේ.
මේ අතර, හම්බේගමුව පොලිස් වසමට අයත් රොටවැව ප්‍රදේශයේ රක්ෂිතයක තිබී කෙණෙරකගේ මළ සිරුරක් පෙරේදා සවස සොයා ගෙන ඇත.
අවුරුදු විසිපහක් පමණ වයසක පසුවන අඩි නවයක් පමණ උසැති මේ කෙණෙරගේ ඇඟපුරා තුවාල දක්නට ලැබෙන බව පොලිසිය පවසයි.
ධාවනය වන දුම්රියවල ගැටී සිදුවන අනතුරුවලින් මිය යන වන අලින්ගේ සංඛ්‍යාව ඉහළ අගයක් ගැනීම නිසා නිමල් සිරිපාල ද සිල්වා ප්‍රවාහන අමාත්‍යවරයාව සිටියදී මේ සම්බන්ධයෙන් විසඳුම් සොයා බලා යෝජනා කිරීම සඳහා කමිටුවක් ද පත් කර තිබිණි. එම කමිටුව ඒ සඳහා විවිධ විසඳුම් යෝජනා කොට තිබුණ ද අද වන විටත් ඒ කිසිවක් ක්‍රියාත්මක වී නැති බවට පරිසරවේදී නයනක රන්වැල්ල චෝදනා කළේ ය.
කැලෑවලට ආසන්නයේ හා හඳුනාගත් අලි මංකඩ ආසන්නයේ දුම්රිය ධාවනය කිරීමේදී වේග සීමා පැනවිය යුතු බවට යෝජනා වුවද තවමත් එවන් ප්‍රදේශවලදී අලි දුම්රියේ ගැටී මිය යන බව ද ඔහු පෙන්වා දුන්නේ ය.
මේ ගැටලුව සම්බන්ධයෙන් පිළියම් යෙදීම සඳහා 2018 වසරේදී විසඳුම් යෝජනා කළත් ඒවා නිසියාකාරයෙන් ක්‍රියාත්මක නොවුණු බවට ජ්‍යෙෂ්ඨ පාරිසරික නීතිඥ ජගත් ගුණවර්ධන ‘මව්බිම’ට පැවසීය.
වන ජීවී දෙපාර්තමේන්තුව හා දුම්රිය දෙපාර්තමේන්තුව ඒකාබද්ධ එම විසඳුම් යෝජනා ක්‍රියාත්මක කළ යුතු වුවත් එහි වගකීම කිසිවෙකුත් භාර නොගන්නා බවට ඔහු චෝදනා කළේ ය.
වනජීවී කලාප ආසන්නයේ දුම්රිය ධාවනය කෙරෙන විට දුම්රිය රියැදුරු සමග වනජීවී නිලධාරියෙක් රැගෙන යාමට යෝජනා කළ ද ඇතැම් නිලධාරීන් එයට සිය විරෝධය පළ කළ බව ද හෙතෙම කීය.
දුම්රිය මාර්ගය ආසන්නයේ සංවේදක සවිකොට වන අලි දුම්රිය මාර්ගයට පිවිසෙන අවස්ථාවේදී සංඥා නිකුත් කිරීමට වැඩපිළිවෙළක් සකස් කිරීමට යෝජනා කළද එය ද අසාර්ථක වූ බව ඔහු පැවසීය.
විසඳුම් සාර්ථක වූ බව කෙටි කාලයක් ඒවා ක්‍රියාත්මක කිරීමේදී පැහැදිලි වූ නමුත් ඒවා දිගින් දිගටම ක්‍රියාත්මක කිරීමට නිලධාරීන් අපොහොසත් වූ බව ද ආචාර්ය ජගත් ගුණවර්ධන සඳහන් කළේ ය.
සවනි ශේශාධි, මරදන්කඩවල – ක්‍රිෂ්ණක සචින්, මහගල්කඩවල – එච්.එම්.සී. ඉලංගකෝන්, බිබිල – නඳුන් ගුණතිලක