
“පාසල් උපකරණවල පිළිකාකාරක” – වෛද්‍ය මහින්ද වික්‍රමාරච්චි
MAWBIMA LK NEWS
By Mithun Jayawardhana -දෙසැම්බර් 18, 2023
ප්‍රමිතියෙන් තොර ආනයනික පාසල් උපකරණ භාවිතයෙන් දරුවන් බරපතළ සෞඛ්‍ය අවදානමකට ලක්විය හැකි බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ තත්ත්ව පාලන අංශයේ ප්‍රධාන වෛද්‍ය මහින්ද වික්‍රමාරච්චි පැවැසීය.
ආනයනික ප්‍රමිතියෙන් තොර පැන්සල් සහ පාට පැන්සල්වල මතුපිට ආලේප වර්ණවල බැර ලෝහ අඩංගු විය හැකි බවත් ඒවා දරුවන් සම්බන්ධ අන්තර්ජාතික ප්‍රමිතියක් ලෙස පවතින EN71-3ට අනුකූල වී නොමැති බවත් හෙතෙම කීය.
මේ වන විට නමක් ගමක් සඳහන් කර නොමැති බාල තත්ත්වයේ ආනයනික පැන්සල් සහ පාට පැන්සල් මේ අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුව සකස් කරනවා යැයි විශ්වාස කළ නොහැකි බවත් ඒ අනුව මේවා භාවිත කරන කුඩා දරුවන්ගේ සිරුරට අහිතකර බැර ලෝහ ඇතුළු විය හැකි බවත් ඔහු සඳහන් කළේය.
මෙරටට ආනයනය කරන ලද බාල තත්ත්වයේ පැන්සල්, පාට පැන්සල්, ප්ලාස්ටික් වතුර බෝතල් සහ කෑම පෙට්ටි සම්බන්ධව පවතින ගුණාත්මකභාවයේ ගැටලු පිළිබඳ මවුපියන්ගෙන් පැමිණිලි ලැබීමත් සමඟ මේ පිළිබඳ සොයා බැලීමේදී මෙම කරුණු අනාවරණය වූ බව ද ඔහු කීවේය.
ප්ලාස්ටික් සම්බන්ධ අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුව භාවිතයට සුදුසු ප්ලාස්ටික් ශ්‍රේණිගත කර ඇති අතර ඒවා 01, 02, 04 සහ 05 ලෙස නම් කර තිබෙන බවත් ප්ලාස්ටික් වතුර බෝතල් සහ ප්ලාස්ටික් කෑම පෙට්ටි වැනි නැවත නැවත භාවිතයට ආහාර පාන ඇසිරීම සඳහා සුදුසු වන්නේ අංක 05 ලෙස සඳහන් ප්ලාස්ටික් බවත් ඔහු පැවසීය.
පිටත පතුල මත අංක 05 සඳහන් කර ඇති ඝනකමකින් යුත් ප්ලාස්ටික් වතුර බෝතල් සහ කෑම පෙට්ටි පමණක් දරුවන්ගේ භාවිතයට ලබා දෙන ලෙස මවුපියන්ගෙන් ඉල්ලා සිටින බවද ඔහු සඳහන් කළේය.
ප්ලාස්ටික් වර්ගවල බිස්ෆීනෝල් ඒ නම් පිළිකාකාරක රසායනිකය අඩංගු වෙන බවත් මෙය පිළිකා කාරකයක් වගේ ම දිගු කලක් මෙය අඩංගු ප්ලාස්ටික් භාජන භාවිතයේදී පීනස, හතිය සහ සම මතුපිට දද වැනි රෝග තත්ත්වයන් දරුවන්ට වැළඳෙන්නට හැකි බවත් ඔහු පැවසීය.
මෙම රසායනිකය අඩංගු නොමැති ප්ලාස්ටික් භාවිතයට සුදුසු ප්ලාස්ටික් හැටියට නම් කර ඇති බවත් එක් වරක් පමණක් භාවිත කරන වතුර බෝතල්, සීත කළ බීම වර්ග වැනි විවිධ තත්ත්වයන් යටතේ වන ආහාර පාන ඇසිරීමට මෙම භාවිතයට සුදුසු ප්ලාස්ටික්වල විවිධ අංක සඳහන් කාණ්ඩ නම් කර ඇති බවත් ඔහු සඳහන් කළේය.
ලැබෙන පොඩි ලාභය ගැන හිතා වෙළෙඳපොළේ තියෙන ආනයනික ප්‍රමිතියෙන් තොර ප්ලාස්ටික් උපකරණ මිල දී නොගෙන ගුණත්වයකින් යුත් පිළිගත් නිෂ්පාදන මිලදී ගන්න යැයි තමා ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඔහු වැඩිදුරටත් පැවැසුවේය.
ඒ් අතර රටේ පවතින ආර්ථික තත්ත්වය හේතුවෙන් ජනතාව ලාභ තැන්වලින් භාණ්ඩ මිල දී ගැනීමට හුරුවී සිටින බවත් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මේ සම්බන්ධයෙන් මවුපියන් අවධානයෙන් කටයුතු කළ යුතු බවත් අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත පැවසීය.
ප්‍රමිතියෙන් තොර පාසල් උපකරණ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා ලෙස පළාත් අධ්‍යාපන බලධාරීන් දැනුවත් කර ඇති බවත් මේ සම්බන්ධයෙන් පාසල් දැනුවත් කිරීම් කරන ලෙස ද උපදෙස් ලබා දුන් බවත් ඔහු වැඩිදුරටත් පැවසුවේ ය.