ප්‍රවීණ චිත්‍රශිල්පී බන්දුල හරි­ස්චන්ද්‍රයාණෙනි, ඔබට සුබ ගමන්

0
75

ශ්‍රී ලාංකීය චිත්‍ර කතාවේ ඉතිහාසයේ එක් යුගයක ඔහු යුග පුරුෂයෙකු විය. රුපවාහිනී නාළිකා නැති යුගයක චිත්‍රකතා එදිනෙදා ජිවිතයේ බැහැර කල නොහැකි විශේෂාංගයක් බවට පත්ව තිබුණි.දිනපතා හා සති අග පුවත් පත්වල අලෙවියට ප්‍රධාන සාධකයක් බවට චිත්‍රකතා පත්ව තිබු අතර පත්‍ර කලාවේ නැතිවම බැරිවූ සාධකයක් බවට එකී චිත්‍රකතා පත්ව තිබුණි,එකී චිත්‍ර කතාවේ ඉතිහාසයේ පුරෝගාමියෙකු වූ හා එහි සුවිශේහි කාර්ය භාරයක් ඉටු කල යුග පුරු­ෂ­යෙක් ලෙස ජ්‍යෙෂ්ඨ චිත්‍ර කතා ශිල්පියෙකු වන බන්දුල හරි­ස්චන්ද්‍රයනට හිමි වන්නේ මුල් තැනකි. ඔහු සිය ගමන් මග අවසන් කරමින් බන්දුල හරිස්චන්ද්‍ර මහතා අද (පෙබරවාරි 1 වනදා) අභාවප්‍රාප්ත වී තිබුණි.

දේශීය චිත්‍ර කතා කලා සම්ප්‍රදායක් ගොඩනැගීම සඳහා පුරෝගාමීව කටයුතු කළ බන්දුල හරිස්චන්ද්‍රයන් 1940 මැයි මස 24 වැනිදා උපත ලබා තුබූ ඒ මහතා මියයන විට 85 වැනි වියේ පසු විය.පාන­දුර, කෙසෙ­ල්වත්ත ගමේ උපත ලද දොම්පෙගේ බන්දුල හරි­ස්චන්ද්‍ර පීරිස් ශ්‍රී ජින ධර්ම­දාන විදු­හ­ලින් සිප්ස­තර හැදෑ­රී­මෙන් පසුව හේවුඩ් රජයේ ලලිත කලා­ය­ත­නයේ දී වැඩිදුර ශිල්පය හදා­රනු ලැබීය.

පාසැල් අවදියෙහි හ පටන් සිය නිර් මාණ සඳහා වසර ගණනාවක් තිස්සේ සම්මාන පිට සමාන ලබාගනිමින් පුව­ත්පත්, සඟරා, පොත් පිට­ක­වර, චිත්‍ර කතා, තොරණ සිය තෙළි­තු­ඩින් වර්ණ­වත් කළ හරි­ස්ච­න්ද්‍ර­යන් සම කළ නොහැකි චිත්‍ර ශිල්පියෙකු විය. ශ්‍රී ලාංකේය චිත්‍ර කතා කලාවේ ප්‍රථම වර්ණ චිත්‍ර කතාව ‘නළ දම­යන්ති’ නමින් නිර්මා­ණය කිරීමේ ගෞර­ව­යට ද හිමි­කම් කියන්නේ හරි­ස්චන්ද්‍රයන්ය.

.ජාතික කලා පෙර­මුණේ චිත්‍ර තර­ග­යෙන් වසර ගණනාවක්ම ප්‍රථම ස්ථානය ජය­ග්‍ර­හ­ණය කිරී­මත්, ජාතික කලා පෙර­මුණ විසින් පාන­දුරේ ආරම්භ කළ ලලිත කලා­ය­ත­නයේ චිත්‍ර ගුරුවරයෙකු ලෙස ඉගැ­න්වී­ම සිදු කරනු ලැබුවේය. අනතුරුව ඔහු හෙන්රි තෙන්න­කෝන් මහ­තාගේ මඟ පෙන්වීම අනුව ලේක්හ­වු­සි­යට සම්බන්ධ වූ හෙතෙම ‘දින­මිණ’ පුව­ත්පතට සේවය අරඹා තිබුණි.සිය පළමු චිත්‍ර කතාව වූ ‘සුලසා ජාත­කය’ 1962දී ඇඳීම නිසා ඇරඹුණු එහි1962 සිට 1978 දක්වා කාලයේ ලේක්හ­වුස් ආය­ත­නයේ සේවය කළේය.මෙම කාල වකවානුවතුළ ඔහු ‘දින­මිණ’, ‘සිළු­මිණ’, ‘නව­යු­ගය’ හා ‘සතුට’ පත්ත­ර­ව­ලට චිත්‍ර කතා නිර්මා­ණය කළේය. සිළු­මිණේ පළ වූ සිංහ­බාහු, පණ්ඩු­කා­භය, නයනා, පෙති­ගෝ­මර, හත්වැනි දවස, දේව­තා­පය, අරාබි නිසො­ල්ලා­සය, ග්‍රීක-රෝමා කතා, ජාතක ආදි වශ­යෙන් ඔහුගේ චිත්‍ර කතා විය.

1977 මා ලේක් හවුස් ආයතනයේ සිළුමිණ පුවත්පතෙහි සේවාව ඇරඹු සමයේ දී බන්දුල හැරිස් චන්ද්‍රයන් එම පුවත්පතේ චිත්‍ර ශිල්පියා ලෙස කටයුතු කළේය.උදැසන සිට මා ආසන්නයේ පුටුවකට නැඹුරුවී සිතුවම් මවමින් සිටි ඔහු දිනක්මට එක ඉරියව්වකට ඉන්නයයි ඇරයුම් කළේය.ඔහු මගේ ඉරියව් කිහිපයකින් සිතුවම් වලට නගා මට කිවේ ඔහු අළුතින් පටන් ගන්නා චිත්‍රකතාවේ මගේ හැඩරුව තිබෙන තරුණයෙකු ලෙස ඇතුලත් කරන බවයි. මේ කතාව සතිපතා සිලුමිණේ හි පළවූ “පෙති ගෝමර” චිත්‍ර කතාවයි. එය පසුව චිත්‍රපටියකටද නගා තිබුණි. මා ඇඳසිටි ඩබල් පොකට් කමිසය එලෙසම ඔහු සිතුවමට නගා තිබුණි.මේ කාලයේ උදේ හවස අප ගෙවූ කාලය මට අදමෙන් සිහිවේ.මා ලන්ඩනයේ සිටද ඔහුට කිහිප විටකදී කතාකරන්නට හැකිවුයේය. අද ඔහු අපෙන් සදහටම වියෝවී ගොසිනි.

තවද ජාතක කතා, සද්ධර්ම රත්නා­ව­ලිය සහ සද්ධ­ර්මා­ලං­කා­රය ඇසු­රින්, මහා­වං­ශය ඇසු­රින් උන්මාද චිත්‍රා, සිංහ­බාහු, පණ්ඩු­කා­භය, මහා භාර­තය ඇසු­රින් නළ දම­යන්ති, සකු­න්තලා, කතා සරිත් සාග­ර­යෙන් දේව­ස්මිතා, හෝමර්ගේ ග්‍රීක වීර කතා ඇසු­රින් රහස් හස්තය, හෙලන්, අරාබි නිසො­ල්ලා­සය ඇසු­රින් සින්බෑඩ්, කස­ප­හර, අලි බබා සහ හොරු හත­ළිහ රසි­ක­යාට මත­ක­යට නැඟෙන චිත්‍ර කතා කිහි­ප­යක් බව ඒ පිලිබඳ ලිපියක සඳහන්ව ඇත.

පසුව මල්ටි­ෆැක්ස් ආය­ත­න­ය­ටත්, කැමි­ලස් පබ්ලි­කේ­ෂන් ආය­ත­න­ය­ටත්, සුමති ආය­ත­න­ය­ටත් ඔහු එක්ව තිබුණි. ඒ කාලයේ දී චිත්‍ර කතා 170කට වඩා ඔහු විසින් නිර්මා­ණය කර ඇත. එයින් චිත්‍ර කතා 65ක් ජාතක කතායයි සඳහන් වේ.

පොත් කවර නිර්මා­ණය ද ඔහුගේ සුවි­ශේෂී දක්ෂ­තා­වකි. පොත් කවර නිර්මා­ණය ආරම්භ වන්නේ 1961දී දෙවු­න්දර සිරි­නන්ද හිමි­යන්ගේ ‘මගේ හීන’ කෙටි කතා පොතට පිට කව­රය ඇඳී­මෙනි. පෝස්ටර් සැල­සුම් හා ප්‍රචා­රක දැන්වීම කට­යු­තු­ව­ලදී තම අන­න්‍ය­තාව සල­කුණු කළ චිත්‍ර කලා­ක­රු­වකු ලෙස නමක් දිනා­ගැ­නී­මට ඔහුට හැකි විය. මුද්දර කාර්යාං­ශය හා එක්ව මුද්දර නිර්මා­ණ­යට ද යුනි­සෙෆ් සහ සෞඛ්‍ය අමා­ත්‍යාං­ශයේ ආරා­ධ­න­යෙන් පෝස්ටර්, කුඩා පොත්, අත්ප­ත්‍රිකා නිර්මා­ණ­යට ද දායක වීම ඒ අතර විශේෂ වේ. ඔහු ජාතික චිත්‍ර කතා පද­නමේ අනු­ශා­ස­ක­ව­ර­යෙක් ලෙස ද කට­යුතු කළේය.

දේශීය චිත්‍ර කතා කලා සම්ප්‍රදායක් ගොඩනැගීම සඳහා පුරෝගාමීව කටයුතු කරන ඒ මහතා අතීත ලෙන් විහාරවල ජාතක කතා සිත්තම් කළ සම්ප්‍රදාය අනුගමනය කරමින් චිත්‍ර කතා කලාව තුළ ගෙනගිය ගමන් මග ප්‍රශංසනීය එකක් බව කිව යුතුය.බන්දුලයන්ගේ මෙම සේවාව මෙතෙක් පැවත් කිසිදු රජයක් විසින් නිසි ලෙස අගය කල නැතැයි මට සිතේ.

චිත්‍ර ශිල්පයෙහි පරිනත අවධියේ දී පන්සල් බිතුසිතුවම් කලාවට යොමුවන ඒ මහතා බොරැල්ල ශ්‍රී ලංකාරාමය, අම්බලන්ගොඩ කලුවඩු මුල්ල යන විහාරස්ථානවල සිතුවම්කරනයට දායකත්වය ලබාදුන් අයෙකු විය.

ඒ මහ­තාගේ දේහය පාන­දුර, අළු­බෝ­මුල්ල, වල­ව්වත්තේ, අංක 14D නිවෙසේ තැන්පත් කර ඇති අතර, අව­සාන කට­යුතු අද (02) පස්වරු 4.30ට බණ්ඩා­ර­ගම සුසාන භුමි­යේදී සිදු කිරී­මට නිය­මි­තය.

ප්‍රවීණ චිත්‍ර ශිල්පී බන්දුල හරි­ස්චන්ද්‍රයාණෙනි , සුබ ගමන්

නීතිඥ ශාන්ත සේනාධීර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here