
පරිසරයට පෙම් බැඳි මානව හිතවාදියා
ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ
SLUMINA FEATURES
දිල්නුක සිල්වා
December 21, 2024
“වැලිතල අතරේ
හෙමිහිට බසිනා
නේරංජන නදියේ
ගයා හිස වැඩ සිට
බුදු වුණ දා
තිලෝහිමි මොක්සුව
ලද මොහොතේ
සමාධී භාවනා …”
ශ්‍රද්ධාසම්පන්න භක්තියක් සමඟින් මේ පද පෙළ අපට ආවර්ජනය වන්නේ ආකාර දෙකකිනි.
පළමුව අපට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ශ්‍රද්ධා ගෞරව පෙරදැරිව සිහිපත් වන අතර සෞන්දර්ය රසාකරයක් බඳු වූ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් ද ස්මරණය වන්නේ නිරායාසයෙනි. කෝමල රේඛා සුමිහිරි පද සිත්තමත් ඒ සමඟම අපට තව තවත් සමීප වන්නේය.
රුහුණු පුරයේ පුවක්දණ්ඩාව ගම්පියසේදී එක්දහස් නවසිය දහතුනේ ජූනි මස දහනවවනදා උපන් මානවසිංහන් හරි අපූරු නිර්මාණ රැසක හිමිකරුවෙකි.
බෙලිඅත්තේ ශ්‍රී පඤ්ඤානන්ද මිශ්‍ර බෞද්ධ පාඨශාලාවෙන් මූලික සිප් සතර හැදෑරු ඔහු සංස්කෘත, පාලි සිංහල ඇතුළු භාෂා කිහිපයක් ඉතාමත් තීව්‍ර ලෙස ප්‍රගුණ කිරීම අරුමයක් නොවුණත්, සාහිත්‍ය පෝෂණය සඳහා ඒවා යොදා ගත් ආකාරය ඉතා අගනේය.
1947 වසරේදී කොළඹ ටයිම්ස් මන්දිරයෙන් ලංකාදීප පුවත්පත ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව ඊට සම්බන්ධ වූ මානවසිංහයෝ තම අභාවය දක්වාම ලංකාදීපයත් සමඟ රැඳී සිටියේය.
රට ජාතියෙහි අභිවෘද්ධිය උදෙසා පෑන අවියක් කරගත් එතුමා වසර දාහතක් මුළුල්ලේ අඛණ්ඩව ලංකාදීපයට ‘වගතුග‘ නමින් තීරු ලිපියක් ලිව්වේය. මුළු මහත් ලංකාදීපයටම ඔහු තුළ තිබූ ආදරය කැටි වුණු එම තීරු ලිපිය පත්‍ර කලා ඉතිහාසයේ නොමැකෙන සටහන් තැබූ බව නොරහසකි.
කවියකු, පත්‍රකලාවේදියකු, ගීත ප්‍රබන්ධකයකු, පඬිවරයකු, පරිසරවේදියකු විචාරකයකු, ලේඛකයකු, දේශප්‍රේමියකු වශයෙන් විවිධ ක්ෂේත්‍රවල පෙළහර පෑ මානවසිංහයන් කලාව විචිත්‍රණය කරනු ලැබුවේ සැමවිටම මහත්මා ගති ගුණාංග පෙරදැරි වූ පරිසර හිතකාමියෙකු වශයෙනි.
කුඩා ළමයින් අතර බොහෝසෙයින් ජනප්‍රිය ‘මොනවද අම්මේ අකුරු ජාතියක් වැනි ගීත, සිනා රැල්ල වැනි කවි පන්ති මානවසිංහ ලකුණ නිරන්තරයෙන්ම සාහිත්‍ය ලෝකයේ හමුවේ කියාපාන අතරම ඔහුගේ නිර්මාණකරණයේ හදවත ලෙස කෝමල රේඛා කෘතිය හඳුන්වා දිය හැකිය.
තම සියලු නිර්මාණ සඳහා වෙන් වෙන් අනන්‍යතාවයන් බිහිකළ ඔහු එකම දෘෂ්ටි කෝණයක නොඇලී නිර්මාණකරණයේ යෙදීම එදවස විද්වතුන්ගේද පැසසුමට ලක් වූයේය.
රට දැය සමය වෙනුවෙන් උදාරව පෑන මෙහෙයවූ මානවසිංහයන් තම ජීවිතයේ අවසන් කාලය ගත කළේ බොරලැස්ගමුව ප්‍රදේශයේ ඉදි කළ ‘වාපි මේඛලා‘ නිවසේය. එක්දහස් නවසිය හැටහතරේ ඔක්තෝබර් මස හතරවැනිදා ඔහු සිය ජීවන ගමන නිමා කළ නමුදු ඔහුගේ නිර්මාණ අදත් සිංහල සාහිත්‍ය ලෝකයේ ජීවමානය.
දිල්නුක සිල්වා