
නොවැම්බර් මාසේ පළමු සති දෙකේ සංචාරකයන්ගේ පැමිණීම ලක්ෂය ඉක්මවයි
MAWBIMA LK NEWS
By Sachithra Perera -නොවැම්බර් 20, 2024
නොවැම්බර් මාසයේ පළමු සති දෙක ඇතුළත මෙරටට පැමිණි විදෙස් සංචාරකයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ඉහළ නිලධාරියෙක් පවසයි.
එම නිලධාරියා සඳහන් කළේ, නොවැම්බර් 1 වන දා සිට 17 වන දා දක්වා විදෙස් සංචාරකයන් 103,315ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ය.
ඒ අතරින් ඉන්දියාව, යුරෝපය, අමෙරිකාව සහ ඔස්ට්‍රේලියාව යන රටවලින් බහුතර සංචාරක පිරිසක් මෙරටට පැමිණ තිබේ.
2023 වසරේ නොවැම්බර් මාසය ඇතුළත විදෙස් සංචාරකයන් 108,080ක් ශ්‍රී ලංකාවට පැමිණ තිබිණි.
පසුගිය වසරේ සංචාරකයන් බහුතරය මෙරටට පැමිණ ඇත්තේ, රුසියාව, ඉන්දියාව, ජර්මනිය, එක්සත් රාජධානිය සහ අමෙරිකාවේ සිට ය.
මේ අනුව, 2023 වසරේ නොවැම්බර්වලට සාපේක්ෂව මෙම වසරේ නොවැම්බර්වලදී සංචාරක පැමිණීම වර්ධනයක් පෙන්නුම් කරන බව දත්ත සංසදනය කිරීමේදී පෙනී යයි.
පසුගිය වසරේ නොවැම්බර්වල පැමිණි සංචාරක සංඛ්‍යාව පසු කිරීම සඳහා මෙම වසරේ නොවැම්බර්වල මෙරටට පැමිණිය යුතු වන්නේ, තවත් සංචාරකයන් 4,766 ක් පමණි.
මෙම වසරේ නොවැම්බර් සිට නව සංචාරක සමය (winter season) ආරම්භ විය.
නොවැම්බර් මාසයේ සිට ලබන වසරේ මාර්තු මාසය දක්වා සංචාරක සමයේදී මෙරට ආකර්ෂණය වැඩි කිරීම සඳහා යූ ටියුබ් හා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රවර්ධන වැඩසටහන් කිරීමට බලාපොරොත්තු වන බව සංචාරක සංවර්ධන අධිකාරියේ නිලධාරියා පැවැසීය