Dr.Lakmal Kulasekara28/02/23 – 4 hrs ago

දේශපාලනය තේරුම් ගනිමුදැන් රැල්ල ඇත්තේ ජාතික ජන බලවේගයටය
සාම්ප්‍රදායික දේශපාලනයේ අවසාන පුරුක වූයේ මහින්ද රාජපක්ෂ යැයි සිතමි…යුද්ධය අවසාන කිරීම, යටිතල පහසුකම් දියුණු කිරීම ආදී රටට සාධනීය සෑහෙන දේ කළද පවුල කේන්ද්‍ර කරගත් දූෂිත, අනීතික දේශපාලන ප්‍රවේශය “වෙනස් වන්නට කැමති” සෑහෙන පිරිසකට සාම්ප්‍රදායික දේශපාලනය තිත්ත කර දැමුවේද මහින්ද රාජපක්ෂමය…
ඔහුගෙන් පස්සේ ආ මේ “වෙනස්” රැල්ලේ මුල් වාසිය ගත්තේ මෛත්‍රීය. වසර ගණනාවක් දේශපාලනය කරත් සාපේක්ෂව හොඳ එකෙක් යැයි සිතා මිනිස්සු ඔහුට ජන්දය දුන්හ. ඔහුට දෙවනි පාර ඉල්ලන්නටවත් බැරි විය.
ඊලඟ “වෙනස්” රැල්ල කැරකුණේ ගෝඨාභයටය. රාජපක්ෂ පවුලේම වුනත් වෙනස් එකෙක් වේ යැයි සිතා මිනිස්සු ජන්ද ය දුන්හ. ඔහුට වසර පහවත් රට පාලනය කරගන්නට බැරි විය.
දැන් ඒ “වෙනස” ජාතික ජන බලවේගය දෙසට හැරෙමින් පවතියි. ගෝඨාභයට ජන්දය දුන් “බයියන්” ලෙස හංවඩු ගැසුණු සෑහෙන පිරිසක් දැන් හැමදාම ජවිපෙයට ජන්දය දුන් රතු සහෝදරයන් සමග උද්යෝගයෙන් එකතුව සිටිනු දැකිය හැකිය…
දශක ගණනාවක් බල දේශපාලනයේ නියැලෙන අනුර කුමාර ප්‍රමුඛ ජවිපෙ කාඩරය මේ භූමියේ වාසිය තේරුම් ඇරගෙන සිටිනවාට සැක නැත.
මේ වෙලාවේ පැවැත්වෙන පළාත් පාලන ජන්දයකින් රටේ තිබෙන කේන්ද්‍රීය ප්‍රශ්නය වන ආර්ථික ප්‍රශ්නයට වෙන සුගතියක් නැතත් පළාත් පාලන ආයතන තුල බලය තහවුරු කරගැනීම එලඹෙන පාර්ලිමේන්තු මැතිවරණයකදීද ජනාධිපතිවරණයකදීද වැදගත්ය. ඕනෑම දේශපාලන පක්ෂයක් සිතන්නේ එහෙමය. ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයේ සිටින පක්ෂයක් බලය තහවුරු කරගැනීම සඳහා ක්‍රියාමාර්ග තේරීමේ ගැටලුවක් නැත.
අරගලයට එකතු වුනද මේ උද්ඝෝෂණ සමග එකතු නොවන්නේ මන්දැයි සමහරු අසති.
අප අරගලයට එකතු වූයේම සමස්තයක් හැටියට සමාජය වැටී තිබූ ආර්ථික අර්බුදයට, මාසගණනක් ගෑස් නැතිකමට, කිලෝමීටර ගණන් දුර පෙට්‍රල් පෝලිම්වලට, රටම එකතැනක හිරවීමට එරෙහිවය. ඒවා විසඳීමට සමත්කමක් රටේ නායකත්වය පෙන්නුම් නොකරන තත්ත්වයක් තුළ රටේ බහුතර සාමාන්‍ය මිනිස්සු එළියට බැස්සහ. එහි දේශපාලනයක් තිබුණද දේශපාලනික නායකත්වයක් තිබුණේ නැත. ඒ අරගලයේ ප්‍රතිපල ලෙස “ජීවිත බිලිනොගෙන” ගෝඨාභය ගෙදර ගියේය. රට පාලනය කළ විදිහ ගැන කිසිම පැහැදීමක් නැතද ගෙදර ගිය ගෝඨාභය ගැන මට ගරුත්වයක් ඇත.
දැං ඉන්නේ අරගලය නිසාම බලයට පත් වූ ජනාධිපති රනිල්ය. මා කිසිදවසක රනිල්ටවත් යූඇන්පියටවත් ජන්දය දී නැත. 2015 දී පොදු අපේක්ෂකයාට දුන්නේද මෛත්‍රී නිසාය. හැබැයි, අපට අවශ්‍ය තරම් වේගයෙන් නැතද තිබුණාට වඩා යම් ආර්ථික ස්ථාවරත්වයක් රටට තිබෙයි. IMF ණය ලැබුණොත් තත්ත්වය යහපත් වනු ඇත. රනිල්ද මේ බව දනියි. තමන්ට වාසි සහගත ලෙස පිටිය සැකසෙන තෙක් රනිල්ට ජන්දය තියන්නට වුවමනා නැත. ඔහු පෙලපාලිවලට පහර දෙන්නට සූදානමින් සිටියි. මේ ප්‍රවේශය ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මවලට පටහැණිය. රනිල් පහර දීමට සූදානම් බව දැනදැනම අනුර කුමාර පෙලපාලියේ එයි.
අනුරකුමාර වාගේම රනිල් කරන්නේද දේශපාලනය ය. එච්චරය.
ඒ නිිසා ඔය දේශපාලනය සමග එකතු වෙනවාද නැතිද යන්න තමතමන්ගේ පුද්ගලික තීරණයකි. මගේ පුද්ගලික මතය රටට හුස්මක් ගන්නට ඉඩ දිය යුතු බවය. සංචාරක කර්මාන්තය යාන්තමින් හිසඔසවාගෙන එන වෙලාවේ රටේ සාමකාමී පරිසරයක් තියෙන්නට ඕනෑය. පුලුවන් නම් සියලු දෙනා එකතු වී රටට ඇත්තට වැදගත් ආර්ථික ප්‍රතිසංස්කරණ ටික කරගතහොත් වටින්නේය.
රාජ්‍ය මුදල් ගිලින බහිරව ආයතන ටික ප්‍රතිව්‍යුහගතකරණය කරගතහොත් වටින්නේය. ඒත් මේ කාලකණ්ණි දේශපාලනයෙන් එහෙම බලාපොරොත්තු වී පලක් නැති බවද ඇත්තය…
රට හැදෙන්නට ඔිනෑ අප කැමති දේශපාලනයෙන් පමණක් යැයි කියන පටු සිතිවිල්ල අපට නැත…
මා දන්නා රටේ බොහෝ මිනිස්සු ද එහෙමය…
ඇඟ පුරා දේශපාලන මොලය තියෙනවා යැයි සිතා සිටින අය වාගේම දේශපාලනය යනු පරවේණි උරුමයක් යැයි සිතා සිටින කවුරු වුනත් බලයට එන්නේ ඒ මිනිස්සුන්ගේ ජන්දයෙනි…
ලක්මාල් කුලසේකර