
තායිලන්තයේදී අපේ පුංචි වීරයින්ගෙන් සුපිරි වාර්තාවක්
ADA DERANA LK NEWS
December 3, 2023 09:06 pm
තායිලන්තයේදී පැවති WESPA Youth Cup 2023 Scrabble තරගාවලියේදී ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් තිදෙනෙකු එහි පළමු, දෙවන සහ තුන්වන ස්ථානයන් හිමිකරගනිමින් සුවිශේෂී දක්ෂතාවයක් දැක්වීමට සමත්වූහ.
මෙලෙස එහි ශූරතාවය හිමිකරගෙන ඇත්තේ 16 හැවිරිදි වියේ පසුවන හිවින් දිල්මිත් විසිනි.
ඔහු ගාල්ල මහින්ද විද්‍යාලයේ සිසුවෙකි.
යෞවන Scrabble ශූරතාවලියේ දෙවන ස්ථානයද ශ්‍රී ලාංකික සිසුවෙකු වන අධීෂ දිසානායක විසින් හිමිකරගැනීම විශේෂත්වයකි.
15 හැවිරිදි වියේ පසුවන ඔහු කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසලේ ඉගෙනුම ලබයි.
කොළඹ රාජකීය විද්‍යාලයේ ඉගෙනුම ලබන කවිඳු මලවරආරච්චි යෞවන Scrabble ශූරතාවලියේ තුන්වන ස්ථානය හිමිකරගනිමින් මෙම සුවිශේෂී දක්ෂතාවය දක්වා තිබේ.
කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසලේ ඉමාඩ් ඉර්ෂාඩ් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වී තිබේ
මෙම සුවිශේෂී ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකා Scrabble කණ්ඩායම හොඳම කණ්ඩායම ලෙසද නම්කර ඇත.
පාකිස්තානයේදී පසුගිය වසරේ පැවති Scrabble ශූරතාවලියේදීද හොඳම කණ්ඩායම ලෙසට පත්වුයේ ශ්‍රී ලංකාව වීම තවත් විශේෂත්වයකි.
යෞවන Scrabble ශූරතාවලි ඉතිහාසයේ එකම රටක් නියෝජනය කරමින් සහභාගී වූ තරගකරුවන් එහි පළමු දෙවන සහ තුන්වන ස්ථාන හිමිකරගත් ප්‍රථම අවස්ථාවද මෙයයි.
මෙම තරගාවලිය සඳහා රටවල් 17ක් නියෝජනය කරමින් සහභාගී වූ තරගකරුවන් සහ තරගකාරිනියන් 142ක් අතරින් ශ්‍රී ලාංකික දරු දැරියන් දැක්වූ මෙම දක්ෂතාවය කතාබහට ලක්ව ඇත.