කුරුල්ලන් නිසා කටුනායක ගුවන් තොටුපළ කැළඹෙයි: කුරුලු රෑනකට තැබූ වෙඩිල්ල පුපුරා තිදෙනෙකු රෝහලේ

0
65

කුරුල්ලන් නිසා කටුනායක ගුවන් තොටුපළ කැළඹෙයි: කුරුලු රෑනකට තැබූ වෙඩිල්ල පුපුරා තිදෙනෙකු රෝහලේ
MAWBIMA LK NEWS
By T.K.G. Kapila-Katunayaka -ජනවාරි 21, 2025

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ධාවන පථය අසල ඉහළ අහසේ පියාඹමින් සිටි කුරුලු රංචුවක් පලවා හැරීම සඳහා, ඔවුන් වෙත එල්ල කළ කුරුල්ලන් පලවා හැරීමේ වෙඩි ප්‍රහාරයක්, නොපිපිරී යළිත්, ඔවුන් ගමන් කළ කැබ් රථය මතට ඇද වැටී පිපිරීමෙන් ඊයේ (ජන. 20) දහවල් ගුවන්තොටුපොළ සත්ත්ව සහ පක්ෂි උපද්‍රව පාලන අංශයේ නිලධාරීන් තිදෙනෙකු තුවාල ලබා මීගමුව මහ රෝහල වෙත ප්‍රතිකාර සඳහා ඇතුළත් කළ බව කටුනායක ගුවන්තොටුපොළ කාර්යය භාර නිලධාරිවරයා ප්‍රකාශ කළේය.

කටුනායක ගුවන්තොටුපොළ සත්ත්ව සහ පක්ෂි උපද්‍රව පාලන අංශයේ නිලධාරීන් වෙත ඊයේ දින දහවල් 11:45ට පමණ ගුවන්තොටුපොළ ධාවන පථයට ඉහළ අහසෙහි පක්ෂි රංචුවක්, ගුවන් ගමන්වලට බාධා වන අයුරින් පියාසලමින් සිටින බවට තොරතුරු වාර්තා වී තිබේ.

ඒ අනුව, එම නිලධාරීන් තිදෙනෙකු කැබ් රථයක් මගින් ගුවන් ධාවන පථය අසලට ගොස්, එම පක්ෂි රංචුව පලවා හැරීම සඳහා අහස් කූරු වැනි පුපුරන ද්‍රව්‍ය අඩංගු වෙඩි ප්‍රහාරයක්, එම පක්ෂි රංචුව දෙසට එල්ල කර තිබේ.

එම වෙඩිල්ල නොපිපිරී යළිත්, එම නිලධාරීන් ගමන් කළ කැබ් රථය මතට ඇදවැටී තිබේ.

ඒ වනවිටත් තවත් එවැනි වෙඩි කීපයක් එම රථය තුළ තිබී ඇති අතර ඒවාද, එකවරම පිපිරීමට ලක් වීමෙන්, හදිසි ගින්නක් ඇති වී තිබේ.

ඒ සමග ම කටුනායක ගුවන්තොටුපොළ ගිනි නිවීම් ඒකකයේ නිලධාරීන් ගිනි නිවීම් රථ කීපයක් යොදා ගනිමින් එම ගිනි ගැනීම මැඬපවත්වා තිබේ.

මෙම සිදු වීමෙන් මේ වනවිට කටුනායක ගුවන්තොටුපොළ සත්ත්ව සහ පක්ෂි උපද්‍රව පාලන අංශයේ නිලධාරීන් තිදෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා මීගමුව මහ රෝහල වෙත ඇතුළත් කර ඇති අතර එම නිලධාරීන් ගමන් කළ කැබ් රථයට ද හානි සිදු වී තිබේ.(MAWBIMA LK NEWS )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here