කුරුඳුවත්තට උසාවි යාදෙයිද?

0
46

කුරුඳුවත්තට උසාවි යාදෙයිද?

ප්‍රසාද් ධනුෂ්ක ගුණසිංහ

By Mawbima -නොවැම්බර් 9, 2025

උසාවි පරිසරයක් තුළ ඇති නොසන්සුන්කාරී මෙන්ම කලබලකාරී ගති ස්වභාවය සහ ඒ අවට ඇති අපිළිවෙළ ඉදිරියේදී නිහඬ තේජාන්විත කොළඹ 07, කුරුඳුවත්ත ප්‍රදේශයේත් අනාගතයේදී දක්නට ලැබේද? වත්මන් ආණ්ඩුව කොළඹ 07 ප්‍රදේශයේත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට අයත් නිවාස හතරක මහාධිකරණවලට ලබා දීම හරහා මෙතෙක් කොළඹ තේජාන්විතව බැබැළුණු ඒ ඓතිහාසික ප්‍රදේශ මුඩුක්කු සිරියක් ගනීද? අධිකරණයට යන එන අයගේ පහසුවට ඒ අවට පෙට්ටි කඩ ඇති නොවෙනු ඇතැයි සහතිකයක් දිය හැකිද?

වැසිකිළි පහසුකම් අවට අහුමුළුවල පිරිමසා ගැනීම මේ වැඩට එන අය කර නොගනු ඇත්ද? එතෙක් වැදගත් ධනපතීන් ලෙස පැවැති පැත්ත අලුත්කඩේ සිරිගනු ඇත්ද? මේ ඒ පැති පිළිබඳ සොයා බැලීමට දැරූ වෑයමකි. කුරුඳුවත්ත කියූ සැණින් සිහිපත් වන්නේ අපේ රටේ කුරුඳු වගා කරන ප්‍රදේශයක් නොව කොළඹ හත කුරුඳුවත්තයි. ඒ සමඟම ප්‍රභූ පෙළැන්තියේ සුපිරි නිවාස සමූහයක් සහිත සුඛෝපභෝගීව දිවි ගෙවෙන පිරිසක් පිළිබඳව මනසේ මැවීම නොවැළැක්විය හැකිය. එසේ වුවද කොළඹ හතේ කුරුඳුවත්තට ඒ නම වැටුණේ විසි වැනි සියවසේ මුල් භාගයේදී. එය සාරවත් කුරුඳුවත්තක් වූ නිසාය.

ඉංග්‍රීසි සිවිල් නිලධාරියකු වූ එමර්සන් ටෙනන්ට් සඳහන් කර ඇති ආකාරයට කොළඹ කුරුඳුවත්ත ප්‍රදේශය බෙහෙවින්ම සුවදායී පරිසරයක්ව පැවැතිණි. එමෙන්ම විශාල කුලුනු සහිත පුළුල් ආලින්දවලින් සමන්විත නිවාස රැසක්ද එදා කුරුඳුවත්තේ විය.

වෛද්‍ය ජෝන් ඩේව්ගේ ඩේව් දුටු ලංකාව නම් ග්‍රන්ථයේ සඳහන් වන ආකාරයට කොළඹ කුරුඳුවත්ත ප්‍රදේශයේ පැවැති පස සිලිකා මිශ්‍ර පාංශු සංයුතියකට නිදසුනකි. ඔහු සඳහන් කරන ආකාරයට කොළඹ කුරුඳුවත්ත, කොළඹ වැව (බේරේ වැව) හා උසින් මුළුමනින්ම පාහේ සමානය. ආවරණ සහිතය. වැස්ස බහුල වීම, උෂ්ණත්වය අධික වීම ආදී කාරණා නිසා කුරුඳු පැළ සාරවත් ලෙස වැඩෙන බවද කුරුඳු අස්වැන්න විශිෂ්ට වන බවද ඔහු වැඩිදුරටත් කියා ඇත.

මේ ආණ්ඩුව බලයට ආ පසු කුරුඳුවත්ත නැවතත් කතාබහට ලක් වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසූ කුරුඳුවත්තේම පිහිටි විජේරාම නිල නිවෙසද මාතෘකාවක් වූ නිසාය. හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් පිළිබඳ පනත සංශෝධනය කළ පසු එකී කතාබහ අවසන් වුවද යළිත් මාතෘකාවක් සමාජගත කළේ විදේශ අමාත්‍ය විජිත හේරත් මහතාය. ඒ කුරුඳුවත්ත ප්‍රදේශයේ නව මහාධිකරණ හතරක් ස්ථාපිත කිරීමට ආණ්ඩුව සැලසුම් කරන බව ප්‍රකාශ කිරීමය. නඩු කටයුතු ප්‍රමාද වීමට යටිතල පහසුකම් ප්‍රමාණවත් පරිදි නොමැති වීම බලපා ඇති බවත් ඊට පිළියමක් ලෙස නව මහාධිකරණ හතරක් කොළඹ කුරුඳුවත්ත ප්‍රදේශයේ පිහිටු වන බවත් ඇමැතිවරයා කියා තිබිණි. ඒ අනුව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට අයත් ග්‍රෙගරි මාවතේ B 88, බෞද්ධාලෝක මාවතේ C 76, විජේරාම මාවතේ D 108, ස්ටැන්මෝර් චන්ද්‍රවංකයේ D 12 යන ගොඩනැඟිලි ආදියේ මෙකී මහාධිකරණයන් ස්ථාපිත කිරීමට අපේක්ෂිත බව ඔහුගේ හෙළිදරව්ව විය.

සාමාන්‍යයෙන් කුරුඳුවත්ත අයත් කොළඹ හත කලාපය කොළඹ නගරයේ ඇති පොලිස්පති නිල නිවෙස, ප්‍රංශ ආදී තානාපති කාර්යාල, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු හා පුහුණු පර්යේෂණායතනය, දේශපාලකයන් හා ධනවත් ව්‍යාපාර හා ධනවත් ව්‍යාපාරිකයන්ගේ ප්‍රභූ නිවාස සහිත ප්‍රදේශයක් මෙන්ම සාපේක්ෂ වශයෙන්ම ජන ගනත්වයද අඩු එමෙන්ම පාරිසරික වශයෙන්ද නිස්කලංක ප්‍රදේශයකි. එකී ගොඩනැඟිලි නඩත්තුව මෙන්ම මාර්ග පිරිසුදුකම සලකා බැලුවද ඒවා කොළඹ අන් සියලු කලාපයන්ට සාපේක්ෂව සුපිරිය. යටත් විජිත ඉතිහාසය පිරික්සන විට මෙසේ කුරුඳුවත්තට හිමිව තිබූ ස්ථානය මීට පෙර හිමිව තිබුණේ කොළඹ පිටකොටුව ප්‍රදේශයටය. ලන්දේසි පාලන සමයේදී වර්තමාන පිටකොටුවෙහි පවතින පළමුවැනි, දෙවැනි, තුන්වැනි හරස් වීදිවල එකල ප්‍රභූ නිවාස විය. කුරුඳුවත්ත මෙන් ගස්කොළන් සහිත නිස්කලංක පරිසරයකින්ද යුතු විය. වර්තමානයේ පිටකොටුවේ ඇති විවිධාකාර ව්‍යාපාරික ස්ථාන සකස් කර ඇත්තේද එවක පැවැති එකී ගොඩනැඟිලි පදනම් කරගෙනය. ඉන් පසු එවන් ප්‍රභූ නිවාස මෙන්ම නිස්කලංක පරිසරයක් පැවැතී ඇත්තේ මට්ටක්කුලිය, වර්තමාන අලුත්කඩේ ඇතුළු හල්ස්ඩ්‍රොප් ප්‍රදේශයේය. මෙකී ප්‍රභූ නිවාස හා නිස්කලංක පරිසරය කුරුඳුවත්තට ලැබී ඇත්තේ ඉන් පසුවය.

ප්‍රශ්නය මෙයයි. ආණ්ඩුවේ නව යෝජනාවට අනුකූලව මහාධිකරණ සංකීර්ණය පිහිටුවූ පසු දැනට කුරුඳුවත්තේ පවතින නිසංසල පරිසරය ඝෝෂාකාරී වේද?

අලුත්කඩේ ප්‍රදේශය සම්පූර්ණයෙන්ම පාහේ අධිකරණ කටයුතුවලට වෙන් වී තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණය පමණක් නොව නීතිඥවරුන්ගේ කාර්යාලද නීති විද්‍යාලයද නීතියට සම්බන්ධ පුද්ගලයන්ගේ කාර්යාලද එහි තිබේ.

දිනපතා විවිධ නඩු කටයුතු උදෙසා පැමිණෙන විශාල ජනකායකගෙන් ඒ පරිසරය වැසී ගොසිනි. කුරුඳුවත්තේ මහාධිකරණ හතරක් ස්ථාපිත කිරීමෙන් එහි පවතින නිසල පරිසරය අලුත්කඩේ පරිසරයට සමාන නොවනු ඇතැයි කෙසේ සිතමුද?

අපේ ප්‍රකට නගර නිර්මාණ ශිල්පියකු වන කලම්බු ⁣ෆෝරමිහි විධායක අධ්‍යක්ෂ සහ ඔස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ආචාර්ය සරත් මාතරආරචිචි මහතාගෙන් අපි මේ පිළිබඳව විමසුවෙමු.

“ඇත්තටම කුරුඳුවත්ත වගේ විශේෂ ප්‍රදේශ නගරයක තිබිය යුතුයි. වැනීසිය, සූරිච් වගේ නගරවලත් මේ වගේ ප්‍රදේශ තියෙනවා. නගර නිර්මාණ ශිල්පියා නගරයක් සැලසුම් කරන්නේ කිසියම් පරමාර්ථ ඇතිවයි.

ඉඩම් පරිහරණයේදී, ගොඩනැඟිලි ඉදිකිරීමේදී පැවැතිය යුතු ආකාරය තියෙනවා. උදාහරණයක් හැටියට අපේ රටේම ගෝල්ෆේස් ග්‍රීන් එකේ කිසිවක් හදන්න අවසර නැහැ.

දැන් අලුත්කඩේ ගනිමු. ඒක කාලයක් තිස්සේ ක්‍රමිවකව ඇවිත් තමයි වර්තමාන තත්ත්වයට පිහිටලා තියෙන්නෙ. අපට ඒක හොඳද නරකද කියන්න බැහැ. ඇත්තටම නගර නිර්මාණය කරන්නේ බලලා නෙවෙයි. ඒක අපහසු දෙයක්.

නගරයක විවිධ මට්ටම්වල ජනතාව ඉන්නවා. නගර නිර්මාණ ශිල්පියා අහංකාර නැති, ඉතා සංවේදී, කාටත් ඇහුන්කම් දෙන ටයිකෝට් දාලා පාටිවලට යන්න පුළුවන් ජාතියේ කෙනෙක් වෙන්න ඕනෑ. හිතන්න පුළුවන්ද මම ඇයි එහෙම කිව්වේ කියලා. ඒකට හේතුව තමයි නගරයක විවිධ තරාතිරම්වල, විවිධ සමාජ මට්ටම්වල ජනතාව ජීවත් වෙනවා. ඒ අයගේ ජීවන මට්ටමත් විවිධාකාරයි. අනෙක් එක නගරයක් නිර්මාණය කිරීමේදී අපි සැලසුම් කරන්න ඕනෑ එක් පරම්පරාවක් ගැන විතරක් හිතලා නෙමෙයි. අනෙක් එක අනාගතයේදී ඇති විය හැකි තත්ත්වයන්ට ඔරොත්තු දීමටත් අපි නගරය සැලසුම් කරන්න ඕනෑ. ඒ නිසා එක දෙයක් නෙමෙයි හැමෝටම හැමදේටම සැලසුම් සකස් කළ යුතුයි. ඒත් එහෙම නගර නිර්මාණ ශිල්පීන් දැන් හරි අඩුයි.”

ආචාර්ය සරත් මාතරආරච්චි මහතා පැවැසූ කරුණු අනුව සැලකූ විටද කුරුඳුවත්තේ ඉදිකිරීමට යෝජිත මහාධිකරණයන්හි සැලසුම තවම පැහැදිලි නැත. මේ පිළිබඳව කුරුඳුවත්ත ප්‍රදේශවාසී ජනතාවගේ ප්‍රතිචාරයන්ද මේ වනතෙක් දැනගැනීමටද නොහැකිය. ඒ සමහරවිට අමාත්‍ය විජිත හේරත් මහතා අදහස් දක්වා වැඩි දවසක් ගත වී නැති නිසා විය යුතුය.

“ඕනම ඉඩමක්, ගොඩනැඟිල්ලක් භාවිත කරන කොට එහි බලපෑම ඒ ළඟ තියෙන අනෙක් ප්‍රදේශවලට ඒ වගේ බලපාන්නේ කොහොමද වගේම ඒවා භාවිත කරල ක්‍රියාවේ යොදවන්න වාතාවරණයක් තියෙනවද කියලත් බලන්න ඕනෑ. දැන් කොළඹ හතට මහාධිකරණ හතරක් පවත්වාගෙන යන්න කරන යෝජනාවත් ඒ වගේ. මේ පිළිබඳව විධිමත් අධ්‍යයනයක් කරන්න ඕනෑ. මොකද නගර නිර්මාණ ශිල්පය සංකීර්ණයි. මේකට සෘජු පිළිතුරු දෙන්න හැකියාවක් නැහැ.”

ආචාර්ය සරත් මාතරආරචිචි මහතා තවදුරටත් අප හා එසේ පැවැසීය.

කොළඹ හත හෙවත් කුරුඳුවත්ත යනු කොළඹ නගරයේ මෙන්ම අපේ රටේ මිල අධිකම දේපළ මෙන්ම ගොඩනැඟිලි ඇති ප්‍රදේශයකි. එකී ඉඩම් සහ ගොඩනැඟිලිවල හොඳින් ආයෝජනය කොට සාධනීය ප්‍රතිඵල ලබා ගැනීමේ වරදක් නැත. මෙවැනි ඉඩකඩම් හා දේපළ පෞද්ගලික අංශයට පවරා අත පිහදාගන්නවා වෙනුවට රජය සතුව තබා ගැනීමට රජය ගත් තීරණය නිවැරදිය.

“මම මේ ගැන දැනගත්තේ ප්‍රවෘත්තිවලින්. එතැනින් එහාට මෙම ක්‍රියාවලියේ ඉදිරිය පිළිබඳව මම දන්නේ නැහැ. හැබැයි මේක ගොඩනැඟිලි ලබාගත හැකියි යන සාධකය පමණක් සලකලා අදාළ ක්‍රියාවලියෙන් සිදු වන බලපෑම් ගැන නොසලකා ගත්තු තීරණයක් වෙන්න ඕනෑ. මම කලින් සඳහන් කළා වගේ මේ පිළිබඳව පුළුල් ගවේෂණයක් කළ යුතුයි. එයින් තමයි සාධනීය ප්‍රතිඵල අත්කර ගන්න පුළුවන් වෙන්නේ.”

ආචාර්ය සරත් මාතරආරචිචි මහතා අවසන් වශයෙන් කීවේ එවැන්නකි.

සාමාන්‍යයෙන් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කෙරෙද්දී ඊට උපදෙස් දෙන පාර්ශ්ව බොහෝ සිටිය හැකිය. ඒ සමහර උපදෙස් සාධනීය විය හැකි නමුත් අදාළ උපදෙස්වල ඇති ප්‍රයෝජන අල්පද විය හැකිය. ඒ නිසා මෙවැනි අවස්ථාවල ක්⁣ෂේත්‍රයේ විශේෂඥ උපදෙස් මත කටයුතු කරනු විනා දේශපාලන අරමුණු පමණක් පෙරදැරි කරගෙන කටයුතු නොකිරීමට ආණ්ඩුව වග බලා ගත යුතු බව අපේ හැඟීමයි.

ප්‍රසාද් ධනුෂ්ක ගුණසිංහ

කුරුඳුවත්තට උසාවි යාදෙයිද? - මව්බිම

mawbima.lk

කුරුඳුවත්තට උසාවි යාදෙයිද? – මව්බිම

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here