
කමිඳු ශ්‍රී ලංකාව ගොඩගනී – ලෝක වාර්තාවක් සම කරයි
DIVAINA LK NEWS
සුසිල් ජයකොඩි
September 19, 2024
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ඊයේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ විය.
දිනය නිමාවන විට ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා කඩුලු 07 ක් දැවී ලකුණු 302ක් ලබා තිබිණි.
පෙර පැවති ටෙස්ට් තරග ත්‍රිත්වයේම කාසියේ වාසිය දිනා ගත් පරිදිම ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා ගාල්ල තරගයෙත් කාසියේ වාසිය දිනා ගැනීමට සමත් විය.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කළේ පන්දුවට පහර දීමටයි.
මීට පෙර ගාල්ල ක්‍රීඩාංගණයේදී පැවැති තරග හතරම ජය ගැනීමට ශ්‍රී ලංකාවට හැකි විය.
ශ්‍රී ලංකාව මේ වනවිට ලෝක ටෙස්ට් ශූරතා ප්‍රසාද ලකුණු සටහනේ 6 වැනි ස්ථානයේ පසුවන අතර නවසීලන්තය රැඳී සිටින්නේ එහි පස්වැනි ස්ථානයේය.
ලෝක ශූරතා ටෙස්ට් තරගාවලියේ අවසන් තරගයට පිවිසීමේ බලාපොරොත්තු තබා ගැනීමට නම් දෙපිලටම මෙම තරග දෙකේ ජය තීරණාත්මක වේ.
දඟ පන්දුවේ වාසිය ගැනීමේ අරමුණින් ප්‍රභාත් ජයසූරියට අමතරව රමේෂ් මෙන්ඩිස් ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවා තිබෙන අතර එංගලන්තයේදී දස්කම් පෑ මිලාන් රත්නායකට කණ්ඩායමේ ස්ථානය අහිමි විය.
ආරම්භක පිතිකරුවන් යුගලය ශ්‍රී ලංකා පළමු ඉනිම ඇරඹූ අතර සාර්ථක ආරම්භයක් ලබාගැනීමට ඔවුන්ට නොහැකි විය. මුල් කඩුල්ල ලෙස දිමුත් කරුණාරත්න දැවී ගියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ මුළු ලකුණු 20ක් තිබිය දීය.
ප්‍රවේගකාරී පිතිකරණයක නිරතව සිටි පැතුම් නිශ්ශංක ලකුණු 27කට විලියම් ඕ’රොකී යැවූ පන්දුවක් හමුවේ දැවී ගියේය.
ඉන්පසු යම්කිසි විශ්වාසයකින් යුතුව පන්දුවට පහර දෙමින් දිනේෂ් චන්දිමාල් සහ ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඉහළ නැංවීමට උත්සාහයක නිරත වූහ.
තුන්වැනි කඩුල්ල සඳහා ක්‍රීඩා කිරීමට පැමිණි ඇන්ජලෝ මැතිව්ස්ට නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක විලියම් ඕ’රොකී යොමු කළ පන්දුවක් දකුණතෙහි දබරැඟිල්ලෙහි වැදී ආබාධයකට ලක් විය.
ක්‍රීඩා පිටියේදී ඒ සඳහා ප්‍රතිකාර කිරීමෙන් පසුව ද එක් පන්දු වාරයක් පමණ ක්‍රීඩා කිරීමට උත්සාහ දැරුව ද ඇඟිල්ලේ මතුවූ අධික වේදනාව නිසා මැතිව්ස් ක්‍රීඩාගාරයට ගමන් කළේ සිය ස්ථානය කමිඳු මෙන්ඩිස්ට ලබා දෙමිනුයි.
ආබාධයකට ලක්වූ තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් යළිත් පන්දුවට පහර දීමට යෝග්‍ය ශරීර සෞඛ්‍ය මට්ටමක සිටින බැවින් සිව්වැනි කඩුල්ල ලෙස දැවී ගිය ධනංජය ද සිල්වාගෙන් පසුව 5 වැනි කඩුල්ලටයි.
දිනේෂ් චන්දිමාල් ද ලකුණු 30කට දැවී ගිය අතර ඒ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 04කට ලකුණු 106ක් ලබා සිටියේය.
නවසීලන්ත කණ්ඩායමේ සාර්ථකම පන්දු යවන්නා ලෙස විලියම් ඕ’රොකී අගනා මෙහෙයක් සිදුකළේය.
අඩි 6යි අඟල් 4ක් උස වේග පන්දු යවන්නා තවමත් ක්‍රීඩාකර ඇත්තේ ටෙස්ට් තරග දෙකකි.
ඇන්ජලෝ මැතිව්ස් යළි ක්‍රීඩාපිටියට පිවිසියත් වැඩි වේලාවක් පන්දුවට පහර දෙන්නට නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක විලියම් ඕ’රොකී ඉඩ ලබා දුන්නේ නැත.
ඇන්ජලෝ මැතිව්ස් දැවී යනවිට ශ්‍රී ලංකා පිල ලකුණු 178කට කඩුලු 5ක් දැවී ගොස් තිබිණි.
යළි යළිත් සාර්ථක වූ කමිඳු මෙන්ඩිස් ශ්‍රී ලංකා ඉනිම අලංකාර කරමින් වාර්තාවක් ද තබන්නට සමත් විය. කමිඳු මෙන්ඩිස් මේ වනවිට තමන් ක්‍රීඩා කළ පළමු ටෙස්ට් තරගයේ සිට නොකඩවා වැඩිම වාර ගණනක් අර්ධ ශතක ලබාගැනීමට සමත් වූ ක්‍රීඩකයන් අතර සම ස්ථානයක් හිමිකර ගැනීමයි.
කමිඳු ටෙස්ට් තරග 07කට එක්ව ඇති අතර ඔහු සෑම තරගයකදීම අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත් වී ඇත.
ඒ අනුව ඔහු නවසීලන්තයට එරෙහිව පළමු ටෙස්ට් තරගයේදී පළමු ඉනිමේදී ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කිරීමට සමත් විය. ඔහුගේ සම තැන ගෙන සිටින්නේ පාකිස්තානයේ සෞද් ශකීල් සමගය.
නවසීලන්තයට එරෙහිව කමිඳු මෙන්ඩිස් විශිෂ්ට ශතකයක් වාර්තා කිරීමට ද සමත් විය.
කමිඳු ලොව ටෙස්ට් ක්‍රිකට් ශතකලාභීන් අතර වේගවත්ම මෙන්ම අඩුම ඉනිම ගණනකින් අඛණ්ඩව තරග කර ශතක ලබාගත් පළමු ක්‍රීඩකයා බවට ද පත්විය. කමිදු සිව්වන ශතකය ලබා ගත්තේ ටෙස්ට් ඉනිම් 11ක් තුළයි.
කුසල් මෙන්ඩිස් ලකුණු 50ක් ලබා සිටියදී දැවී ගිය අතර කමිඳු මෙන්ඩිස්ගේ අලංකාර පහරවල් රැසක් සමගින් සිය ලකුණු 114ක් ලබා සිටියදී අජාස් පටෙල් යැවූ පන්දුවකට උඩ පන්දුවක් ලබා දෙමින් දැවී ගියේය. දිනය නිමා වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 302ක් ලබා සිටි අතර කඩුලු 7ක් දැවී ගොස් තිබිණි. මේ වනවිට කඩුල්ලේ රැඳී සිටින ප්‍රභාත් ජයසූරිය සහ රමේෂ් ප්‍රනාන්දුය.
ශ්‍රී ලංකා පළමු ඉනිම 302/7
කමිඳු මෙන්ඩිස් 114
කුසල් මෙන්ඩිස් 50
ඇන්ජලෝ මැතිව්ස් 36
දිනේෂ් චන්දිමාල් 30
නවසීලන්තය පලමු ඉනිමේ පන්දු යැවීම
විලියම්ස් ඕ’රොකී 54/3
ග්ලේන් පිල්ප්ස් 52/2
ටිම් සවුති 48/1
අජාස් පටෙල් 58/1
DIVAINA LK NEWS