
කන්ටේනර් 309 පිට කිරීම වැරදියි’- ජනපති පත් කළ කමිටුවේ වාර්තාව විපක්ෂ මන්ත්‍රී මුජිබර් එළියට දමයි
By -අනුරාධා හේරත්, ක්‍රිෂාන් පතිරත් ජයසූරිය
Mawbima lk News
ජූලි 1, 2025
භෞතික හා ස්කෑන් පරීක්ෂාවට අනිවාර්යෙන් ලක්කළ යුතු රතු ලේබලය සහිත කන්ටේනර් 37ක් ස්කෑන් පරීක්ෂාවෙන් ද තවත් 114ක් භෞතික පරීක්ෂාවෙන් තොරව 2025 ජනවාරි 9 වන දා නිදහස් කර ඇතැයි ආන්දෝලනයට තුඩු දුන් රේගුවේ බහලුම් නිදහස් කිරීම සම්බන්ධයෙන් වූ ජනපති විමර්ශන වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගතකරමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ඊයේ (ජූනි 30) චෝදනා කළේ ය.
රේගු දෙපාර්තමේන්තු බහලුම් නිදහස් කිරීමේ ක්‍රමවේදයේ වර්ගීකරණයේදී රාජ්‍ය ප්‍රතිපත්ති හෝ ජාතික ආරක්ෂාව ව්‍යතිරේකයක් සේ නොසැලකෙන රතු ලේබලයෙන් යුත් කන්ටේනර් මෙසේ නිදහස් කිරීම බරපතළ තත්ත්වයක් බව මෙම වාර්තාවේ සඳහන් වන්නේ යැයිද පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් කීවේ ය.
මීට අමතරව කහ ලේබලයෙන් යුත් කන්ටේනර් 158ක් ද භෞතික පරීක්ෂාවෙන් තොරව නිදහස් කිරීමෙන් එදින කන්ටේනර් 309ක් මෙසේ නිසි පරීක්ෂාවකට ලක් නොකොට නිදහස් කර ඇතැයි ද ඒ අනුව මෙම සිදුවීමේදී පැහැදිලිවම දූෂණයක් වී ඇති බව රජයේ මෙම විමර්ශන වාර්තාවෙන් අනාවරණය වන්නේ යැයි මන්ත්‍රිවරයා අවධාරණය කළේ ය.
මෙම සිදුවීම ගැන අල්ලස් කොමිසමට හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබියදී ඒ ගැන විමර්ශන නොකරන්නේ ඇයිදැයි ප්‍රශ්න කළ හෙතෙම විමර්ශන වාර්තාවක් නිකුත්වීමට පෙර ම මැති ඇමතිවරුන් එහි වංචාවක් වී නැති බව කීමට කලබල වූයේ ඇයි දැයි වැඩිදුරටත් ප්‍රශ්න කළේ ය.
මහ බැංකු බැඳුම්කර සිදුවීමේදී රනිල් වික්‍රමසිංහ චෝදනාවට ලක්වූයේ මහ බැංකුව අගමැතිවරයාගේ යටතේ තිබීම නිසා යැයි ද ඒ අනුව රේගු දෙපාර්තමේන්තු ප්‍රශ්නයේදී ජනාධිපති අනුර කුමාර දිසානායකට ද ගැලවීමක් නැතැයිද මන්ත්‍රීවරයා පැවසීය.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු ව්‍යාපාරිකයන්ට බදු සහනදී රාජ්‍ය ආදායම අඩුකරගත්තේ යැයි ද ඒ අයුරින් ම ජාතික ජන බලවේගයට මැතිවරණයේදී සහාය දැක්වූ ව්‍යාපාරිකයන්ගේ කන්ටේනර් මෙසේ නිදහස් කළේ දැයි සාධාරණ සැකයක් මෙයින් මතුවන්නේ යැයි ද මන්ත්‍රීවරයා අවධාරණය කළේ ය.
අනුරාධා හේරත්, ක්‍රිෂාන් පතිරත් ජයසූරිය