
එ.ජා. ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වන ආසියා පැසිෆික් කලාපීය සමුළුව ශ්‍රී ලංකාවේදී
By Mawbima lk News–අගෝස්තු 29, 2023
එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වන ආසියා පැසිෆික් කලාපීය සමුළුව (Asia Pacific Regional Conference) මෙරටදී පැවැත්වීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය සඳහන් කළේ, මෙම සමුළුව 2024 වසරේ පෙබරවාරි මාසයේ පැවැත්වීමට නියමිත බව ය.
මෙම සමුළුව පැවැත්වීමේදී රාජ්‍ය අනුග්‍රහය ලබා දීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීමට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දුන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය.
වසර ගණනාවකට පසු එනම්, පසුගිය පාස්කු ප්‍රහාරය, කොවිඩ් වසංගත තත්ත්වය හා මෙරටට බලපෑ ආර්ථික අර්බුදය සහිතව ගත වූ කාලසීමාව තුළ රටවල් විශාල ගණනක නියෝජිතයන් සහභාගී වන අන්තර්ජාතික සමුළුවක් මෙරටදී පවත්වා නැති බව කෘෂිකර්ම අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ තවදුරට ත් සඳහන් කර ඇත.
ඒ අනුව, UNFAO – Asia Pacific Regional Conference සමුළුව මෙරටතුළ ඉතාමත් ම ඉහළින් පැවැත්වීම සඳහා කටයුතු සැලසුම් කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර අමාත්‍යංශයේ නිලධාරීන්ට ඊයේ (අගෝ. 28) උපදෙස් ලබා දී ඇත.