
ඉන්ධන පිරවුම්හලක සේවය කර බිලියනපතියෙක්ව උපන් ගමට ටෙස්ට් පිටියක් තැනූ මහත්මයෙක්
SUNDAY DIVAINA FEATURES
සමන්තා ප්‍රින්සි ලාලනී
November 17, 2024
මඩකලපුවට ක්‍රිකට් පිටියක් නොව ක්‍රීඩා ගම්මානයක්
මහා බ්‍රිතාන්‍යයේ ඛණිජ තෙල් ව්‍යාපාරයේ පළමු තිහ අතරට
ගිය ව්‍යාපාර ජාලයක හිමිකරුවෙක්
ආර්ථික පසුබෑම් සමයේ බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ ණයත් පියවලා
ක්‍රීඩාවේදී “මහත්වරු” ගැන කතා කරයි. ක්‍රිකට් ක්‍රීඩාවේදී මහත්මා ගුණය ගැන වඩ වඩාත් කතා කරයි. “මහත්හොරු” ගැන කතාබහට ලක්වන යුගයක මහත්වරුන් සොයාගැනීම අසීරුය. මේ එවන් මහත්මයෙකු සොයා ගිය ගමනකි. ගොයම් කපා අවසන්වූ වෙල් ඉපනැල්ලක ගමේ කොල්ලො කුරුට්ටන්ට ලැබෙන තාවකාලික පිට්ටනිය මහ දෙයක් නොවේ. ජාතික ජාත්‍යන්තර තලයේ ක්රීඩක්යන් බිහිකිරීමට පුහුණුව, තාක්ෂණය, උපකරණ මෙන්ම තාක්ෂණයට සැකසුන තණතිල්ල ඇතුළු ක්‍රීඩා පිටියක වැදගත්කම අමුතුවෙන් කිවයුතු නොවේ. තරග කීපයක් හැර පසුගිය සමයේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් පසුබැස්මක් තිබුණ බව පිළිගත යුතුය. ජාතික තලයට ක්‍රීඩකයන් දායක කිරීමට පසු පෙළක් තැනීම හා පසු පෙළ ශක්තිමත් කිරීම ප්‍රතිපත්ති සැලසුම් කරන්නන්, පරිපාලකයාගේ සිට පාසල දක්වා ගෙනයා යුතුය. පාසලෙන් පටන්ගෙන තෙවන පෙළ දෙවන පෙළ පළමු පෙළ සිට ජාතික මට්ටම දක්වා යාහැකි මගක තිබිය යුතුය. රටේ ප්‍රධාන නගර ආශ්‍රිතව මෙවන් පහුසුකම් තිබුණත් “දුෂ්කර” පළාත්වල තත්ත්වය විමසීම වටී.
ක්‍රීඩාව අයිති අමාත්‍යාංශය හා සම්මේලන, සංගම්, විශ්වවිද්‍යාලයන් සතුව මෙවැනි ක්‍රීඩා පිටි අතළොස්සක් හෝ තිබීම ගැන පුදුම වියයුතු නැත. එවන් තත්ත්වයක් තුළ, තම උපන් බිමෙන් බැහැරව වසර 40 ක් ගත කළ “මහත්මයෙක්” තමන්ගේ උපන් ගමෙට අපූරු තෑග්ගක් ලබාදී තිබේ. ඒ ජාත්‍යන්තර තලයට යා හැකි ක්‍රිකට් ක්‍රීඩාංගණයක් යැයි කිවහොත් ඔබ පුදුමයට පත්වනු නිසැකය. හෙතෙම ඒ ක්‍රීඩා පිටිය සඳහා සිය ධනය මිලියන ගණන් වියදම් කර තිබේ. ක්‍රීඩා පිටියක අගය වටිනාකම් දැනෙන්නේ කුමන හෝ ක්‍රීඩාවක යෙදුණු ක්‍රීඩකයෙක් නැතහොත් ක්‍රීඩාවට ආදරය කරන්නෙකුට මිස අනෙකෙකුට නොවේ. අක්කර 10 ක සම්පූර්ණ වපසරියක කිසිදු ලාභ චේතනාවකින් තොරව අක්කර 6 ක ක්‍රිකට් පිටියක් සහ ශක්තිවර්ධන මධ්‍යස්ථාන, නේවාසික පහසුකම් ඇතුළු අංග සම්පූර්ණ ක්‍රීඩා ගම්මානයක් මඩකළපුවට ඔහු දායාද කර තිබේ.
මඩකලපුවේ ඇත්තන්ට හැදූ මෙකී ක්‍රීඩා ගම්මානයේ තොරතුරු අනාවරණය කරගන්නට මාස කීපයක් ගතවිය. මඩකලපුවේ සෙල්ලමට සම්බන්ධ පිරිසට මෙහි වටිනාකමක් නැතිවාද මෙහි ප්‍රසිද්ධිය දරාගත නොහැකිද යන්න නොදනිමු. උත්සාහය අත් නොහැරිය තැන අපට “මඩකලපුවේ ක්‍රිකට්” ගැන අනාවරණය කරගත හැකි වූයේ කොළඹිනි. අප ඔබට කියන්නේ ඒ කතාවය. මේ විසල් ව්‍යාපෘතියේ ලංකාවේ නියෝජිතයා මාලිංග සූරප්පුලිගේය. ඔහු පවසන පරිදි මෙම සංකල්පයේ යෝධ නියමුවා “පුවනසිංහම් වසිහරන්” ය.
පුවනසිංහම් වසිහරන් ගැන කථා කරන්නට පෙර ඔබ “මාලිංග සූරප්පුලි” කවරෙක් දැයි දැනගත යුතුය. මාලිංග සූරප්පුලිගේ කොළඹ නාලන්දාවෙන් බිහිවුණ ක්‍රිකට් ක්‍රීඩකයෙකි. ඔහු නාලන්දාවේ හිටපු පුහුණුකරුවාද වන්නේය. මාලිංග සූරප්පුලි පළමු පෙළ ක්‍රිකට්වලින් පසු එංගලන්තයේ ලීග් ක්‍රීඩාවට යොමුවෙයි. එහි උසස් අධ්‍යාපනයට යොමුව නැවත ලංකාවට පිවිස පුහුණුකරුවෙක් ලෙස කටයුතු කර මින් පරිපාලකයෙක් ලෙස කොළඹ සිට මඩකලපුවට යන්නේය. ඒ පුවනසිංහම් වසිහරන් මහතා ඉදිකළ ක්‍රීඩා ගම්මානයේ වගකීම සියතට ගනිමිනි. එංගලන්තයේ පළමු පෙළ ලීග් ක්‍රීඩා කරන කාලයේ 2006 වසරේ සිට වසිහරන් මහතාගේ හිතවත්ම සොයුරෙකු වූ උදයරාජ් රාමදාන් හා බැඳුණු හිතවත්කම පසුකාලීනව මාලිංග වසිහරන් සුසංයෝගය මඩකලපුවේ ක්‍රිකට් ගම්මානයට පදනම විය. දුරකථන සංවාද කීපයකින් පසු ඇතිවූ දැඩි විශ්වාසය පදනම් කර මිලියන ගණනක විසල් ව්‍යාපෘතියේ වගකීම් සහ භාරකාරීත්වය ඔහුට පැවරී ඇත.
ඉන්ධන පිරවුම්හලක සේවය කර බිලියනපතියෙක්ව උපන් ගමට ටෙස්ට් පිටියක් තැනූ මහත්මයෙක්
ක්‍රීඩාංගණය විවෘත කළ දා හමුදා නිලධාරීන් හා පුවනසිංහම් වසිහරන්
මහා බ්‍රිතාන්‍යයේ ඛණිජ තෙල් ව්‍යාපාරයේ පළමු 30 අතරට රටෙහි පැවති නොසන්සුන්තාවය සමග අසූව දශකයේ මුල් භාගයේ තරුණ පුවනසිංහම් වසිහරන් ඔහුගේ දෙමව්පියන් එංගලන්තය බලා පිටත්කර හරින්නේය. ඔහුගේ දෙමව්පියන් රජයේ සාමාන්‍ය රැකියාවල නිරතව සිටි බව ඔහු කියන්නේය. එවකට 22 හැවිරිදි වියෙහි පසුවූ පුවනසිංහම්, ලන්ඩනයේ ඛණිජ තෙල් සේවා සපයන ආයතනයක සාමාන්‍ය සේවකයෙක් ලෙස රැකියාව ආරම්භ කරන්නේය. වසර කීපයකදී සැම සිත් දිනා ගනිමින් කැපවීම විශ්වාසය සද්භාවය මත සුරීක්ෂකයෙක්, කළමනාකරුවෙන් ලෙස ඉතා කෙටි කාලයකදී උසස්වීම් ලබන්නට ඔහු සමත් විනි. අවංක සේවය ඔහුගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍ය විවර කර දෙන්නේය.
දමිළ ඩයස්පෝරාව හා සම්බන්ධ බවට රට්ටු කියන කතා
වසිහරන් පුවානසිංහම් දමිළ ඩයස්පෝරාවට මුදල් යොදවන්නෙකු බවත් දෙමළ ඩයස්පෝරාව මෙම ව්‍යාපෘතියට සම්බන්ධ බවටත් කියැවෙන කතා ගැන කොටටමුනේ ක්‍රීඩාංගණයේ ක්‍රිකට් ක්‍රීඩා අධ්යක්ෂ මාලිංග සූරප්පුලිගෙන් අපි විමසුවෙමු.
“මේ කතාවේ ඇත්ත නැත්ත මම මූණටම ඇහුවා වසිහරන් මහත්තයගෙන්. එල්ටීටී බලපෑම ගැන අපූරු කතාවක්” මාලිංග සූරප්පුලි කියන්නේය.
“මම යම්තාක් දුරට වාසනාව විශ්වාස කරන කෙනෙක්. මහන්සි වෙලා වැඩකරද්දී වාසනාව ලැබෙනවා. ලංකාවෙ ප්‍රශ්න වැඩිවෙන කොට ලන්ඩනයේ දමිළ ප්‍රජාවගේ ඔළුවෙ හැදෙනවා ලංකාවෙ තමන්ගේ දරු පවුල් බලාකියාගෙන ඉන්න එකම කෙට්ඨාසය එල්ටීටීය කියලා. ආණ්ඩුවෙන් කිසි දෙයක් කරන්නෙ නෑ. ඒ නිසා අපි උදව් කළොත් තමයි ඔවුනට පුළුවන් අපේ දරු පවුල්වලට රැකවරණය දෙන්නෙ කියල. එහෙම කතාවක් කොහොම හරි මිනිස්සුන්ගේ ඔලුවලට කවුරු හරි දාලා තියෙනවා, එහෙම නැත්නම් මිනිස්සු එහෙම හිතනවා ඒ එකක්වත් ඇත්ත නෙවේ.”
වසිහරන් ගේ උත්තරය අතිශය සරල, බොහෝ දේ පහදා දෙන එකකි.
ඉන්ධන පිරවුම්හලක සේවය කර බිලියනපතියෙක්ව උපන් ගමට ටෙස්ට් පිටියක් තැනූ මහත්මයෙක්
ක්‍රීඩාංගණයේ ශක්ති වර්ධන, කායවර්ධන මධ්‍යස්ථානය
වාසනාව විශ්වාස කළ වසිහරන්ට මේ කාලයේ ලන්ඩනයෙන් ඈත් වන්නට සිදුවන්නේ ඔහුට ලැබෙන අභියෝගාත්මක සිදුවීමක් නිසා. බ්‍රිටිෂ් පෙට්‍රෝලියම් සමාගම ලන්ඩනයෙන් පිටත එම ආයතනය සමග වෙනත් ශාඛාවක් මිලට ගැනීමට අවස්ථාව සලසා දෙයි. වසර කීපයක් තුළ එම ශාඛාව විශාල ලාභයක් සමග බ්‍රිටිෂ් පෙට්‍රෝලියම් සමාගමට නැවත පවරා ඉන් ඔහු ලබන ලාභයෙන් ඔහුගේ ව්‍යාපාර ජාලය අරඹයි. කාලයත් සමග ලන්ඩනයේ ඔහු ගැන ඉහත කී සංවිධානවලට අමතකව යන අතර යළි කිසිදු කලක ඔවුන්ගේ හෙවනැල්ලක්වත් නොවැටී තම ව්‍යාපාර නිදහසේ කරගෙන යෑමට හැකිවූ බව වසිහරන් පවසයි. අදටත් කිසිම ගනුදෙනුවක් එක පවුමක් හෝ රුපියලක් මගින් මූල්‍යමය ගනුදෙනු නොකරන ඔහු ව්‍යාපාරික හා අනෙකුත් සියලු ගනුදෙනු කරන්නේ ඩිජිටල් ගනුදෙනු ලෙසය. සියලු ගෙවීම් බැංකුවකින් බැංකුවකට පාරදෘශ්‍යව සිදුකිරීම හෙතෙම දීර්ඝ කාලයක් තිස්සේ කරන්නකි.
මාලිංග ඔහු ගැන තවත් විස්තර කීවේය.
“2014/2015 යුරෝපයේම ආර්ථිකය කඩා වැටෙනවා. එංගලන්ත ආණ්ඩුව කියනවා ව්‍යාපාරිකයන්ට සේවා ජාල ආයතන විකුණලා හරි ණය ගෙවල ඉවර කරන්න කියලා. ඔහු සමග වැඩ කරන තෙල් සපයන ආයතන දෙක වූ බ්‍රිටිෂ් පෙට්‍රෝලියම් සහ ෂෙල් සමාගම් කියනවා වසිහරන්ට අපි නිකම් තෙල් දෙන්නම් ඔයා ආණ්ඩුවෙ ණය ටික ගෙවන්න කියලා. ඔහු ඉතා විශ්වාසවන්ත ව්‍යාපාරිකයෙක් වීම නිසා ඉහත සමාගම් ණයට අසීමිතව තෙල් දෙන්න තීරණය කරනවා. 2020 වන විට රජයේ ණය, බැංකු ණය සහ පෙට්‍රෝලියම් සමාගමේ ණය ගෙවා අවසන් කර ශුද්ධ ලාභ ලබන කෙනෙක් වෙනවා. බිරිඳට දරු දෙදෙනාට තමන්ට කොටසක් වෙන්කර ඉතිරි හැම සතේම මඩකලපුවේ ක්‍රිකට්වලට සහ මඩකලපුවේ පාසල් දරුවන්ගේ අධ්‍යාපනය, යහපත වෙනුවෙන් යෙදෙව්වා”.
ඒ ගැන වසිහරන් පැහැදිලි කරන්නේ මෙසේය.
“ඩයස්පෝරාවකට සම්බන්ධ නම් එංගලන්ත රජයෙන් මිලියන ගණනක් එළියට ගෙනියන්න දෙන්නෙ නෑ. මම එහෙම කෙනෙක් වුණා නම් ඒ රටේ හිරකරනවා. මෙච්චර ලොකු බිස්නස් කරන්න ලැබෙන්නෙ නෑ. ඩයස්පෝරාවකට සම්බන්ධ කෙනෙක්ට ඒ රටේ මහා බ්‍රිතාන්‍යයේ හොඳම බදු ගෙවන 30 අතරට එන්න බෑ. එංගලන්තයේ ඛනිජ තෙල් අංශයේ හොඳම ව්‍යාපාරිකයන් 25-30 අතර මට ඉන්න බෑ. මම ඒ රටේ විශ්වාසය රැකපු කෙනෙක්. ඒකයි එයාල මට අවසර දීල තියෙන්නෙ මගෙ රටට සේවයක් කරන්න.”
ඔහු එසේ කියන්නේ තම උපන් රට ගැන අභිමානයෙනි.
අංග සම්පූර්ණ ක්‍රීඩා ගම්මානයක්
ඉන්ධන පිරවුම්හලක සේවය කර බිලියනපතියෙක්ව උපන් ගමට ටෙස්ට් පිටියක් තැනූ මහත්මයෙක්
මාලිංග / පුවනසිංහම් වසිහරන්
2017/ 2018 වසර තුළ සිය ක්‍රීඩා සංකල්පය ක්‍රියාත්මක කිරීමට මග පෑදෙයි. ඔහු ක්‍රිකට් දියුණු කළ හැකි මංපෙත් සොයමින් සිටිනවා. ඔහුගේ විශවාසය වූයේ පාසල් ක්‍රීඩාව දියුණු කිරීමකින් තොරව කිසිම ක්‍රීඩාවක් දියුණු කළ නොහැකි බවයි. අදටත් ඇතැම් පළාත්වල ක්‍රීඩාව පාසල් තුළ ක්‍රියාත්මක වීම අවාසනාවන්ත තත්ත්වයක පවතින බව ඔවුන්ගේ අදහසයි. ක්‍රීඩාව තුළින් අධ්‍යාපනය ඔප්නැංවීමේ හෝ ක්‍රීඩාව තුළින් ජීවිතය ජයගැනීමට පදනමක් සැකසීමට අදහසක් ඇත්තේම නැති පාසල් පද්ධතිය සහ අධ්‍යාපන බලධාරීන් මඩකලපුව සම්බන්ධයෙන් පවතින තත්ත්වය බව මාලිංග පවසයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් ප්‍රිමියර් ලීග් තරගාවලියක සත්කාරකත්වය ගැන අදහසක් ඔහු වෙත යොමුවන්නේ 2018/2019. කෙටි කාලයක එවැනි විශාල මුදලක් ක්ෂණික කාර්යභාරයක අනුග්‍රාහකත්වයකට වඩා දිගුකාලීනව පවතින ක්‍රීඩා සංවර්ධනයකට හිත යොමුවීම නිසාම අද වන විට කොට්ටමුනේ ක්‍රීඩා
ගම්මානය මිලියන 850 කින් නිමවෙයි. ක්‍රීඩා පිටිය ලබාදීමෙන් යම් මුදලක් අය කළත් එය එහි සුළු නඩත්තු කටයුතු හා සංවර්ධනයටම වේ. අක්කර 10 ක ඉඩක අක්කර 6 ක තණතීරු හයකින් සමන්විත තණතිල්ල හා ක්‍රීඩාංගණය ඉදිවේ. ඉතිරිය වොලිබෝල් පිටියක්, ෆුට්බෝල් පිටියක්, ඉදිවීමට යෝජිත කුඩා පිහිණුම් තටාකයක් ශක්තිවර්ධන මධ්‍යස්ථානයක් හා 30 කට නවාතැන් ගත හැකි අංග සම්පූර්ණ නේවාසිකාගාර වේ. දවසට තුන් වරක් ක්‍රියාත්මක වන වතුර මල් (ස්පින්ක්ලර්) 90 කි. සේවකයන් 10 කින් මෙම සංකීර්ණය නඩත්තු වෙයි. පළමු පෙළ දෙවන පෙළ තරග පැවැත්වීමට ක්‍රිකට් ආතනය සමග කතාබහ කරමින් පවතින අතර පළමු කාණ්ඩයේ දෙවන පෙළ තරග කීපයක් මෙහි පවත්වා ඇත. ජාත්‍යන්තර පිටියක තත්ත්වයට තවත් අවශ්‍යතා කීපයක් සපුරාගත යුතුව ඇති බව පැවසේ. ඊට තවත් මිලියන 2500 ක මුදලක් ඇස්තමේන්තුගත කර ඇති බව කියන අතර වසිහරන් මහතාගේ අධීක්ෂණය යටතේ එය සිදුකිරීමට සූදානම් බව කියන්නේද සතුටිනි. මඩකලපුවේ වෙබර් ක්‍රීඩාංගණය හැරුණ විට තණනිල්ලක් සොයාගත හැකි පිටියක් මඩකලපුව එරාවුර්, චෙංකලාඩි, කාත්තන්කුඩි යන ප්‍රදේශයන්හි සොයාගැනීම කළුනික සොයනවාටත් වඩා අසීරුය. මේ වනවිට ක්‍රියාත්මක ව්‍යාපෘති කීපයකට මිලියන 150 ක මුදලක් ද ඇතුළුව මුළු ව්‍යාපෘතියට මිලියන 850 ක මුදලක් වැය කර ඇත. 2022 අප්‍රේල් මස මෙය නිල වශයෙන් විවෘත කර ක්‍රීඩා ඇකඩමියේ කටයුතු ක්‍රියාත්මක වෙයි. දිවා රාත්‍රී තරග තැබීමේ අපේක්ෂාවෙන් මෙය ඉදිකර නැතත් එවැනි අවශතාවයක් පසුකාලීනව හෝ වසිහරන් මහතාගේ සිත්හි ඇති වුවහොත් එම ආලෝක පද්ධතිය සවිකර එම පහසුකම් සැලසීමට ද කතානායකයා සූදානම් බව මාලිංග කියයි.
පුවනසිංහම් වසිහරන් සරල ප්‍රියමානාප තැනැත්තෙකි. තමන්ගේ ක්‍රීඩාංගණයට තමන් පළමුව ආදරය කළ යුතු යැයි ඔහු පවසයි. ඔහු එය තම දරුවකු සේ රැකබලා ගනී. එක්තරා තරගාවලියකට පෙරදින තිබුණු මල්වෙඩි ඇතුළු සංදර්ශනයකට පසුව පසුදින තරගාවලිය ඇරඹීමට නියමිතව තිබුණි. නියමිත වෙලාවට තරගය පැවැත්විය යුතු බැවින් එදින පිටියේ සේවකයන්ටත් පෙර උදෑසන 7.30 ට ක්‍රීඩාංගණයට පැමිණ එහි වූ ඉරටු කැබලි කොළ ඇතුළු දෑ ඉවත් කරන්නේ තමන්ගේ හැඟීම ක්‍රීඩාවට ඇති ආදරය සහ මහත්මා බව තහවුරු කරමිනි. මෙවන් ආකල්ප ක්‍රීඩාවට පමණක් නොව තම තමන්ගේ ජීවිතයට එකතු කර ගතයුතු පාඩමකි.
පරිපාලන කාර්යභාරය උසුලන මාලිංගට සිය නිදහසේ පුහුණු ව්‍යාපෘති කරගෙන යෑමට සිය නියමුවාගෙන් අවසර ඇත. එනිසාම තමා කෙරෙහි තැබූ විශ්වාසයට සියලු පහසුකම් සහිත සිය උපන් බිම වූ කොළඹ අතහැර යන්නේ දෙවරක් නොසිතාමය. මම මගේ සුදුසුකම් ගැන ආඩම්බරෙන් කතා කරනවා. හුඟක් කට්ට කෑවා ඉගෙනගන්න. පුහුණුකරුවෙක් විදිහටත් එම වෘත්තියේදීත් මම මටම සීමාවන් දමා ගත්තා පුහුණු පැය 1000 ක්වත් සීමාවක් පසු කරලා තමයි මම මගේ ඊළඟ පියවරට යන්නේ. එනිසා මගේ දැණුම ගැන සැකයක් නැහැ. මට අර කණ්ඩායමේ පුහුණුකරු අහවල් රටේ පුහුණුකරු කියා ගන්න ඕන නැහැ. ඒ වගේම මම කරන රස්සාව ලෝකෙ තියන අන්තිම රස්සාව කියල හිතන්නෙත් නෑ. මිලියන ගණනින් සිදුකරන ව්‍යපෘතියක වගකීම මට ලැබෙන්නේ විශ්වාසය නිසයි.
ගමේ ක්‍රිකට් දියුණු කර පසු පෙළක් තනන්නට තමන්ගේ ධනය මිලියන ගණනින් වැය කරන්නේ සිය උපන් රටට උපන් බිමට යමක් කිරීමේ අදහසිනි. ජාතික සංචිතයට මඩකලපුවෙන් කීපදෙනෙක් යැවීම ඔහුගේ සිහිනයක් විය හැකිය. ඒ සිහින යථාර්ථයක් කරන්නට ඔහු පාදම දමා තිබේ. ඊට මංපෙත් විවර කර ඇත. මෙවන් විරල මිනිසුන් සිටින යුගයක ඔවුන් ගොඩනැඟූ සංකල්පය ක්‍රියාත්මක කිරීම ප්‍රයෝජන ගැනීම අරමුණු ඉටු කරගැනීම කාගෙ කාගේත් වගකීමකි. මඩකලපුවේ පමණක් නොව රටේම ක්‍රීඩා උන්නතිය කෙරෙහි කටයුතු කිරීම පිළිබඳව අවධානය යොමුවිය යුතු බව ක්‍රීඩා මුල් පුටුවල බලධාරීන්ගේ යුතුකමක් වගකීමක් නොවන්නේද?
සමන්තා ප්‍රින්සි ලාලනී